ඵුට්ඨස්සලොකධම්මෙහීතිගාථාවණ්ණනා
දැන් “ඵුට්ඨස්ස ලොක ධම්මෙහි” යන මේ ගාථාවේ “ඵුට්ඨස්ස” යනු ස්පර්‍ශ කළහුගේ, ගැටුණු තැනැත්තහුගේ, පැමිණි තැනැත්තහුගේ; ලොකෙ ධම්මා (ලෝකයෙහි ධර්‍මයෝ) = ලොකධම්මා වේ; යම්තාක් ලෝකය පවතී ද ඒ තාක් නොනවතින ධර්‍මයෝ යයි කියන ලද්දේ වෙයි. “චිත්තං” යනු මනසයි, සිතයි, යස්ස යනු නවකයාගේ මධ්‍යමයාගේ හෝ ස්ථවිරයන්ගේ හෝ, න කම්පති යනු නොසෙලවේ, කම්පා නොවේ; අසොකං යනු ශෝක නැති, උදුරා දැමූ ශෝක හුල් ඇති; විරජං යනු පහ වූ (කෙලෙස්) ධූලි ඇති, විනාශ කළ (කෙළෙස්) ධූලි ඇති; ඛෙමං යනු භය නැති, උපද්‍රව නොමැති; ඉතිරිය කියන ලද අයුරින්මය මේ පද වර්‍ණනාවයි.
අර්‍ථ වර්‍ණනාව වනාහි මෙසේ දත යුතුයි. “ඵුට්ඨස්ස ලොකධම්මෙහි යස්ස චිත්තං න කම්පති” ලාභ අලාභ ආදී අෂ්ට ලෝක ධර්‍මයන්ගෙන් ස්පර්‍ශ කළ, මැඬගත් යමෙකුගේ සිත කම්පා නොවේ නොසෙලවේද, ඔහුගේ ඒ සිත කිසිවකින් කම්පා කළ නොහැකි ලෝකයේ උත්තමභාවය ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
මේවායින් ස්පර්‍ශ කළ කාගේ නම් සිත කම්පා නොවේද යත්? අර්හත් වූ ක්ෂණාශ්‍රවයන් වහන්සේලාගේය. වෙනත් කිසිවෙකුගේ නොවේ. මෙයද දේශනා කරන ලදී.
එක ඝන වූ ගල් පර්‍වතයක් සිවු දිගින් හමන සුළඟින් යම් සේ කම්පා නොවේද එපරිද්දෙන් සියලු රූප ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ යන අරමුණුද ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ධම්මාරම්මනයෝ ද රහතන් වහන්සේලාගේ සිත කම්පා නොකරත්. ඒ රහත්හුගේ ස්ථිර වූ මැනවින් කෙලෙසුන්ගෙන් මිදුණු සිත විනාශය ද දකී.” (මහාවග්ගපාලි) යනුවෙනි.
“අසොකං” (ශෝක රහිත) නම්, රහතන් වහන්සේගේම සිතයි, එය වනාහි “යම් මේ ශෝක කිරීමක් ඇත් ද ශෝක කරන බවය, ශෝක කළ බවය, ශරීරය ඇතුළත වියලන ස්වභාවය, ශරීරය ඇතුළත හාත්පසින් වියලන ස්වභාවය, සිතින් හාත්පසින් පසුතැවිලි වන බවය යන යමක් ඇත්ද ආදී ක්‍රමයට කියනු ලැබේ ද එම ශෝකය උන්වහන්සේට නොමැති හෙයින් “අසොකං” වේ. සමහරු නිර්‍වාණ යයි කියති. එය පෙර පදය සමඟ නොගැළපේ.
අසොකය යම්සේ ද විරජං, ඛෙමං යන පද ද එසේය. රහතන් වහන්සේගේම සිත රාග, දෝෂ, මෝහ කෙලෙස් ධූලි වලින් පහවූ හෙයින් විරජං වේ. සතර ඕඝයන්ගෙන් නිදහස් වූ හෙයින් ඛෙමං වේ. යම් හෙයකින් මෙසේ ඒ ඒ ආකාරයෙන් ඒ ඒ තන්හි පැවති ක්‍ෂණය ගෙන දැක්වීම් වශයෙන් තුන් ආකාර වූයේ නමුදු නිර්‍වාණාදී ලෝකයේ උත්තම ස්වභාවයක් ගෙන දෙන හෙයින් ද ආහුණෙය්‍ය ආදී ගුණයන් ගෙන දෙන හෙයින් ද මඞ්ගල යයි දත යුතුයි.
මෙසේ මේ ගාථාවෙන් අෂ්ට ලෝක ධර්‍මයෙන් කම්පා නොවන සිත, අශෝක සිත, විරජ සිත, ඛේම සිත යයි මඞ්ගල කරුණු හතරක් දේශනා කරන ලදී. ඔවුන්ගේ මඞ්ගලභාවය ද ඒ ඒ තන්හි පැහැදිලි කළේමය.
