ගාරවොචාතිගාථාවණ්ණනා
දැන් “ගාරවොච” යන මේ ගාථාවෙහි “ගාරවො” යනු ගරු කටයුතු බවයි. “නිවාතො” යනු යටහත් පැවතුම් ඇති බවයි. සන්තුටඨි යනු සන්තෝෂයයි. කළ දේ දන්නා බව කතඤ්ඤුතා වේ. “කාලෙන” යනු ක්ෂණයෙන්, කාලයෙන්, ධම්මස්ස සවණං (ධර්‍මයාගේ ශ්‍රවණය) = ධම්ම සවණං වේ. ඉතිරිය කියන ලද ක්‍රමයටමය. මේ පද වර්‍ණනාවයි.
අර්‍ථ වර්‍ණනාව වනාහි මෙසේ දත යුතුය. “ගාරවො” නම් ගුරු බුහුමන් කිරීමට සුදුසු බුදු, පසේ බුදු, තථාගත ශ්‍රාවක, ආචාර්‍ය්‍ය උපාධ්‍යාය, මව, පියා, දෙටු සොහොයුරු සොහොයුරිය ආදීන් කෙරෙහි සුදුසු පරිදි ගරු කිරීම, ගරුකරණය, ගෞරව ඇති බවයි. ඉදින් මේ ගෞරවය යම් හෙයකින් සුගති ගමනාදියට හේතු වේ ද,
“ගරු කළ යුත්තන්ට ගරු කෙරේද, බුහුමන් කළ යුත්තන්ට බුහුමන් කෙරේද, පිදිය යුත්තන්ට පුදයිද හෙතෙම ඒ කර්‍මය හේතු කොට ගෙන මෙසේ පිදීම හේතු කොට ගෙන, මෙසේ සමාදන් වීම හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදියි. ඉදින් කයෙහි -පෙ- නූපදියිද ඉදින් මිනිස් බවට පැමිණියේ ද යම් යම් තැනක උපදී ද උසස් කුලවන්තයෙක් වේ (චූල කම්ම විභඞ්ග සුත්ත) යයි ද,
“මහණෙනි, අපරිහානිය ධර්‍මයෝ සත් දෙනෙක් වෙති. කවර සතක් ද යත්, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති බව (සත්ත කඞ්ගුත්තර) ආදිය ද යම්සේ වදාළේද එහෙයිනි. එහෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
“නිවාතො” නම් යටහත් සිත් ඇති බවයි. යටහත් පැවතුම් ඇති බවයි. යමකින් යුක්ත පුද්ගලයා නිහතමානී වූයේ නැසූ එඩි ඇත්තේ පාපිසින රෙදි කඩක් හා සමවූයේ බිඳුණු අං ඇති ගොනෙකුට සමවූයේ උගුලා දැමූ දළ ඇති සර්‍පයෙකුහට සම වූයේ ද වී මෘදු වූයේ මෘදු වචන ඇත්තේ සුවදායක කථාබස් ඇත්තේ වේද මෙතෙම නිවාත නම් වේ. ඒ මේ නිවාත ගුණය යශ ආදී ගුණ ලාභය සඳහා හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. යමෙක් “යටහත් පැවතුම් ඇත්තේ උඩගු නොවූයේ වේ ද එබඳු තැනැත්තා යශය ලබයි” (ජාතක පාලි) යන මේ ආදිය වදාළේ එහෙයිනි.
“සන්තුට්ඨි” නම් ඉතරීතර (අනෙක් අනෙක් හෙවත් ලැබෙන අයුරින්) ප්‍රත්‍යයෙන් සතුටු වීමයි. එය දොළොස් ආකාර වේ. ඒ කවරේද යත්? සිවුරෙහි - යථාලාභ සන්තොස, යථා බල සන්තොස, යථා සාරුප්ප සන්තොස වශයෙන් ත්‍රිවිධ වේ. පිණ්ඩපාත ආදියෙහි ද එසේමය.
