ආරතීතිගාථාවණ්ණනා
දැන් “ආරතී විරති” යන මෙහි ආරති යනු ඇලීමයි. විරති යනු වෙන්වීමයි. නැතහොත් සත්ත්වයෝ මේවායින් වැළකෙතියි = විරති වේ. පාපා යනු අකුශලයෝය. මත්විය යුතු අර්ථයෙන් “මජ්ජ” වේ. මජ්ජස්ස පානං (මත්වීමට හේතුවන පානය) “මජ්ජපානං” වේ. එයින් යන අර්ථයෙන් මජ්ජපානා වේ. සංවරය = “සංයමො” වේ. නොපමා වීම = අප්පමාදො වේ. ධම්මෙසු යනු කුශලයන්හි, ඉතිරිය කියන ලද ක්රමයටමය. මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “ආරති” නම් පාපයෙහි ආදීනව දකින්නේ මනසින්ම නොඇලීමයි. “විරති” නම් කර්මද්වාර වශයෙන් කය වචනය කරණ කොට ගෙන වෙන් වීමයි. ඒ මේ විරතිය නම් “සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති” යයි ත්රිවිධ වේ. එහි කුල පුත්රයෙකුහට තමාගේ ජාතිය හෝ කුලය හෝ ගෝත්රය හෝ හේතු කොට ගෙන “ඉදින් මම මේ ප්රාණය නසන්නෙම් නම් මේ නුදුන් දෙය ගන්නෙම් නම් එය මට සුදුසු නොවේ.” ආදී ක්රමයට පැමිණි කටයුත්තෙන් යම් වෙන්වීමක් වේ නම් මෙය සම්පත්ත විරති නම් වේ. ශික්ෂාපද සමාදන් වීම් වශයෙන් පැවති වෙන්වීම සමාදාන විරති නම් වේ. යම් මාර්ග ඵලයකට පත් වීමේ පටන් කුල පුත්රයා, ප්රාණඝාතාදිය නොකරයිද යම් මාර්ග ඵලයකට පත් වීමේ පටන් ආර්ය්ය ශ්රාවකයාගේ භය වෛර පහක් සංසිඳුනේ වේ ද ඒ ආර්ය්ය මාර්ගය හා එක්ව යෙදුණු විරතිය සමුච්ඡෙද විරති නම් වේ. “පාපං” යනු ගෘහපති පුත්රය, ප්රාණඝාතය කර්ම ක්ලේශයකි. අදින්නාදානය පෙ- කාම මිථ්යාචාරය මුසාවාදය (කර්ම ක්ලේශයකි) යි මෙසේ විස්තර කොට .
“ප්රාණඝාතය, අදින්නාදානය, මුසාවාද යයි යමක් කියනු ලැබේ නම් එය ද පරඹුවන් කරා යාම ද යන මේ දේ නුවණැත්තෝ නොපසසත්”යි (සිගාලෝවාද සූත්රය)
මෙසේ ගාථාවෙන් සංග්රහ කළ කර්මක්ලේශ සඞ්ඛ්යාත යම් ඒ සතරාකාර වු අකුශලයක් වේ ද එයයි. එයින් (යන අර්ථයෙන්) පාපා වේ. මේ සියලුම ඇලීම්ද වෙන් වීම ද දිට්ඨ ධම්මික පුද සම්පරායික වූ ද භය වෛර දුරු කිරීම් ආදී නොයෙක් ආකාර විශේෂයන් ලැබීමට හේතු වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. “ගෘහපති පුත්රය, ප්රාණඝාතයෙන් වෙන් වූ ආර්ය්ය ශ්රාවකයා” (සිගාලෝවාද සුත්ත) ආදී සූත්ර මෙහිදී සිහිකළ යුතුය.
“මජ්ජපානා සංයමො” (මද්ය පානයෙන් වැළකීම) නම් පෙර කියන ලද මදයට හා ප්රමාදයට හේතු වන රහ මෙරින් වෙන් වීමට මෙය නමකි. යම් හෙයකින් වනාහි මද්යපානය කරන්නා අර්ථය නොදනී ද, ධර්මය නොදනීද, මවට අනතුරු කරයි ද, පියාට, බුදුන් වහන්සේට, පසේ බුදුන් වහන්සේට තථාගත ශ්රාවකයන්ට අනතුරු කරයි ද මෙලොවදීම ගර්හාවට ද පරලොව දුගතියට ද සසර මතු මත්තෙහි උම්මාදයට ද පමුණුවයි. මද්යපානයෙන් වැළකුණු තැනැත්තේ වනාහි එකී දෝෂයන්ගේ සංසිදීමෙන් එහි විපරීතය (අනෙක් පැත්ත) වු ගුණ සම්පත්තියට ද පැමිණෙයි. එබැවින් මේ මද්ය පානයෙන් සංයම වීම මඞ්ගල යයි දත යුතුය.
