අසෙවනාචාතිගාථාවණ්ණනා
මෙසේ දේවපුත්රයාගේ ඒ වචනය අසා භාග්යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන ගාථාව වදාළහ.
එහි “අසෙවනා” යනු භජනය නොකිරීම, සේවනය නොකිරීමයි. “බාලානං” යනු ජීවත් වෙති. ආශ්වාස කෙරෙතියි “බාලා” වේ. ආශ්වාස ප්රාශ්වාස පමණකින් ජීවත් වෙති. ප්රඥා සහගත ජීවිතයක් නොවේ යන අදහසයි. ඒ බාලයන්ගේ, “පණ්ඩිතානං” යනු යෙතිනුයි පණ්ඩිතා වේ. සාන්දෘෂ්ටික සම්පරායික අර්ථයන්හි ඥාන ගතියෙන් යෙති”යි යන අදහසයි. ඒ පණ්ඩිතයන්ගේ, “සෙවනා” යනු භජනය කිරීම, ඇසුරු කිරීම, ඔහු සහාය කොට ඇති බව, ඔහු හා හිතවත්භාවය පැවැත්වීමයි. “පූජා” යනු සත්කාර කිරීම, ගරු කිරීම, බුහුමන් කිරීම, වැඳීමයි. “පූජනෙය්යානං” යනු පූජාවට සුදුසු අයට “එතං මඞ්ගල මුත්තමං” යනු නුඹ විසින් “බ්රෑහි මඞ්ගල මුත්තමං” යයි යමක් විමසන ලද්දේ මෙහිදී පළමු කොට උතුම් මඞ්ගලයකැයි ගනුව”යි දේශනා කරන ලද්දේ වෙයි. මේ මෙම ගාථාවෙහි පද වර්ණනාවයි.
මෙම ගාථාවෙහි අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. මෙසේ දේව පුත්රයාගේ මේ වචනය අසා භාග්යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන මේ ගාථාව වදාළහ. එහි යම් හෙයකින් කථාවෝ පුච්ඡිත කථා, අපුච්ඡිත කථා, සානුසන්ධි කතා, අනනුසන්ධි කථා යයි සතරාකාර වෙත් ද එහි “පුච්ඡාමි තං ගොතම භූරිපඤ්හ කථංකරො සාවකො සාධු හොති” යයි ද “කථන්නු ත්වං මාරිස ඔඝමතරි” යයි ද මේ ආදි තන්හි (මෙන්) යමෙකු විසින් විමසන ලද්දේ කළ දේශනා “පුච්ඡිත කථා” වේ. “යං පරෙ සුඛතො ආහු තදරියාආහු දුක්ඛතො” යන මේ ආදී තන්හි (මෙන්) යමෙකු විසින් විමසීමක් නොමැතිව තමන් වහන්සේගේ අදහස් වශයෙන් කළ දේශනා අපුච්ඡිත කථා නම් වේ. බුදුවරුන්ගේ සියලුම කථා “සතිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි” යයි වදාළ බැවින් සානුසන්ධි කථා වේ. අනනුසන්ධි කථා මේ ශාසනයෙහි නොමැත. මෙසේ මේ කථා අතුරෙන් මේ දේශනාව දේව පුත්රයා විසින් විමසන ලද්දේ භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කළ බැවින් පුච්ඡිත කථා වේ. විමසන ලද (පුච්ඡිත) කථාවෙහි ද යම්සේ මග නොමඟ මැනවින් දත් දක්ෂ පුරුෂයෙක් මග විමසනු ලැබුවේ “අසවල් තැන දෙමංසන්ධියක් ඇත. එහි වම්පස මග අත්හැර දකුණු පස මග ගනිවු” යයි පළමුව දුරු කළ යුතු මග කියා පසුව ගත යුතු මග කියයි ද ඒ අයුරින් සේවනය කළ යුතු හා සේවය නොකළ යුතු පුද්ගලයන් අතුරෙන් සේවනය නොකළ යුතු (පුද්ගලයන්) කියා සේවනය කළ යුතු අය කිව යුතුය. භාග්යවතුන් වහන්සේ ද මාර්ගයෙහි දක්ෂ වූ පුරුෂයාට සමානය. යම්සේ කීවේද
“තිස්සය, මාර්ගයෙහි දක්ෂ වූ පුරුෂයා යනු අර්හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට නාමයකි.” “උන්වහන්සේ වනාහි මේ ලෝකය පිළිබඳ දක්ෂයෙකි. පරලොව පිළිබඳ දක්ෂයෙකි. මරණයට අයත් දේ පිළිබඳ දක්ෂයෙකි. මරණයට අයත් නොවන දේ පිළිබඳ දක්ෂයෙකි. මාරයාට අයත් දේ පිළිබඳ දක්ෂයෙකි. මාරයාට අයත් නොවන දේ පිළිබඳ දක්ෂයෙකි.” යනුවෙනි.
