එතාදිසානීතිගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “අසෙවනාච බාලානං” ආදී ගාථා දහයෙන් තිස් අටක් මහා මඞ්ගල කරුණු දේශනා කොට දැන් තමන් වහන්සේ විසින් දේශනා කරන ලද මඞ්ගල කාරණයන් පසසන්නාහු “එතාදිසානි කත්වාන” යන මේ අවසාන ගාථාව වදාළහ.
මේ එහි අර්‍ථ වර්‍ණනාවයි. “එතාදිසානි” යනු මේ ආකාර වූ මා විසින් දේශනා කරන ලද ආකාරයේ මේ බාලයන් සේවනය නොකිරිම් ආදිය; “කත්වාන” කොට, ‘කරිත්‍වා’ යන අර්‍ථයෙන් වෙනෙකක් නොවේ. “සබ්බත්‍ථමපරාජිතා” යනු සියලු තන්හි ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර, දේවපුත්තමාර යන ප්‍රභේද ඇති සතුරන් සතර දෙනා අතුරින් එකෙකුදු විසින් අපරාජිතයෙක් වී, තමා විසින් ම ඒ මාරයන් සතර දෙනා පරාජය කොට යයි කියන ලද්දේ වෙයි. මෙහි ‘ම’ කාරය පද සන්‍ධි කිරීම් මාත්‍රයක් පමණක් බව දත යුතුය.
“සබ්බත්‍ථ සොත්‍ථිං ගච්ඡන්ති” යනු මේ ආකාර වූ මඞ්ගලයන් කොට සතර මාරයන් විසින් අපරාජිතයෙකු වී මෙලොව පරලොව සියලු තන්හිද සිටීම් සක්මන් කිරීම් ආදියෙහි ද යහපතකට යෙති. බාලයන් සේවනය කිරීම් ආදියෙන් යම් ආශ්‍රව, විඝාත (සිතේ කරදර) පරිදාහ උපදින්නේ ද ඒවායේ අභාවයෙන් යහපතකට යෙති. උපද්‍රව රහිත බවට කරදර නොමැති බවට ආරක්ෂා සහිත බවට එය රහිත බවට යෙතියි කියන ලද්දේ වෙයි. මෙහි ද අනුනාසිකය ගාථාබන්‍ධය සුඛෝච්චාරණය සඳහා කියන ලද්දේ යයි දත යුතුයි.
“තං තෙසං මඞ්ගලමුත්තමං” යන මේ ගාථා පදයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමා කළ සේක. කෙසේද? දේවපුත්‍රය! මෙසේ යමෙක් මෙබඳු දේ කරත් ද ඔවුහු යම් හෙයකින් සියලු තන්හි යහපතට යෙත්ද එහෙයින් බාලයන් සේවනය නොකිරීම ආදී මඞ්ගලයන් අටතිස් ආකාර වූයේ නමුදු මෙබඳු වූ මඞ්ගලයන් අනුගමනය කරන ඔවුන්ට එය උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ පවර වූ මඞ්ගලයක් ලෙස ගනුව” යනුවෙනි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නිමවන ලද දේශනාව අවසානයෙහි කෙළ ලක්‍ෂයක් දේවතාවෝ රහත් ඵලයට පැමිණියහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලයට පත් වූවන්ගේ ගණන අසඞ්ඛ්‍ය වේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දෙවන දවස්හි ආනන්ද තෙරුන් ඇමතූහ. “ආනන්ද, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් මා වෙත එළඹ මඞ්ගල ප්‍රශ්නය විචාළේය. මම ඔහුට අටතිසක් මඞ්ගල කරුණු දේශනා කළෙමි. ආනන්දය, මඞ්ගල පරියාය උගනුව; ඉගෙන ගෙන භික්ෂූන්ට උගන්වව” යනුයි. තෙරුන් වහන්සේ ඉගෙන ගෙන භික්ෂූන්ට ඉගැන්වූහ. ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් ගෙනෙන ලද ඒ මේ (මඞ්ගල සූත්‍රය) අද දක්වා පවතී. මෙසේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව (ශාසනය) සමෘද්ධ වූයේ ද වැඩීමට පැමිණියේද පැතුරුණේද, බොහෝ දෙනා විසින් දැන ගනු ලැබුවේද ප්‍රකට වූයේ ද දෙවි මිනිසුන් විසින් මැනවින් ප්‍රකාශ කරන ලද්දේ ද වන්නේ යයි දත යුතුය.
