බහූදෙවාතිගාථාවණ්ණනා
දැන් ගාථා පදයන්ගේ අර්ථ වර්ණනාව වේ. “බහූ” යනු අනියමින් සඞ්ඛ්‍යාව දැක්වීමයි. එයින් නොයෙක් සිය ගණන්, නොයෙක් දහස් ගණන්, නොයෙක් ලක්ෂ ගණන් යැයි කියන ලද්දේ වෙයි. ක්‍රීඩා කෙරෙත්නුයි = දෙවා වේ. පඤ්චකාම ගුණයන්ගෙන් ක්‍රීඩා කෙරෙත්, නැතහොත් තමාගේ සම්පත්තියෙන් බබලත් යන අර්ථයයි. තවද “දෙවා” යනු සම්මුති, උප්පත්ති, විසුද්ධි වශයෙන් දෙවියෝ ත්‍රිවිධ වෙති. යම්සේ කීවේද?
දෙවා යනු සම්මුති දෙව උප්පත්ති දෙව විසුද්ධි දෙව යයි දෙවියෝ තිදෙනෙකි යි. එහි සම්මුති දේව නම් රජවරු, බිසෝවරු, රාජ කුමාරවරුයි. උප්පත්ති දේව නම් චාතුම්මහාරාජිකයෙහි දෙවියන් පටන් ඉන් ඉහළ දෙවියෝය. විසුද්ධි දේව නම් රහතන් වහන්සේලා කියනු ලැබෙත් යනුයි.
ඔවුන් අතුරෙන් මෙහි උප්පත්ති දෙවියෝ අදහස් කරන ලදහ. මනුගේ දරුවෝ වන හෙයින් - මනුස්සා වේ. පෝරාණයෝ වනාහි “මනසින් උසස් බැවින් මනුෂ්‍ය” යයි කියති. ඔවුහු “ජම්බුද්වීපික, අපරගොයානික, උත්තර කුරුක, පුබ්බ විදෙහක” යයි චතුර්විධ වෙති. මෙහි ජම්බුද්වීපකයෝ අදහස් කරන ලදහ. “මඞ්ගලං” යනු මේවා කරණ කොට ගෙන සත්ත්වයෝ ගෞරව කරති’යි = මඞ්ගලානි වේ. සමෘද්ධියට, අභිවෘද්ධියට පැමිණෙත් යන අර්ථයයි. “අචින්තයුං” යනු සිතූහ. “ආකඞ්ඛමානා” යනු කැමැති වන්නාහු, ප්‍රාර්ථනා කරන්නාහු, ප්‍රිය කරන්නාහු, “සොත්ථානං” යනු සුවපත් බවයි. සියලු දිට්ඨධම්මික හා සම්පරායික වූ ද සෝභන වූ ද සුන්දර වූ ද කල්‍යාණ ධර්මයන්ගේ ඇති බව යයි කියන ලද්දේ වෙයි. “බ්‍රෑහි” යනු දේශනා කරනු මැනව. කියනු මැනව, විවරණය කරන මැනව, බෙදා දක්වනු මැනව, විස්තර කරනු මැනව. “මඞ්ගලං” යනු සමෘද්ධියට හේතුවන අභිවෘද්ධියට හේතුවන, සියලු සම්පත්තියට හේතුවන, “උත්තමං” යනු විශිෂ්ට වූ, උතුම් වූ, සියලු ලෝකයාට හිත සුව එළවන යනුයි. මේ ගාථාවෙහි පද පිළිවෙළින් වර්ණනාවයි.
මේ වනාහි පිණ්ඩාර්ථයයි. ඒ දේව පුත්‍ර තෙමේ දස දහසක් සක්වළ දේවතාවෝ මඞ්ගල ප්රශ්නය අසනු කැමතිව මේ සක්වළෙහි රැස්වී එක් වලග කෙළවර ඉඩ ප්‍රමාණයෙහි දස දෙනා ද විසිදෙනාද තිස් දෙනාද හතළිස් දෙනාද පනස් දෙනාද හැට දෙනාද හැත්තෑ දෙනාද අසූ දෙනාද වශයෙන් සියුම් ආත්ම භවයන් මවාගෙන සියලු දේව, මාර, බ්‍රහ්මයන් ශ්‍රියාවෙන් ද තේජසින් ද ඉක්මවා බබලමින්, පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියාහු දැක එකල්හිද අනාගතයේද සියලු දඹදිවට අයත් මිනිසුන්ගේ සිතේ අදහස තම සිතින් දැන සියලු දෙවි මිනිසුන්ගේ විචිකිච්ඡා (සැකය) උළ උදුරා දැමීම සඳහා
“බොහෝ දෙවියෝ ද මිනිස්සු ද මඞ්ගලයන් ගැන සිතූහ. “ආකඞ්ඛමානා සොත්ථානං” තමාගේ සුවපත් බව කැමති වන්නාහු උතුම් වු මඞ්ගලයන් වදාරනු මැනැවැ”යි
ඒ දෙවියන්ගේ අනුමැතියෙන් ද මිනිසුන්ගේ අනුග්‍රහයෙන් ද මවිසින් විමසන ලද්දේ යමක් අප සියල්ලන්ටම ඒකාන්ත හිතසුව එළවන උතුම් මඞ්ගලයක් වේ ද එය අපට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්ස, වදාරනු මැනැවැයි කීය.
