භාග්‍යවතුන් වහන්සේ වනාහි එක් දිනක් පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති සුමන මල්කරු මගධාධිපති සේනිය බිම්බිසාර රජුට මල් රැගෙන යන්නේ නගර දොරටුව වෙත වැඩම කළ, පැහැදීම ඇතිකරන පැහැදීමට සුදුසු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අසූවක් අනුඛ්යඤ්ජනයන්ගෙන් යුක්ත වූ බුද්ධ ශ්‍රියාවෙන් බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ඔහුට මෙසේ සිත් විය. “රජතෙමේ මල් රැගෙන සීයක් හෝ දහසක් හෝ දෙන්නේය. එයද මේ ලෝකයට පමණක් සීමා වූ සැපය සඳහා වන්නේය. භාග්‍යවතුන් වහන්සේට වනාහි කරන පූජාව අප්‍රමාණ අසඞ්ඛෙය්‍ය ඵල ඇත්තේ බොහෝ කලක් හිත සුව ගෙන දෙන්නේ වේ. එහෙයින් මම මේ මල්වලින් භාග්‍යවතුන් වහන්සේ පුදමි”යි පහන් සිත් ඇත්තේ එක් මල් මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසට දැමීය. මල් අහසින් ගොස් භාග්‍යවතුන් වහන්සේ මත මල් වියනක් වී සිටියේය. මල්කරු ඒ ආනුභාවය දැක වඩාත් පැහැදුණු සිත් ඇත්තේ නැවත එක් මල්මිටක් දැමීය. ඒවාද ගොස් මාලා කඤ්චුකයක් (වට තිරයක්) වී සිටියේය. මෙසේ අට මිටක් දැමීය. ඒවා ගොස් මල් කුළුගෙයක් වී සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ කුළුගෙය ඇතුළෙහි වූහ. මහජනයා රැස්විය. භාග්‍යවතුන් වහන්සේ මල්කරු දෙස බලමින් සිනා පහළ කළහ. ආනන්ද තෙරුන් වහන්සේ “බුදුවරු හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව සිනා පහළ නොකරති”යි (සිතා) සිනාවට කරුණු විමසූහ. භාග්‍යවතුන් වහන්සේ “ආනන්දය, මේ මල්කරු මේ (මල්) පූජාවේ ආනුභාවයෙන් කල්ප ලක්ෂයක් දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරා කෙළවර “සුමනිස්සර” නම් පසේ බුදු වන්නේය”යි වදාළහ. එසේ වදාරා අවසානයෙහි ධර්මදේශනා සඳහා මේ ගාථාව වදාළහ.
“තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති”
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති”
“යමක් කොට පසුතැවෙන්නට සිදුනොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය” යනුයි.
ගාථාවසානයෙහි අසුහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. මෙසේ ඒ පූජනීය උතුමන්ට කරන ස්වල්ප වූ ද පුජාව බොහෝ කලක් හිත සුව පිණිස වේ යයි දත යුතුය. ඒද ආමිස පූජාවය. ප්‍රතිපත්ති පූජාව පිළිබඳව කියනුම කවරේද. යම් හෙයකින් යම් කුල පුත්‍රයෝ සරණාගමන හා ශික්ෂාපද පිළිගැනීමෙන් ද උපොසථාඞ්ග සමාදානයෙන් ද චතුපාරිශුද්ධි ශීලාදියෙන්ද යන තමාගේ ශීල ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ පුදත්ද ඔවුන්ගේ පූජාඵලය කවරෙක් නම් වර්ණනා කරන්නෝද? ඔවුන් විසින් තථාගතයන් වහන්සේ උතුම්ම පුජාවෙන් පුදනු ලබත් යයි කියන ලදී
“ආනන්දය, යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක හෝ ධම්මානු ධර්ම ප්‍රතිපන්නව සම්‍යක් ප්‍රතිපත්තියෙන් යුක්තව ධර්මයට අනුව හැසිරෙන්නෙක්ව වාසය කෙරේද හෙතෙම තථාගතයන් වහන්සේට උතුම්ම පූජාවෙන් සත්කාර කෙරේ, ගරු කෙරේ, බුහුමන් කෙරේ, පූජා කෙරේයි යම්සේ වදාළේද (එහෙයිනි)
මේ අනුසාරයෙන් පසේ බුදු, ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ද කෙරෙන පූජාවෙහි හිතසුව ගෙනදීම දත යුතුය.
තවද ගිහියන් අතරෙහි බාල සොහොයුරාට දෙටු සොහොයුරා ද සොහොයුරිය ද පූජනීය වේ. පුතාට මව්පියෝ පූජනීය වෙති. කුලකතුන්ට සැමියා ද නැදි මයිලණුවෝ ද යනුවෙන් මෙසේද මෙහි පූජනීය බව දත යුතුය. මොවුන් කෙරෙහිද කරන පූජාවෝ කුල ධර්ම ගණයට ගැනෙන හෙයින්ද ආයුෂ ආදිය වර්ධනයට හේතු වන හෙයින්ද මඞ්ගලම වෙති. මෙය කියන ලද්දේමය :-
යමෙක් වනාහි මවට සත්කාර කරන්නෝ පියාට සත්කාර කරන්නෝ මහණුන්ට සත්කාර කරන්නෝ බමුණන්ට සත්කාර කරන්නෝ කුලයෙහි වැඩිහිටියනට යටත් පැවතුම් දක්වන්නෝ වන්නාහුද මේ කුසල් දහම් සමාදන් කොට ගෙන පවතින්නාහුද ඔවුහු ඒ කුශල ධර්ම සමාදාන හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහ. වර්ණයෙන් ද වැඩෙන්නාහ” ආදියයි.
දැන් යම් හෙයකින් “යං යත්ථ මඞ්ගලං වවත්ථපෙත්වා තං තස්ස මඞ්ගලත්තං විභාවයෙ” යයි මාතෘකා තබන ලද්දේ ද එහෙයින් මෙය කියනු ලැබේ. මෙසේ මේ ගාථාවෙහි බාලයන් සේවනය නොකිරීම, පණ්ඩිතයන් සේවනය කිරීම, පිදිය යුත්තන් පිදීම යන මඞ්ගලයෝ තුනක් දේශනා කරන ලදහ. එහි බාලයන් සේවනය කිරීම හේතුවෙන් ඇතිවන භයෙන් ආරක්ෂ වීම් වශයෙන් බාලයන් සේවනය නොකිරීම ද උභය ලෝකාර්ථ හිත සඳහා හේතුවන බැවින් පණ්ඩිතයන් සේවනය කිරීම හා පිදිය යුත්තන් පිදීම ද ඒවායේ ඵල සම්පත් වර්ණනාවෙහි කියන ලද ආකාරයටම නිර්වාණයට හා සුගතියට හේතු වන බැවින් මඞ්ගල යයි දත යුතුය. මෙයින් මතුවටද මාතෘකා නොදක්වාම යම් තැනක යමක් මඞ්ගල වේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය පැහැදිලි කරන්නෙමි.