එහෙයින් පළමුව සේවනය නොකළ යුතු පුද්ගලයන් දේශනා කරන්නාහු “අසෙවනාච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා” යයි වදාළහ. අත්හළ යුතු මාර්ගය මෙන් පළමුව බාලයෝ සේවනය නොකළ යුත්තාහ. ආශ්රය නොකළ යුත්තාහ. ඉන් පසුව ගත යුතු මග මෙන් පණ්ඩිතයෝ සේවනය කළ යුත්තාහ. ආශ්රය කළ යුත්තාහ. කුමක් හෙයින් මඞ්ගලයන් පිළිබඳ දේශනා කරන භාග්යවතුන් වහන්සේ විසින් පළමුව බාලයන් සේවනය නොකිරීමත් පණ්ඩිතයන් සේවනය කිරීමත් දේශනා කරන ලද්දේ ද? කියනු ලැබේ. යම් හෙයකින් දෙවි මිනිස්සු බල සේවනය නිසා දිට්ඨ මඞ්ගලාදිය අතුරෙන් මේ මඞ්ගල දෘෂ්ටිය ගත්තාහු ද එය ද අමඞ්ගලයකි. එහෙයින් මෙළොව පරලොව අර්ථය සිඳින ඔවුන්ගේ ඒ අකල්යාණමිත්ර සංසර්ගයට ගරහන, උභය ලෝකාර්ථ සිද්ධිය ඇති කරන කල්යාණ මිත්ර සංසර්ගයට පසසන භාග්යවතුන් වහන්සේ විසින් පළමුව බාලයන්ගේ සේවය නොකිරීමත් පණ්ඩිතයන්ගේ සේවනයත් දේශනා කළ සේක. (එහෙයිනි)
එහි “බාලා” බාලයෝ නම් ප්රාණඝාත ආදී අකුශල කර්ම පථයන්ගෙන් යුත් යම්කිසි සත්ත්වයෝය. ඔවුහු තුන් ආකාරයකින් දත යුත්තාහ. යම්සේ වදාළේ ද “මහණෙනි, බාලයාගේ මේ බාල ලක්ෂණ තුනකි.” යන සුත්රයයි. තවද පූරණ කාශ්යප ආදී ෂට් ශාස්තෲවරු ද දේවදත්ත, කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදෙවියාපුත්ත, සමුද්ද දත්ත, චිඤ්චමානවිකා ආදීහු ද අතීත කාලයේ දීඝ විදගේ සහෝදරයා ද යන මොවුහුද වෙනත් මෙබඳු වූ සත්ත්වයෝ බාලයෝ යයි දත යුතුය.
ඔවුහු ගින්නෙන් දැවුණු ගෙයක් මෙන් තමා විසින් වැරදි ලෙස ගත් දෙයින් තමන් මෙන්ම තමන්ගේ වචනය අනුගමනය කරන්නන් ද විනාශ කරති. යම්සේ දීඝ විදගේ සහෝදරයා බුද්ධාන්තර හතරක් සැට යොදුන් පමණ වූ සිරුරක් ඇතිව උඩුකුරුව වැටුණේ මහා නරකයෙහි පැසෙනු ලබත් ද යම්සේ ඔහුගේ දෘෂ්ටිය කැමතිවන පන්සීයක් කුලයෝ ඔහුගේම සහාය බවට පත් වෙමින් උපන්නාහු මහා නරකයෙහි පැසෙනු ලබත් ද (එලෙසිනි) භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි.
“මහණෙනි, බටලීයෙන් කළ ගෙයක් හෝ තණවලින් කළ ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ ඇතුළත පිටත සුණුවලින් ගල්වන ලද වැළකු සුළං ඇති කාවද්දන ලද අගුල් ඇති වැසූ වාකවුළු ඇති කුළු ගෙවල් ද යම්සේ දවා ද මහණෙනි එලෙසින්ම යම් කිසි බිය කනෙක් උපදිත් නම් ඒ සියල්ලම බාලයා කෙරෙන් උපදිති. පණ්ඩිතයා කෙරෙන් නූපදියි. යම් කිසි උපද්රව කෙනෙක් උපදිත් නම් -පෙ - යම්කිසි විපත් කෙනෙක් - පෙ - පණ්ඩිතයා කෙරෙන් නූපදියි. මහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ භය සහිත වේ. පණ්ඩිත තෙමේ භය රහිත වේ. බාලයා විපත්ති සහිත වේ. පණ්ඩිතයා විපත්ති රහිත වේ. යනුවෙනි.