බාහුසච්චඤ්චාතිගාථාවණ්ණනා
දැන් “බාහුසච්චඤ්ච” යන මේ ගාථාවෙහි “බාහු සච්චං” යනු බහුශ්‍රැත භාවයයි. “සිප්පං” යනු යම්කිසි හස්ත (කර්‍මාන්තයන්හි) දක්ෂ බවයි. “විනයො” යනු කය, වචනය, සිතෙහි හික්මීමයි. “සුසික්ඛිතො” යනු මැනවින් හික්මුණේ. “සුභාසිතා” යනු මැනවින් කියන ලද “යා” යනු අනියමින් දැක්වීමයි, වාචා යනු වචනය, වචන මාර්ගය, සෙස්ස කියන ලද ක්‍රමයටමය. මේ මෙහි පද වර්‍ණනාවයි.
අර්‍ථ වර්‍ණනාව වනාහි මෙසේ දත යුතය. “බාහුසච්ච” නම් යම් ඒ පුද්ගලයෙක් “ශ්‍රැතධරයෙක් වෙයි. රැස් කරගත් ශ්‍රැත ඇත්තෙක් වෙයි” යයි ද මේ ශාසනයෙහි යමෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණ බොහෝ කොට අසන ලද්දේ වෙයි යයි ද මේ ආදී ක්‍රමයට ශාස්තෲ ශාසනධාරි බව වර්‍ණනා කරන ලද්දේ වේද එය අකුසල් දුරු කිරීමට හා කුසල් ලබා ගැනීමට හේතු වන බැවින්ද පිළිවෙළින් පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමට හේතු වන බැවින්ද මඞ්ගල යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදි.
“මහණෙනි ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ අකුසලය දුරු කරයි. කුසලය වඩයි, සාවද්‍ය දේ බැහැර කරයි, නිරවද්‍ය දේ වඩයි, තමා පිරිසිදුව පරිහරණය කරයි” යනුවෙනි.
තවෙකක් ද දේශනා කරන ලදි.
“දරන ලද ධර්‍මයන්ගේ අර්‍ථය නුවණින් පරීක්ෂා කරයි, අර්‍ථය පරික්ෂා කරන්නේ ධර්‍මය ප්‍රතිවේධයට යෝග්‍ය වේ. ධර්‍මය ස්වකීය ප්‍රතිවේධයට ගැළපීම ඇති කල්හි ඇල්ම ඇති වේ. හටගත් ඇල්ම ඇත්තේ වෑයම් කරයි. වෑයම් කරන්නේ සසඳයි. සසදන්නේ (සිත) පිහිටුවයි. (සිත) පිහිටුවන්නේ කයින් ද පරම සත්‍යය ප්‍රත්‍යක්ෂ කරයි. නුවණින් ද විනිවිද දකියි යනුයි.
තවද යම් අගාරික බහුශ්‍රැත බවක් නිවැරදි වේ ද එය දෙලොව හිතසුව ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
සිප්ප (ශිල්ප) නම් අගාරිය ශිල්පය ද අනගාරිය ශිල්පය ද වේ, එහි අගාරිය ශිල්පය යනු පරපණ නැසීමෙන් තොරවූ, අකුසලය දුරුකළ මණිකාර (මැණික්කරු) සුවණ්ණකාර (රන්කරු) ආදී කර්‍මාන්තයි, එය මෙහි ලෝකාර්‍ථය ගෙන දෙන හෙයින් මඞ්ගල වේ. අනගාරිය ශිල්පය නම් සිවුරු පිළියෙළ කිරීම, මැසීම ආදී ශ්‍රමණ පරිෂ්කාර සකස් කිරීමයි, යම් ඒ කාර්‍ය්‍යයක් “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සබ්‍රහ්මචාරීන්ගේ යම් ඒ උස් පහත් කළ යුතු කාර්‍ය්‍යයෝ වෙත්ද එහි දක්ෂ වූයේ වෙයි. ආදී ක්‍රමයට ඒ ඒ තන්හි වර්‍ණනා කරන ලද්දේ වේ ද යමක් නාථකරණ ධර්‍මයයි දේශනා කරන ලද්දේ වේ ද එය තමාගේ ද අනුන්ගේ ද දෙලොව හිත සුව ගෙන දෙන හෙයින් මඞ්ගල යයි දත යුතුය.
“විනය” නම් අගාරිය විනය හා අනගාරිය විනයයි, එහි අගාරිය විනය නම් දශ අකුශල කර්‍ම පථයෙන් වෙන් වීමයි. හෙතෙම එහි නොකෙලෙසෙන අයුරින් පිළිපැදීමෙන් ද ආචාර ගුණ නියම කර ගැනීමෙන් ද මැනවින් හික්මුණේ දෙලොව හිතසුව ගෙන දෙන හෙයින් මඞ්ගල වේ. අනගාරිය විනය ද සප්ත ආපත්ති ස්කන්ධයෙහි නොයෙදීමයි, හෙතෙමේද කියන ලද ආකාරයට මැනවින් හික්මුණේ වෙයි. නැතහොත් චතුපාරිශුද්ධි ශීලය අනගාරිය විනයයි. හෙතෙම යම්සේ එහි පිහිටීමෙන් රහත් ඵලයට පැමිණේද එසේ හික්මීමෙන් මැනවින් සුශික්ෂිත වූයේ ලෞකික ලෝකෝත්තර සැපය ලැබිමට හේතුවන හෙයින් “මඞ්ගල” යයි දත යුතුය.
“සුභාසිතාවාචා” (සුභාෂිත වචන) නම් මුසාවාද ආදී දෝෂයන්ගෙන් තොර වූ (වචනයයි) “මහණෙනි අඞ්ග හතරකින් යුක්ත වූ වචනය සුභාෂිත වේ යයි යම්සේ වදාළේද (එහෙයිනි) නැතහොත් සම්ඵප්ඵලාප (හිස් වචන) නොවන වචනම සුභාෂිත වේ. යම්සේ වදාළේද,