“කුසලෙසු ධම්මෙසු අප්පමාදො” (කුශල ධර්මයන්හි නොපමා වීම) නම් “කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස නොසලකා කරන බවෙක්, නොනැවතී ක්රියා නොකරන බවෙක්, නොනිමි ක්රියා ඇති බවක් හකුළුණු පැවතුම් ඇති බවෙක්, බහා තැබු කැමැත්ත ඇති බවෙක්, බහා තැබු ධුර ඇති බවෙක්, සේවනය නොකිරීමෙක්, නො වැඩීමෙක්, බහුල නොකිරිමෙක්, නොපිහිටීමෙක්, අනුයෝග රහිත වීමෙක්, ප්රමාදයෙක් වේ ද, මෙබඳු වූ යම් ප්රමාදයක්, පමාවීමක්, පමා වූ බවක් වේ ද මෙය “ප්රමාදය” යයි කියනු ලැබේ. (විභඞ්හ) මෙහි කියන ලද ප්රමාදයට විරුද්ධ ක්රමයට අර්ථ වශයෙන් කුශල ධර්මයන්හි සිහියෙන් තොර නොවී විසීම යයි දත යුතුය. එය විවිධාකාර කුශලයන් අධිගමයට හේතු වන බැවින් හෝ නිවන අවබෝධ කර ගැනීමට හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. එහිදී “කෙලෙස් තවන වීර්ය්යයෙන් යුත් අප්රමාදී තැනැත්තාට (අට්ඨනාගර සුත්ත) යයි ද “නොපමාවීම නිවනට මගය” (ධම්මපදය) යයි ද මේ ආදී ශාස්තෲ අනුශාසනයන් සිහි කළ යුතුය.
මෙසේ මේ ගාථාවෙන් පවෙන් වැළකීම, මද්ය පානයෙහි සංයමය, කුශල ධර්මයන්හි අප්රමාදී වීම යයි මඞ්ගලයෝ තුනක් දේශනා කරන ලදහ. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කරන ලද්දේමය.
“ආරති විරති පාපා” යන මේ ගාථාවෙහි අර්ථ වර්ණනාව නිමියේය.
ගාරවොචාතිගාථාවණ්ණනා
දැන් “ගාරවොච” යන මේ ගාථාවෙහි “ගාරවො” යනු ගරු කටයුතු බවයි. “නිවාතො” යනු යටහත් පැවතුම් ඇති බවයි. සන්තුටඨි යනු සන්තෝෂයයි. කළ දේ දන්නා බව කතඤ්ඤුතා වේ. “කාලෙන” යනු ක්ෂණයෙන්, කාලයෙන්, ධම්මස්ස සවණං (ධර්මයාගේ ශ්රවණය) = ධම්ම සවණං වේ. ඉතිරිය කියන ලද ක්රමයටමය. මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “ගාරවො” නම් ගුරු බුහුමන් කිරීමට සුදුසු බුදු, පසේ බුදු, තථාගත ශ්රාවක, ආචාර්ය්ය උපාධ්යාය, මව, පියා, දෙටු සොහොයුරු සොහොයුරිය ආදීන් කෙරෙහි සුදුසු පරිදි ගරු කිරීම, ගරුකරණය, ගෞරව ඇති බවයි. ඉදින් මේ ගෞරවය යම් හෙයකින් සුගති ගමනාදියට හේතු වේ ද,
“ගරු කළ යුත්තන්ට ගරු කෙරේද, බුහුමන් කළ යුත්තන්ට බුහුමන් කෙරේද, පිදිය යුත්තන්ට පුදයිද හෙතෙම ඒ කර්මය හේතු කොට ගෙන මෙසේ පිදීම හේතු කොට ගෙන, මෙසේ සමාදන් වීම හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කයෙහි -පෙ- නූපදියිද ඉදින් මිනිස් බවට පැමිණියේ ද යම් යම් තැනක උපදී ද උසස් කුලවන්තයෙක් වේ (චූල කම්ම විභඞ්ග සුත්ත) යයි ද,
“මහණෙනි, අපරිහානිය ධර්මයෝ සත් දෙනෙක් වෙති. කවර සතක් ද යත්, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව (සත්ත කඞ්ගුත්තර) ආදිය ද යම්සේ වදාළේද එහෙයිනි. එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
“නිවාතො” නම් යටහත් සිත් ඇති බවයි. යටහත් පැවතුම් ඇති බවයි. යමකින් යුක්ත පුද්ගලයා නිහතමානී වූයේ නැසූ එඩි ඇත්තේ පාපිසින රෙදි කඩක් හා සමවූයේ බිඳුණු අං ඇති ගොනෙකුට සමවූයේ උගුලා දැමූ දළ ඇති සර්පයෙකුහට සම වූයේ ද වී මෘදු වූයේ මෘදු වචන ඇත්තේ සුවදායක කථාබස් ඇත්තේ වේද මෙතෙම නිවාත නම් වේ. ඒ මේ නිවාත ගුණය යශ ආදී ගුණ ලාභය සඳහා හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. යමෙක් “යටහත් පැවතුම් ඇත්තේ උඩගු නොවූයේ වේ ද එබඳු තැනැත්තා යශය ලබයි” (ජාතක පාලි) යන මේ ආදිය වදාළේ එහෙයිනි.