ඛන්තීචාතිගාථාවණ්ණනා
දැන් “ඛන්තීච” යන මෙහි ඉවසීම = ඛන්ති වේ, අවවාද ගෞරවයෙන් පිළිගැනීම නිසා මොහු කෙරෙහි සුව වදන් ඇත්තේනුයි. සුවච වේ. සුවචයාගේ ක්රියාව = සොවචස්ස වේ. සොවචස්සයාගේ ස්වභාවය සොවචස්සතා වේ. ක්ලේශයන් සන්සිඳ වූ හෙයින් සමණ වේ. දස්සනං යනු බැලීමයි. ධර්මයාගේ සාකච්ඡාව ධම්මසාකච්ඡා වේ. ඉතිරිය කියන ලද ක්රමයටමය. මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහී මෙසේ දත යුතුය. ඛන්ති නම් අධිවාසන ක්ෂාන්තියයි (ඉවසීමයි). යම් ක්ෂාන්තියකින් යුක්ත වූ භික්ෂුව දශ අක්රොශ වස්තුන්ගෙන් අපහාස කරන කල්හි හෝ වධබන්ධන ආදියෙන් හිංසා කරන කල්හි හෝ පුද්ගලයා කෙරෙහි නොඅසන්නෙකු මෙන් ද නොදකින්නෙකු මෙන් ද ක්ෂාන්තිවාදී තාපසයා මෙන් වෙනසකට පත් නොවේද එම ක්ෂාන්තියයි. යම්සේ වදාළේද:
“අතීත කාලයෙහි ඉවසීමේ අගය ප්රකාශ කරන ශ්රමණයෙක් විය. කසී රජ ඉවසීමෙහිම පිහිටි ඔහු ඡේදනය කරවීය” (ඛන්තිවාදී ජාතක) යනුයි.
නැතහොත් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් මෙන් කළ අපරාධයට වඩා ඉහළ අපරාධයක් නොවීම හේතුවෙන් යහපත් වශයෙන් සිහි කරයි. යම් සේ වදාළේද:-
“ස්වාමීනි, ඉදින් සුනාපරන්ත මිනිස්සු මට ආක්රෝශ කෙරෙත් නම් නින්දා කෙරෙත් නම් එහිදී මට මෙසේ සිත්වේ. “සුනාපරන්ත වැසි මේ මිනිස්සු ඒකාන්තයෙන් යහපත්ය, සුනාපරන්ත වැසි මේ මිනිස්සු ඒකාන්තයෙන් ඉතාමත් යහපත්ය. යම් හෙයකින් ඔවුහු මට අතින් පහර නොදෙන්නේ ද එහෙයිනි” ආදියයි.
යම් ක්ෂාන්තියකින් යුත් තැනැත්තා සෘෂිවරුන්ගේ ද ප්රශංසාවට භාජනය වෙයි. සරභඞ්ග සෘෂිවරයා යම්සේ කීවේද:-
“ක්රෝධය නිසා කිසිකලෙක ශෝක නොකරයි. ගුණමකු ගතිය ප්රහාණය කිරිම සෘෂීහු වර්ණනා කරති. සියල්ලන්ට කියන ලද ඵරුෂ වචන ඉවසන්නෙහුය. සත්පුරුෂයෝ එය උතුම් ක්ෂාන්තිය යයි කීහ. (සරභඞ්ග ජාතක)
නැතහොත් දෙවියන්ගේ ද ප්රශංසාවට භාජනය වූවෙක් වෙයි. සක්දෙව් රජ යම්සේ කීවේද?
යමෙක් ඒකාන්තයෙන් බලවතෙක් වී දුබලයාට ඉවසනු කැමති වේ ද එය උතුම්ම ක්ෂාන්තිය යයි කියනු ලැබේ. දුබලයා නිතර ඉවසයි. (සක්ක සංයුත්තය)
බුදුවරුන්ගේ ද ප්රශංසාවට භාජනය වෙයි. භාග්යවතුන් වහන්සේ යම් සේ වදාළේද?
“ද්වේෂ රහිත වූ යමෙක් බැණීම් හා වධ බන්ධනත් ඉවසා ද ඉවසීම බලය කොටත් බලඇණිය කොටත් ගත් ඔහු බ්රාහ්මණයෙකැයි මම කියමි.” (ධම්ම පද)
ඒ මේ ක්ෂාන්තිය මෙහි වර්ණනා කළ මේ ගුණයන්ටද අනෙකුත් ගුණයන්ද ලැබීමට හේතුවන හෙයින් මඞ්ගල යයි දත යුතුයි.
