තපොචාතිගාථාවණ්ණනා
දැන් “තපොච” යන ගාථාවෙහි පාපී අකුසල ධර්ම තවානුයි. තපො වේ. ශ්රේෂ්ඨ හැසිරීම හෝ බ්රහ්මයන්ගේ හැසිරීම බ්රහ්මචරියං වේ. ශ්රේෂ්ඨ චර්ය්යාව යයි කියන ලද්දේ වෙයි. අරියසච්චානං දස්සනං (ආර්ය්ය සත්යයන්ගේ දැකීම) අරිය සච්චාන දස්සනං වේ. සමහරු “අරිය සච්චානි දස්සනං” යයි ද කියති. එය සුන්දර නොවේ. කෙලෙස් වලින් නික්මුණේනුයි =– නිබ්බාණං වේ. ප්රත්යක්ෂ කිරීම = සච්ඡිකිරියා වේ. නිබ්බාණස්ස සච්ඡිකිරියා (නිර්වාණයාගේ ප්රත්යක්ෂ කිරීම) නිබ්බාණසච්ඡිකිරියා වේ. ඉතිරිය කියන ලද අයුරින්මය. මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. “තපො” (තපස) නම් අභිධ්යා දෝමනස්ස ආදීන් තවන හෙයින් ඉන්ද්රිය සංවරයයි; නැතහොත් කුසීතකම තවන හෙයින් වීර්ය්යයයි. එයින් යුක්ත පුද්ගලයා වනාහි ‘ආතාපී’ යයි කියනු ලැබේ. ඒ මේ තපස අභිධ්යාදිය ප්රහාණයට හා ධ්යානාදිය ලැබීමට හේතුවන හෙයින් මඞ්ගල යයි දත යුතුයි.
“බ්රහ්ම චරියං” (බ්රහ්මචර්ය්යාව) නම් මෛථුනයෙන් වෙන්වීම, ශ්රමණ ධර්ම, ශාසන මාර්ග යන මේවාට නාමයකි. ඒ එසේමය. “අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති” (චූලහත්ථිපදොපමසුත්ත) යන මේ ආදී තන්හි මෛථුනයෙන් වෙන්වීම බ්රහ්මචර්ය්යාව යයි කියනු ලැබේ. “භගවති නො අවුසො බ්රහ්මචරියං වුස්සතීති, එවමාවුසොති” (රථ විනීතසුත්ත) යන මේ ආදී තන්හි ශ්රමණ ධර්මයයි. “න තාවහං පාපිම! පරිනිබ්බායිස්සාමි, යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං” (පරිනිබ්බාණසුත්ත) යන මේ ආදී තන්හි ශාසනයෙහිය.
“අයමෙව ඛො භික්ඛු අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං, සෙය්යථිදං, සම්මාදිට්ඨි” (සංයුත්ත නිකාය) යන මේ ආදී තන්හි මාර්ගයයි. මෙහි වනාහි “අරියසච්ච දස්සන” යන්නෙන් අන් තැනෙක්හි මාර්ගය සංග්රහ කළ බැවින් ඉතිරි සියලුම අර්ථ ගැනීම වටී. එයද මේ මතු මත්තෙහි නොයෙක් ආකාරයේ විශේෂාධිගමයන් ලැබීමට හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුයි.
“අරිය සච්චාන දස්සනං” (ආර්ය්ය සත්යයන් දැකීම) නම්: කුමාර ප්රශ්නයෙහි කියන ලද අර්ථ ඇති චතුරාර්ය්ය සත්යය අවබෝධ කර ගැනීම් වශයෙන් මාර්ග දර්ශනයයි. එය සංසාර දුක දුරු කිරීමට හේතුවන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ.
නිබ්බාණ සච්ඡිකිරියා (නිර්වාණය ප්රත්යක්ෂ කිරීම) නම්: මෙහි අර්හත් ඵලය නිර්වාණයයි අදහස් කරන ලදී. එය වනාහි (නරක, තිරිසන්, ප්රේත, මනුෂ්ය, දේව) යන පඤ්ච ගතිය පිළිබඳ වාන සඞ්ඛ්යාත තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ යයි කියනු ලැබේ. එයට පැමිණීම හෝ නුවණින් සළකා බැලීම හෝ සච්ඡිකිරියා යයි කියනු ලැබේ.
මෙසේ මේ නිර්වාණය ප්රත්යක්ෂ කිරීම මෙලොව සුඛ විහරණාදිය සඳහා හේතුවන බැවින් මඞ්ගල යයි දත යුතුයි.
