පතිරූපදෙසවාසොචාතිගාථාවණ්ණනා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ “බ්‍රෑහි මඞ්ගල මුත්තමං” යනුවෙන් එක් මඞ්ගල කරුණක් බලාපොරොත්තු වූයේ නමුදු ස්වල්පයක් ඉල්ලා සිටි කෙනෙකුහට බොහෝ දෙන උදාර පුරුෂයෙකු මෙන් එක් ගාථාවකින් මඞ්ගල කරුණු තුනක් දේශනා කොට එයින් මතුවටත් දෙවියන්ගේ අසනු කැමැත්ත ඇති නිසාත් මඞ්ගල කරුණු ද ඇති නිසාත් යම් යම් කෙනෙකුට යම් යම් මඞ්ගල කරුණක් අනුකුල වේ ද ඒ ඒ සත්ත්වයන් ඒ ඒ මඞ්ගල කරුණෙහි යොදනු කැමැත්ත නිසාත් “පතිරූපදෙස වාසෝච” ආදී ගාථාවන්ගෙන් නැවත ද නොයෙක් මඞ්ගල කාරණයන් දේශනා කිරීමට ආරම්භ කළහ.
එහි පළමු ගාථාවෙහි පළමුකොට “පතිරූපො” යනු සුදුසු වූ, “දෙසො” යනු ගම ද නියම්ගම ද, නගරය ද, ජනපදය ද යන සත්ත්වයන්ට නිවාස වූ යම් කිසි ආවකාශයයි. “වාසො” යනු එහි විසීමයි. “පුබ්බෙ” යනු පෙර අතීත ජාතීන්හි, “කත පුඤ්ඤතා” යනු රැස්කල කුශල් ඇති බව “අත්තා” යන්නෙන් සිත කියනු ලැබේ. නැතහොත් සියලු ආත්මභාවයයි. “සම්මා පණිධි” යනු ඒ සිත හෙවත් ආත්මභාවය මැනවින් යෙදවීමයි. යෙදීම තැබීම යයි කියන ලද්දේ වෙයි. ඉතිරි පද කියන ලද අයුරින්මය. මේ මෙහි පද වර්‍ණනාවයි.
අර්‍ථ වර්‍ණනාව වනාහි මෙසේ දත යුතුය. “පතිරූපදෙසවාසො” නම් යම් තැනක සිව් පිරිස හැසිරෙන්නේ ද දානාදී පුණ්‍ය ක්‍රියා වස්තු පවතී ද නවාඞ්ග ශාස්තෲ ශාසනය බබලයි ද එහි විසීම සත්ත්වයන්ගේ පුණ්‍ය ක්‍රියා සඳහා ප්‍රත්‍ය වන බැවින් මඞ්ගල යයි කියනු ලැබේ. සිංහල දිවයිනට පිවිසි කේවට්ටාදීහු මෙහි නිදසුන් වෙති.
තවත් අදහසකි. පතිරූප දේශය නම් භාග්‍යවතුන් වහන්ගේ බෝ මැඩ පෙදෙස දම්සක් පැවැත්වූ පෙදෙස දොළොස් යොදුනක් පිරිස් මැද සියලු තිර්ථක මත සිඳ යමා මහ පෙළහර දැක්වූ ගණ්ඩම්බ රුක් මුල පෙදෙස, දෙව්ලොව සිට (මිනිස් ලොවට) වැඩම කළ පෙදෙස හෝ වෙනත් යම් ඒ සාවත්‍ථි රාජගහ ආදී බුදුන් වහන්සේ වැඩ විසූ ප්‍රදේශයි, එහි විසීම සත්ත්වයන්ට අනුත්තරිය ධර්‍ම හය ලැබීමට ප්‍රත්‍ය වන හෙයින් මඞ්ගල යයි කියනු ලැබේ.