සොවචස්සතා (සුවචබව) නම් හේතු සහිතව කියනු ලබන කල්හි වික්ෂේපයට (වෙනසකට) හෝ නිශ්ශබ්දතාවයට හෝ ගුණ දොස් සිතීමට හෝ නොපිවිස අතිශයින් ආදරය ද ගෞරවය ද යටහත් සිත ද පෙරටු කොට “යහපතැයි” වචන කරන බවයි. (පිළිගැනීමයි) එය සබ්රහ්මචාරීන් සමීපයෙහි අවවාද අනුශාසනා ලැබීමට හේතුවන බැවින් ද ද්වේශ ප්රහාණ ගුණ අධිගමනයට හේතුවන බැවින් ද මඞ්ගල යයි කියනු ලැබේ.
“සමණානංච දස්සනං” (ශ්රමණයන් දැකීම) නම්: සන්සිඳවන ලද කෙළෙස් ඇති, වඩන ලද කාය වචී, චිත්ත, ප්රඥා ඇති උතුම් දමනයෙන් හා සන්සිදීමෙන් යුක්ත වූ පැවිද්දන් වෙත එළඹීම, උපස්ථාන කිරීම, සිහි කිරීම, ඇහුම්කන්දීම හා දැකීමයි. සියල්ලම ඔමක දේශනාවෙන් දර්ශනයයි දේශනා කරන ලදී. (“ඔමක” යන වචනයේ අර්ථය නම් වටිනාකමින් අඩු ය යන්නයි. අටුවාවේ “සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමදමථසමථසමන්නාගතානං පබ්බජිතානං උපසඞ්කමනුපට්ඨානානුස්සරණස්සවනදස්සනං“ යනුවෙන් අර්ථ සමණානං දස්සනං පදයට අර්ථ දී ඇත. ඒ අනුව “සමණානං දස්සනං - ශ්රමණයන් දැකීම” යන මෙයින් සංසිඳුණු කෙළෙස් ඇති, වඩනා ලද සිත්, ප්රඥා ඇති, උසස් වූ හික්මීමකින්, සමථයකින් සමන්විත පැවිද්දන් වෙත එළඹීම, උපස්ථානය කිරීම, ගුණ සිහි කිරීම, ශ්රවණය, දර්ශනය යන සියල්ල ම සංග්රහ වේ. වෙත එළඹීම ආදී උසස් කුසලයන්ට වඩා දර්ශන කුසලය (දැකීමේ කුසලය) වටිනාකමින් අඩු ය. ඒ වටිනාකමෙන් අඩු කුසලයාගේ වශයෙන් සූත්ර පාළියෙහි “සමණානඤ්ච දස්සනං“ යනුවෙන් භාග්යවතුන් වහන්සේ වදාළහ.) එය මඞ්ගල යයි දත යුතුයි. කුමක් හෙයින්ද යත්; බොහෝ උපකාර ඇති බැවිනි. “මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ දර්ශනය පවා බොහෝ උපකාර යයි කියමි”යි යනාදිය වදාළහ. යම් හෙයකින් හිත කැමති කුල පුත්රයා විසින් සිල්වත් භික්ෂූන් ගෙදොරට පැමිණි බව දැක ඉදින් දිය යුතු දෙයක් ඇත්තේ නම් ශක්ති පමණින් දිය යුතු දෙයින් පිදිය යුතුය. ඉදින් (දිය යුතු දෙයක්) නැත්නම් පසඟ පිහිටුවා වැඳිය යුතුය. එයද නොහැකි වන කල්හි ඇඳිලි බැඳ නමස්කාර කළ යුතුය. එයද නොහැකි වන විට පහන් සිතින් ප්රිය ඇසින් බැලිය යුතුය. මෙසේ දර්ශනය මූලික වූ පිනෙන් පවා නොයෙක් දහස් ගණන් ජාතීන්හිදී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ ඉදිමුමක් හෝ පිළිකාවක් හෝ නොවේ. ඇස් ප්රසන්න වූයේ පඤ්ච වර්ණයෙන් සශ්රීකවත් වූයේ, රුවන් විමනක ගලවා දැමූ මැණික් කවුළුවක් වැනි වේ. කල්ප සිය දහසක් පමණ දෙවියන් අතර ද මිනිසුන් අතර ද සියලු සම්පත් ලබන්නෙක් වෙයි. ප්රඥා සම්පන්න මනුෂ්යයෙක් මැනවින් පැවැත් වූ ශ්රමණ දර්ශනමය පිනෙන් යම් ආකාර වූ විපාක සම්පත්තිය අනුභව කිරිම පුදුමයක් නොවේ. තිරිසන් ගත සත්ත්වයන්ට ද හුදෙක් (යම් ශ්රමණයෙකු කෙරෙහි) ශ්රද්ධා මාත්රයක් උපදී ද ඔහුගේ ශ්රමණ දර්ශනයෙහි විපාක සම්පත්තිය මෙසේ වර්ණනා කරති.