මෙසේ මේ ගාථාවෙන් තපස, බ්රහ්මචර්ය්යාව, ආර්ය්ය සත්යයන් දැකීම, නිර්වාණය ප්රත්යක්ෂ කිරිම යයි මඞ්ගල හතරක් දේශනා කරන ලදී. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කළේය.
“තපොච” යන මේ ගාථාවේ අර්ථ වර්ණනාව නිමියේය.
ඵුට්ඨස්සලොකධම්මෙහීතිගාථාවණ්ණනා
දැන් “ඵුට්ඨස්ස ලොක ධම්මෙහි” යන මේ ගාථාවේ “ඵුට්ඨස්ස” යනු ස්පර්ශ කළහුගේ, ගැටුණු තැනැත්තහුගේ, පැමිණි තැනැත්තහුගේ; ලොකෙ ධම්මා (ලෝකයෙහි ධර්මයෝ) = ලොකධම්මා වේ; යම්තාක් ලෝකය පවතී ද ඒ තාක් නොනවතින ධර්මයෝ යයි කියන ලද්දේ වෙයි. “චිත්තං” යනු මනසයි, සිතයි, යස්ස යනු නවකයාගේ මධ්යමයාගේ හෝ ස්ථවිරයන්ගේ හෝ, න කම්පති යනු නොසෙලවේ, කම්පා නොවේ; අසොකං යනු ශෝක නැති, උදුරා දැමූ ශෝක හුල් ඇති; විරජං යනු පහ වූ (කෙලෙස්) ධූලි ඇති, විනාශ කළ (කෙළෙස්) ධූලි ඇති; ඛෙමං යනු භය නැති, උපද්රව නොමැති; ඉතිරිය කියන ලද අයුරින්මය මේ පද වර්ණනාවයි.
අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුයි. “ඵුට්ඨස්ස ලොකධම්මෙහි යස්ස චිත්තං න කම්පති” ලාභ අලාභ ආදී අෂ්ට ලෝක ධර්මයන්ගෙන් ස්පර්ශ කළ, මැඬගත් යමෙකුගේ සිත කම්පා නොවේ නොසෙලවේද, ඔහුගේ ඒ සිත කිසිවකින් කම්පා කළ නොහැකි ලෝකයේ උත්තමභාවය ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
මේවායින් ස්පර්ශ කළ කාගේ නම් සිත කම්පා නොවේද යත්? අර්හත් වූ ක්ෂණාශ්රවයන් වහන්සේලාගේය. වෙනත් කිසිවෙකුගේ නොවේ. මෙයද දේශනා කරන ලදී.
එක ඝන වූ ගල් පර්වතයක් සිවු දිගින් හමන සුළඟින් යම් සේ කම්පා නොවේද එපරිද්දෙන් සියලු රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණුද ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ධම්මාරම්මනයෝ ද රහතන් වහන්සේලාගේ සිත කම්පා නොකරත්. ඒ රහත්හුගේ ස්ථිර වූ මැනවින් කෙලෙසුන්ගෙන් මිදුණු සිත විනාශය ද දකී.” (මහාවග්ගපාලි) යනුවෙනි.
“අසොකං” (ශෝක රහිත) නම්, රහතන් වහන්සේගේම සිතයි, එය වනාහි “යම් මේ ශෝක කිරීමක් ඇත් ද ශෝක කරන බවය, ශෝක කළ බවය, ශරීරය ඇතුළත වියලන ස්වභාවය, ශරීරය ඇතුළත හාත්පසින් වියලන ස්වභාවය, සිතින් හාත්පසින් පසුතැවිලි වන බවය යන යමක් ඇත්ද ආදී ක්රමයට කියනු ලැබේ ද එම ශෝකය උන්වහන්සේට නොමැති හෙයින් “අසොකං” වේ. සමහරු නිර්වාණ යයි කියති. එය පෙර පදය සමඟ නොගැළපේ.
අසොකය යම්සේ ද විරජං, ඛෙමං යන පද ද එසේය. රහතන් වහන්සේගේම සිත රාග, දෝෂ, මෝහ කෙලෙස් ධූලි වලින් පහවූ හෙයින් විරජං වේ. සතර ඕඝයන්ගෙන් නිදහස් වූ හෙයින් ඛෙමං වේ. යම් හෙයකින් මෙසේ ඒ ඒ ආකාරයෙන් ඒ ඒ තන්හි පැවති ක්ෂණය ගෙන දැක්වීම් වශයෙන් තුන් ආකාර වූයේ නමුදු නිර්වාණාදී ලෝකයේ උත්තම ස්වභාවයක් ගෙන දෙන හෙයින් ද ආහුණෙය්ය ආදී ගුණයන් ගෙන දෙන හෙයින් ද මඞ්ගල යයි දත යුතුයි.