දැන් මේ මඞ්ගල කාරණයන් පිළිබඳවම දැනුම, පුරුද්ද, දක්‍ෂතාව සඳහා මේ මුල් කාරණයේ පටන් යෙදීමයි. මෙසේ මේ මෙලොව, පරලොව හා ලෝකෝත්තර සැප කැමති සත්ත්වයෝ බාල ජනයා සේවනය කිරීම අත්හැර පණ්ඩිතයන් (ඇසුරු කිරීම) නිසා පිදිය යුත්තන් පුදමින් සුදුසු ප්‍රදේශයක විසීම හා පෙර කළ පින් ඇති බව නිසා කුශල ප්‍රවෘත්තියෙන් මෙහෙයවනු ලබන්නාහු තමාගේ සිත මැනවින් පිහිටුවාගෙන බහුශ්‍රැත බව, දන්නා ශිල්ප ඇති බව, විනය යන මේවායින් අලඞ්කාර කළ ආත්මභාව ඇත්තාහු විනයට අනුකූල වූ සුභාෂිත වචන කථා කරන්නාහු යම්තාක් ගිහි ස්වරූපය අත් නොහරින්නාහුද ඒ තාක් මව්පිය උපස්ථානයෙන් පැරණි ණය මුදලක් නිදහස් කරමින් අඹු දරුවන්ට සංග්‍රහ කිරීමෙන් නව ණය මුදල් යොදවනු ලබන්නාහු නිරවුල් කර්‍මාන්ත ඇති බැවින් ධන ධාන්‍ය ආදියෙහි සමෘද්ධියට පැමිණෙන්නාහු දානයෙන් භෝග සාරයත් ධර්‍ම චර්‍ය්‍යාවෙන් ජීවිත සාරයත් ගෙන ඥාතී සංග්‍රහයෙන් සිය ජනයාගේ යහපතද නිවැරදි කර්‍මාන්ත ඇති බැවින් අන්‍ය ජනයාගේ යහපත ද කරන්නාහු පවෙන් වැළකීමෙන් අනුන් නැසීම ද මද්‍ය පානයෙහි සංයමයෙන් ආත්ම ඝාතනය ද දුරු කොට ධර්‍මයන්හි නොපමාවීමෙන් කුශල පක්‍ෂය වඩන්නාහු වැඩූ කුශල් ඇති බව නිසා ගිහි සළකුණු අත්හැර පැවිදි ස්වභාවයෙහි සිටියාහු නමුදු බුද්ධ, බුද්ධ ශ්‍රාවක, උපාධ්‍යාය, ආචාර්‍ය්‍ය ආදීන් කෙරෙහි ගෞරවයෙන් ද යටහත් පැවැත්මෙන් ද වත් සම්පතින් සතුටු කොට ලද දෙයින් සතුටු වීමෙන් සිව් පසය පිළිබඳ ආශාව අත්හැර කළගුණ දන්නා බව නිසා සත්පුරුෂ භූමියෙහි පිහිටා ධර්‍ම ශ්‍රවණයෙන් සිතෙහි කුසීත බව අත්හැර ඉවසීමෙන් සියලු උවදුරු මැඩ පවත්වන්නාහු සුවචභාවය නිසා තමා සනාථයෙකු කොට ශ්‍රමණයන් දැකීමෙන් ප්‍රතිපත්තියෙහි යෙදීම දකින්නාහු ධර්‍ම සාකච්ඡාවෙන් සැක සහිත ධර්‍මයන්හි සැකය දුරු කොට ඉන්ද්‍රිය සංවර තපසින් ශීල විසුද්ධිය ද, ශ්‍රමණ ධර්‍ම බ්‍රහ්ම චර්‍ය්‍යාවෙන් චිත්ත විසුද්ධිය ද එයින් මත්තෙහි වූ සතර විසුද්ධීන් ද සම්පදනය කරන්නාහු මේ ප්‍රතිපදාවෙන් ආර්‍ය්‍ය සත්‍ය දර්‍ශනය අවසන් කොට ඇති ඥාන දර්‍ශන විසුද්ධියට පත්ව යමක් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මහාමේරු පර්‍වතය සුළඟින් කම්පා නොවන්නා සේ අෂ්ට ලෝක ධර්‍මයෙන් කම්පා නොවන සිත් ඇත්තාහු ශෝක නැත්තෝ කෙලෙස් ධූලි නැත්තෝ බියෙන් තොර වූවෝ වෙත්ද ඒ අර්හත් ඵල සඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රත්‍යක්ෂ කරති. යමෙක් බිය නැත්තාහුද ඔවුහු සියලු තන්හි අපරාජිත වූවාහු වෙති. සියලු තන්හි යහපතට ද යෙති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“එතාදිසානි කත්‍වාන සබ්බත්‍ථ මපරාජිතා
සබ්බත්‍ථ සොත්‍ථි ගච්ඡන්ති තං තෙසං මඞ්ගල මුත්තමං” යනුයි.
මහාමඞ්ගල සූත්‍ර වර්‍ණනාව නිමියේය.
6. රතන සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් “යානීධ භූතානි” යන මේ ආදී වශයෙන් මංගල සූත්‍රයෙන් අනතුරුව ඇතුළත් කර ඇති රතන සූත්‍රයෙහි අර්‍ථ වර්‍ණනා ක්‍රමය පැමිණියේය. එම සූත්‍රය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා ඉන් අනතුරුව සුපිරිසිදු තොටකින් ගඞ්ගා විල් ආදියෙහි ජලයට බැස ගැනීමක් මෙන් පිරිසිදු නිදාන කථාවෙන් මෙම සූත්‍රයේ අර්‍ථයට බැස ගැනීම දැක්වීම සඳහා,