දානඤ්චාතිගාථාවණ්ණනා
දැන් “දානඤ්ච” යන මේ ගාථාවෙහි මෙය කරණ කොට ගෙන දෙනු ලැබෙනුයි = දානං වේ. තමා සතු දෙය අනෙකෙකුට පිළියෙළ කර දෙනු ලැබේ යයි කියන ලද්දේ වෙයි. ධර්‍මයෙහි හැසිරීම හෝ ධර්‍මයෙන් තොර නොවූ හැසිරිම ධම්මචරියා වේ. මොවුහු අපව දනිත්නුයි “ඤාතකා” වේ. වැරදි නොවන්නේ = අනවජ්ජා වේ. නින්දා නොකරන ලද්දේ ගර්හා නොකරන ලද්දේ යයි කියන ලද්දේ වෙයි. ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්‍ණනාවයි.
අර්‍ථ වර්‍ණනාව වනාහි මෙසේ දත යුතුය. දානය නම් අනුන් උදෙසා සතුට පෙරදැරිව ආහාර ආදී දශ දාන වස්තූන් පරිත්‍යාග කිරීමේ චේතනාවයි. නැතහොත් එම චේතනාවෙන් සමන්විත අලෝභයයි. අලෝභය කරණ කොට ගෙනම ඒ වස්තුව අනෙකාට පිළියෙල කර දෙයි. එහෙයින් මෙය කරණකොට ගෙන දෙනු ලැබෙනුයි = දානය යයි කියන ලදි. එය බොහෝ දෙනාගේ ප්‍රිය මනාප බව ආදී මෙලොවට අයත් හා පරලොවට අයත් ඵල විශේෂයන් ලබා ගැනීමට හේතුවන බැවින් මඞ්ගල වේ. “සීහය, දානපති දායකයා බොහෝ ජනයාට ප්‍රියමනාප වේය”යි එහෙයින් දේශනා කරන ලදී. මේ ආදී සූත්‍රයෝ මෙහිදී සිහිකළ යුත්තාහ.
තවත් ක්‍රමයකි. (අර්‍ථකථනයකි) දානය නම් ආමිසදාන, ධර්‍මදාන වශයෙන් දෙආකාර වේ. එහි ආමිෂ දානය කියන ලද ආකාරමය. මෙලොව පරලොව දුක නැතිකොට සැප ගෙන දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්‍මය අන්‍යයන්ට හිත කැමැත්තෙන් දේශනා කිරිම ධර්‍ම දානය වේ. මේ දානයන් දෙක අතරින්ද ධර්‍ම දානයම ශ්‍රේෂ්ඨ වේ. යම්සේ වදාළේද
“සියලු දානයන් අතරින් ධර්‍ම දානය ජයගනී
සියලු රසයන් අතරින් ධර්‍ම රසය ජයගනී
සියලු ඇලීම් අතරින් ධර්‍මයෙහි ඇලීම ජයගනී
තණ්හාව නැති කිරීම සියලු දුක් ජයගනී යයි” ඒ නිසාය.
එහි ආමිස දානයාගේ මඞ්ගලභාවය කියන ලද්දේමය. ධර්‍ම දානය වනාහි යම් හෙයකින් අර්‍ථය අවබෝධ කර ගැනීම ආදී ගුණයන්ට ආසන්න කාරණය වේ ද එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින්
“මහණෙනි, භික්ෂුතෙමේ ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්‍මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයිද හෙතෙම එසේ එසේ එම ධර්‍මයෙහි අර්‍ථය අවබෝධ කර ගත්තෙක්ද ධර්‍මය අවබෝධ කර ගත්තෙක්ද වෙයි යන මේ ආදිය දේශනා කරන ලදි.
ධම්ම චරියා (දහම්හි හැසිරීම) නම් දශ කුශල කර්‍ම පථ ක්‍රියාවෝය. “ගෘහපතියෙනි, කයින් කෙරෙන ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේ” යන මේ ආදිය යම්සේ වදාළේද එහෙයිනි. ඒ මේ ධර්‍ම චර්‍ය්‍යාව ස්වර්‍ග ලෝකයෙහි උපත ලැබීමට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් “ගෘහපතියෙනි, ධර්‍ම චර්‍ය්‍යා, සම චර්‍ය්‍යා හේතුවෙන් මේ ලෝකයෙහි සමහර සත්ත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණින් පසු සුගතිය වූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත්” යන මෙය දේශනා කරන ලදි.
ඤාතකා (නෑයෝ) නම් මව් පසින් හෝ පිය පසින් හෝ සත්වෙනි පිතාමහ (සීයා) යුගය දක්වා සම්බන්ධය. භෝගයෙන් පිරිහීමෙන් හෝ ව්‍යාධියෙන් පිරිහීමෙන් හෝ පහර ලැබ තමා සමීපයට පැමිණි ඒ ඥාතීන්ට ශක්ති පමණින් ආහාර වස්ත්‍ර ධන ධාන්‍ය ආදියෙන් සංග්‍රහ කිරීම ප්‍රශංසා ආදී දිට්ඨධම්මික (මෙලොවට අයත්) වූ ද සුගතියට යාම ආදී සම්පරායික (පරලොවට අයත්) වූ ද විශේෂයන් ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ.
“අනවජ්ජ කම්මානි” (නිවැරදි කර්‍මාන්ත) නම් පෙහෙවස් සමාදන් වීම, වතාවත් කිරීම, උයන් හා වන වගාව, ඒ දඬු පාලම් ඉදිකිරීම ආදී කාය වචී මනෝ සුචරිත කර්‍මයි. ඒවා වනාහි නොයෙක් ආකාරයේ හිත සුව ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. “විශාඛයෙනි, යම් හෙයකින් මෙලොව සමහර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චතුර්මහාරාජික වැසි දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේය. යන මේ කරුණ ඇත. (උපොසථසුත්ත) යන මේ ආදී සුත්‍ර මෙහිදී සිහිකළ යුතුය.