“ඵුට්ඨස්ස ලොක ධම්මෙහි” යන මේ ගාථාවෙහි අර්‍ථ වර්‍ණාව නිමියේය.
එතාදිසානීතිගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “අසෙවනාච බාලානං” ආදී ගාථා දහයෙන් තිස් අටක් මහා මඞ්ගල කරුණු දේශනා කොට දැන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද මඞ්ගල කාරණයන් පසසන්නාහු “එතාදිසානි කත්වාන” යන මේ අවසාන ගාථාව වදාළහ.
මේ එහි අර්‍ථ වර්‍ණනාවයි. “එතාදිසානි” යනු මේ ආකාර වූ මා විසින් දේශනා කරන ලද ආකාරයේ මේ බාලයන් සේවනය නොකිරිම් ආදිය; “කත්වාන” කොට, ‘කරිත්‍වා’ යන අර්‍ථයෙන් වෙනෙකක් නොවේ. “සබ්බත්‍ථමපරාජිතා” යනු සියලු තන්හි ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර, දේවපුත්තමාර යන ප්‍රභේද ඇති සතුරන් සතර දෙනා අතුරින් එකෙකුදු විසින් අපරාජිතයෙක් වී, තමා විසින් ම ඒ මාරයන් සතර දෙනා පරාජය කොට යයි කියන ලද්දේ වෙයි. මෙහි ‘ම’ කාරය පද සන්‍ධි කිරීම් මාත්‍රයක් පමණක් බව දත යුතුය.
“සබ්බත්‍ථ සොත්‍ථිං ගච්ඡන්ති” යනු මේ ආකාර වූ මඞ්ගලයන් කොට සතර මාරයන් විසින් අපරාජිතයෙකු වී මෙලොව පරලොව සියලු තන්හිද සිටීම් සක්මන් කිරීම් ආදියෙහි ද යහපතකට යෙති. බාලයන් සේවනය කිරීම් ආදියෙන් යම් ආශ්‍රව, විඝාත (සිතේ කරදර) පරිදාහ උපදින්නේ ද ඒවායේ අභාවයෙන් යහපතකට යෙති. උපද්‍රව රහිත බවට කරදර නොමැති බවට ආරක්ෂා සහිත බවට එය රහිත බවට යෙතියි කියන ලද්දේ වෙයි. මෙහි ද අනුනාසිකය ගාථාබන්‍ධය සුඛෝච්චාරණය සඳහා කියන ලද්දේ යයි දත යුතුයි.
“තං තෙසං මඞ්ගලමුත්තමං” යන මේ ගාථා පදයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමා කළ සේක. කෙසේද? දේවපුත්‍රය! මෙසේ යමෙක් මෙබඳු දේ කරත් ද ඔවුහු යම් හෙයකින් සියලු තන්හි යහපතට යෙත්ද එහෙයින් බාලයන් සේවනය නොකිරීම ආදී මඞ්ගලයන් අටතිස් ආකාර වූයේ නමුදු මෙබඳු වූ මඞ්ගලයන් අනුගමනය කරන ඔවුන්ට එය උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ පවර වූ මඞ්ගලයක් ලෙස ගනුව” යනුවෙනි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නිමවන ලද දේශනාව අවසානයෙහි කෙළ ලක්‍ෂයක් දේවතාවෝ රහත් ඵලයට පැමිණියහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලයට පත් වූවන්ගේ ගණන අසඞ්ඛ්‍ය වේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දෙවන දවස්හි ආනන්ද තෙරුන් ඇමතූහ. “ආනන්ද, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් මා වෙත එළඹ මඞ්ගල ප්‍රශ්නය විචාළේය. මම ඔහුට අටතිසක් මඞ්ගල කරුණු දේශනා කළෙමි. ආනන්දය, මඞ්ගල පරියාය උගනුව; ඉගෙන ගෙන භික්ෂූන්ට උගන්වව” යනුයි. තෙරුන් වහන්සේ ඉගෙන ගෙන භික්ෂූන්ට ඉගැන්වූහ. ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් ගෙනෙන ලද ඒ මේ (මඞ්ගල සූත්‍රය) අද දක්වා පවතී. මෙසේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව (ශාසනය) සමෘද්ධ වූයේ ද වැඩීමට පැමිණියේද පැතුරුණේද, බොහෝ දෙනා විසින් දැන ගනු ලැබුවේද ප්‍රකට වූයේ ද දෙවි මිනිසුන් විසින් මැනවින් ප්‍රකාශ කරන ලද්දේ ද වන්නේ යයි දත යුතුය.