තවත් අදහසකි. (මහ බෝ මැඩට) පෙර දිගින් කජඞ්ගල නම් නියම් ගමය. ඉන් පිටත මහා ශාලයෝය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දක්ෂිණ පූර්‍ව දිශාවෙන් (ගිණිකොනින්) සල්ලවතී නම් ගඞ්ගාවය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය, ඉන් මොබ මධ්‍ය දේශයයි. අපර (බටහිර) දිගින් ථූණ නම් බමුණු ගමය. එයින් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි. උතුරු දිගින් උශීර ද්වජ නම් පර්‍වතයයි, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දිගින් යොදුන් තුන් සීයකි. පළලින් යොදුන් දෙසිය පනහකි. වට ප්‍රමාණයෙන් යොදුන් නවසීයකි. මෙය ප්‍රතිරූප දේශ නමි,
මෙහි සතර මහා දිවයින්වලටත් දෙදහසක් කුඩා දිවයින්වලටත් ඓශ්චර්‍යාධිපත්‍ය කරන්නා වූ සක්විති (රජවරු) උපදිති. එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක් පාරමී පුරා සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයෝ උපදිත්, අසඞ්ඛ්‍ය දෙකක් හා කල්ප ලක්ෂයක් පාරමී පුරා පසේ බුදුවරු උපදිති. අසඞ්ඛ්‍ය හතරක් අටක්, හෝ දහසයක් හා කල්ප ලක්‍ෂයක් පාරමී පුරා සම්මා සම්බුදුවරු උපදිති. එහි සත්ත්වයෝ සක්විති රජුන්ගේ අවවාද පිළිගෙන පඤ්ච ශිලයෙහි පිහිටා ස්වර්‍ග පරායණ වෙති. එසේම පසේ බුදුවරුන්ගේ අවවාදයෙහි පිහිටා (ස්වර්‍ග පරායණ වෙති) සම්මා සම්බුදුවරුන්ගේ හා බුද්ධ ශ්‍රාවකයන්ගේ අවවාදයෙහි පිහිටා ස්වර්‍ග පරායණද නිර්‍වාණාමෘත පරායණද වෙති. එහෙයින් එහි විසීම මේ සම්පත්තීන්ට ප්‍රත්‍ය වන බැවින් “මඞ්ගල” යයි කියනු ලැබේ.
“පුබ්බෙ කතපුඤ්ඤතා” නම් අතීත ජාතියෙහි බුදු, පසේබුදු, මහරහතුන් අරබයා රැස්කළ කුශල් ඇති බවයි, එයද මඞ්ගලයකි. කුමක් හෙයින්ද යත්? බුදු පසේ බුදුවරුන් සම්මුඛ වශයෙන් දැක බුදුවරුන්ගේ හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේ සම්මුඛයෙන් අසන ලද සතර පාද ඇති ගාථාවක නමුදු අවසානයෙහි රහත් ඵලයට පමුණුවන හෙයිනි. යම් මිනිසෙක් වනාහි පෙර කළ පින් ඇත්තේ උත්සන්න වූ කුසල් මුල් ඇත්තේ වේ ද හෙතෙම ඒ කුශල මූලය කරණ කොට ගෙන විදර්‍ශනා උපදවා ආශ්‍රවක්‍ෂයට (රහත් ඵලයට) පැමිණේ. මහා කප්පින රජ ද අග මෙහෙසිය ද මෙනි. පෙර කරන ලද පින් ඇති බව මඞ්ගලයකැයි එහෙයින් දේශනා කරන ලදි.
“අත්තසම්මාපණිධි” නම් මේ ලෝකයෙහි ඇතමෙක් දුසිල් වූ තමන් ශීලයෙහි පිහිටුවති. අශ්‍රද්ධාවත් තමන් ශ්‍රද්ධාවෙහි පිහිටුවති. මසුරු වූ තමන් ත්‍යග සම්පදාවෙහි පිහිටුවති. මෙය “අත්ත සම්මා පණිධි” යයි කියනු ලැබේ. එයද මඞ්ගලයකි. කුමක් හෙයින්ද යත්? දිට්ඨ ධම්මික හා සම්පරායික වෛරය ප්‍රහාණයට හා විවිධ ආනිසංස ලැබීමට හේතු වන හෙයිනි.
මෙසේ මේ ගාථාවෙන් ද සුදුසු ප්‍රදේශයක විසීම, පෙර කළ පින් ඇති බව, තමා මනාකොට පිහිටීම යයි මඞ්ගල කරුණු තුනක්ම දේශනා කරන ලදි. ඒවායේ මඞ්ගලභාවය ඒ ඒ තැන්වලදී පැහැදිලි කරන ලද්දේමය.
“පතිරූප දෙස වාසොච” යන මේ ගාථාවෙහි අර්‍ථ වර්‍ණනාව නිමියෝය.
බාහුසච්චඤ්චාතිගාථාවණ්ණනා
දැන් “බාහුසච්චඤ්ච” යන මේ ගාථාවෙහි “බාහු සච්චං” යනු බහුශ්‍රැත භාවයයි. “සිප්පං” යනු යම්කිසි හස්ත (කර්‍මාන්තයන්හි) දක්ෂ බවයි. “විනයො” යනු කය, වචනය, සිතෙහි හික්මීමයි. “සුසික්ඛිතො” යනු මැනවින් හික්මුණේ. “සුභාසිතා” යනු මැනවින් කියන ලද “යා” යනු අනියමින් දැක්වීමයි, වාචා යනු වචනය, වචන මාර්ගය, සෙස්ස කියන ලද ක්‍රමයටමය. මේ මෙහි පද වර්‍ණනාවයි.