මේ ඒ ප්‍රභේදයන්ගේ වර්‍ණනාවයි. මේ ශාසනයෙහි භික්ෂුවක් සුන්දර හෝ අසුන්දර සිවුරක් ලබයි. හෙතෙම එම සිවුරෙන්ම යැපෙයි. වෙනත් සිවුරක් නොපතයි. ලැබෙන්නේ නමුදු නොගනියි. මේ ඔහුගේ සිවුර පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි (හෙතෙම) ආබාධ සහිත වේ ද බර සිවුරක් පොරවන්නේ නැමෙයි හෝ ක්ලාන්ත වේයි ද හෙතෙම සභාග (සමාන පැවතුම් ඇති) භික්ෂුවක සමඟ එම සිවුර මාරු කොට සැහැල්ලු සිවුරකින් යැපෙන්නේ නමුදු සතුටු වුවෙක්ම වේද මෙය මොහුගේ සිවුර පිළිබඳ යථාබල සන්තෝෂයයි. වෙනත් භික්ෂුවක් ප්‍රණීත ප්‍රත්‍ය ලාභියෙක් වෙයි. හෙතෙම පට සිවුරු ආදියෙන් එක්තරා මාහැගි සිවුරක් ලැබ මෙය ස්ථවිර වූ ද, පැවිදි වී බොහෝ කල් ගත වූ ද, බහුශ්‍රැත වූ ද භික්ෂුන්ට සුදුසු යැයි උන්වහන්සේලාට දී තමා කුණු ගොඩකින් හෝ වෙනත් තැනකින් හෝ කිසියම් තැනකින් රෙදි කඩක් තෝරා ගෙන සඟල සිවුරක් කොට දරන්නේ නමුදු සතුටු වූවෙක් වෙයි ද මෙය මොහුගේ සිවුරෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.
මේ ශාසනයෙහි භික්ෂුවක් රළු හෝ ප්‍රණීත හෝ පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම එයින්ම යැපෙයිද වෙනත් ආහාරයක් නොපතයිද ලැබෙන්නේ නමුදු නොගනී ද මෙය මේ භික්ෂුවගේ පිණ්ඩපාතයෙහි යථා ලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි හේ (ඒ භික්ෂුව) ආබාධ සහිත වූවෙක් වෙයිද රථ පිණ්ඩපාතයක් වළඳා රෝගාබාධය දැඩි බවට පත් වේ ද හෙතෙම සභාග භික්ෂුවකට එය දී එම භික්ෂුවගේ අතින් ගිතෙල් මී පැණි කිරි ආදිය වළදා ශ්‍රමණ ධර්‍ම කරන්නේ නමුදු සතුටු වුවෙක් ම වෙයි ද මෙය එම භික්ෂවගේ පිණ්ඩපාතයෙහි යථා බල සන්තෝෂයයි. තවත් භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම මේ පිණ්ඩපාතය ස්ථවිර වූ පැවිදි වී බොහෝ කල් ගත වූ ප්‍රණිත පිණ්ඩපාතයකින් තොරව යැපිය නොහැකි අනෙකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ද සුදුසු යැයි උන්වහන්සේලාට දී තමා පිණ්ඩපාතයේ හැසිර මිශ්‍ර වූ ආහාරය වළදන්නේ නමුදු සතුටු වූවෙක් වෙයි ද මෙය උන්වහන්සේගේ පිණ්ඩපාතයෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.
මේ ශාසනයෙහි වනාහි භික්ෂුවකට සෙනසුනක් ලැබේ ද හෙතෙම එයින්ම සතුටු වෙයි. නැවත වෙනත් ඉතාමත් සුන්දර වු (සෙනසුනක්) ලැබෙන්නේ නමුදු නොගනියි. මේ උන්වහන්සේගේ සේනාසනය පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති වනාහි ආබාධ සහිත භික්ෂුවක් වේ ද ඉඩ පහසුකම් නොමැති සෙනසුනක වසන්නේ අතිශයින් පිත් රෝගාදියෙන් රෝගාතුර වන්නේ ද ඒ භික්ෂුව සභාග භික්ෂුවකට ඒ සෙනසුන දී තමාට ලැබුණු හමන සුළං ඇති සිසිල් සෙනසුනෙහි වැස ශ්‍රමණ ධර්‍ම කරන්නේ නමුදු සතුටු වන්නෙක්ම වෙයි. මෙය උන්වහන්සේගේ සෙනසුන පිළිබඳ යථා බල සන්තෝෂයයි. තවත් භික්ෂුවක් සුන්දර සේනාසනයක් ලැබුණේ නමුදු නොපිළිගනී. සුන්දර සෙනසුන ප්‍රමාදයට තැනකි. එහි සුන් කල්හි ථීන මිද්ධයට (කයේ හා සිතේ අකර්‍මන්‍ය ස්වභාවය) බැස ගනී. නින්දට බැස ගත් තැනැත්තාට නැවත පිබිදෙන්නේ කාම විතර්‍කයෝ හැසිරෙති”යි හෙතෙම ඒ සෙනසුන ප්‍රතික්ෂේප කොට විවෘත ප්‍රදේශ - රුක්මුල් පන්සල් ආදී යම් කිසි තැනක වසන්නේ නමුදු සතුටු වූවෙක්ම වෙයි ද මෙය එම භික්ෂුවගේ සේනාසනයෙහි යථා සාරුප්ප සන්තෝෂයයි.