අසෙවනාචාතිගාථාවණ්ණනා
මෙසේ දේවපුත්රයාගේ ඒ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන ගාථාව වදාළහ.
එහි “අසෙවනා” යනු භජනය නොකිරීම, සේවනය නොකිරීමයි. “බාලානං” යනු ජීවත් වෙති. ආශ්වාස කෙරෙතියි “බාලා” වේ. ආශ්වාස ප්රාශ්වාස පමණකින් ජීවත් වෙති. ප්‍රඥා සහගත ජීවිතයක් නොවේ යන අදහසයි. ඒ බාලයන්ගේ, “පණ්ඩිතානං” යනු යෙතිනුයි පණ්ඩිතා වේ. සාන්දෘෂ්ටික සම්පරායික අර්ථයන්හි ඥාන ගතියෙන් යෙති”යි යන අදහසයි. ඒ පණ්ඩිතයන්ගේ, “සෙවනා” යනු භජනය කිරීම, ඇසුරු කිරීම, ඔහු සහාය කොට ඇති බව, ඔහු හා හිතවත්භාවය පැවැත්වීමයි. “පූජා” යනු සත්කාර කිරීම, ගරු කිරීම, බුහුමන් කිරීම, වැඳීමයි. “පූජනෙය්යානං” යනු පූජාවට සුදුසු අයට “එතං මඞ්ගල මුත්තමං” යනු නුඹ විසින් “බ්‍රෑහි මඞ්ගල මුත්තමං” යයි යමක් විමසන ලද්දේ මෙහිදී පළමු කොට උතුම් මඞ්ගලයකැයි ගනුව”යි දේශනා කරන ලද්දේ වෙයි. මේ මෙම ගාථාවෙහි පද වර්ණනාවයි.
මෙම ගාථාවෙහි අර්ථ වර්ණනාව වනාහි මෙසේ දත යුතුය. මෙසේ දේව පුත්‍රයාගේ මේ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ “අසේවනාච බාලානං” යන මේ ගාථාව වදාළහ. එහි යම් හෙයකින් කථාවෝ පුච්ඡිත කථා, අපුච්ඡිත කථා, සානුසන්ධි කතා, අනනුසන්ධි කථා යයි සතරාකාර වෙත් ද එහි “පුච්ඡාමි තං ගොතම භූරිපඤ්හ කථංකරො සාවකො සාධු හොති” යයි ද “කථන්නු ත්වං මාරිස ඔඝමතරි” යයි ද මේ ආදි තන්හි (මෙන්) යමෙකු විසින් විමසන ලද්දේ කළ දේශනා “පුච්ඡිත කථා” වේ. “යං පරෙ සුඛතො ආහු තදරියාආහු දුක්ඛතො” යන මේ ආදී තන්හි (මෙන්) යමෙකු විසින් විමසීමක් නොමැතිව තමන් වහන්සේගේ අදහස් වශයෙන් කළ දේශනා අපුච්ඡිත කථා නම් වේ. බුදුවරුන්ගේ සියලුම කථා “සතිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි” යයි වදාළ බැවින් සානුසන්ධි කථා වේ. අනනුසන්ධි කථා මේ ශාසනයෙහි නොමැත. මෙසේ මේ කථා අතුරෙන් මේ දේශනාව දේව පුත්‍රයා විසින් විමසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ බැවින් පුච්ඡිත කථා වේ. විමසන ලද (පුච්ඡිත) කථාවෙහි ද යම්සේ මග නොමඟ මැනවින් දත් දක්ෂ පුරුෂයෙක් මග විමසනු ලැබුවේ “අසවල් තැන දෙමංසන්ධියක් ඇත. එහි වම්පස මග අත්හැර දකුණු පස මග ගනිවු” යයි පළමුව දුරු කළ යුතු මග කියා පසුව ගත යුතු මග කියයි ද ඒ අයුරින් සේවනය කළ යුතු හා සේවය නොකළ යුතු පුද්ගලයන් අතුරෙන් සේවනය නොකළ යුතු (පුද්ගලයන්) කියා සේවනය කළ යුතු අය කිව යුතුය. භාග්‍යවතුන් වහන්සේ ද මාර්ගයෙහි දක්ෂ වූ පුරුෂයාට සමානය. යම්සේ කීවේද