මඞ්ගලපඤ්හසමුට්ඨානකථා
එහිදී යම් හෙයකින් “එවමිච්චාදි පාඨස්ස අත්ථං නානප්පකාරතො වණ්ණයන්තො සමුට්ඨානං වත්ථා” යයි මාතෘකා තබන ලද්දේ ද ඒ සමුට්ඨානය හෙවත් මඞ්ගල ප්රශ්නයේ හටගැනීම කීම සඳහා මේ අවස්ථාවයි. එබැවින් පළමුකොට මඞ්ගල ප්රශ්නයේ හටගැනීම කියා පසුව මේ ගාථාවෙහි පදයන්ගේ අර්ථය වර්ණනා කරන්නෙමි. මඞ්ගල ප්රශ්නයේ හට ගැනීම නම් කිම?
දඹදිව වනාහි ඒ ඒ නගර දොරටු රැස්වීම්ශාලා සහා ආදියෙහි මහජනයා රැස් වී අමුරන් හා රත්රන් දී නොයෙක් ආකාරයේ සීතා පැහැර ගැනීම ආදී බාහිර ආඛ්යාන කථා කියවති. එක් එක් කථාවක් මාස හතරකින් නිමාවේ. එහිදී එක් දිනක් මඞ්ගල කථාව හටගත්තේය. කුමක් නම් මඞ්ගල වේද? කිම දුටුදේ මඞ්ගලද? ඇසු දේ මඞ්ගලද? මුතය (හෙවත් අඝ්රාණය කළ දේ හෝ රස විඳි දේ හෝ ස්පර්ශ කළ දේ) මඞ්ගල වේ ද? කවරෙක් මඞ්ගලය දනිත්ද? වශයෙනි.
ඉක්බිති දිට්ඨ මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “මම මඞ්ගල දනිමි. ලෝකයෙහි දුටු දේ මඞ්ගල වේ. දුටු දේ නම් විශිෂ්ට මඞ්ගල සම්මත රූපයයි. ඒ කවරේද යත්? මෙලොව සමහරෙක් කලින්ම තැගිට කථා කරන කුරුල්ලෙකු හෝ දකියි. තරුණ බෙලි ගසක් හෝ ගැබිනියක හෝ ළමයින් හෝ අලංකාර ලෙස සැරසු පුන් කලස් හෝ තෙත් රෝහිත මත්ස්යයකු හෝ ආජානේය අශ්වයෙකු හෝ ආජානේය අශ්වයන් යෙදූ රථයක් හෝ වෘෂභයෙකු හෝ ගව දෙනක හෝ කිඹුලෙකු හෝ වෙනත් මෙබඳු කිසියම් මඞ්ගල සම්මත රූපයක් දකී ද මෙය දිට්ඨ මඞ්ගල යයි කියනු ලැබේ යයි කීය. ඔහුගේ කීම සමහරෙක් පිළිගත්හ. සමහරෙක් නොපිළිගත්හ. යමෙක් නොපිළිගන්නාහුද ඔවුහු ඔහු (දිට්ඨ මඞ්ගලිකයා) සමග වාද කළහ.
ඉක්බිති සුත මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “පින්වත, ඇස නම් වූ මෙය පිරිසිදු දේ ද දකී. අපිරිසිදු දේ ද දකී, එසේම සුන්දර දේ ද අසුන්දර දේ ද මනාප දේ ද අමනාප දේ ද දකී. ඉදින් ඔහු විසින් දුටු දේ මඞ්ගල වන්නේ නම් සියල්ල මඞ්ගල විය යුතුය. එබැවින් දුටු දේ මඞ්ගල නොවේ. එසේද වුවත් වනාහි ඇසූ දේ මඞ්ගලවේ. ශ්රැතය හෙවත් ඇසු දේ නම් උසස් මඞ්ගල සම්මත ශබ්දයයි. ඒ කවරේද යත්? මෙලොව සමහර පුද්ගලයෙක් කලින්ම නැගිට වැඩෙව (වඩ්ඪ) කියා හෝ වැඩෙන (වඩ්ඪමාන) කියා හෝ (ආශිර්වාද වචන වශයෙන්ද) පුණ්ණ කියා හෝ ඵුස්ස කියා හෝ සුමන කියා හෝ සිරි කියා හෝ සිරිවඩ්ඪ කියා හෝ (මඞ්ගල සම්මත නාම වශයෙන්ද) අද හොඳ නැකතකි. සුභ මුහුර්තියකි, හොඳ දවසකි. යහපත් මඞ්ගලයකි. යන මේ ආකාරයේ හෝ යම් කිසි උසස් මඞ්ගල සම්මත ශබ්දයක් අසයිද මෙය සුත මඞ්ගල යයි කියනු ලැබේ යයි පැවසීය. ඔහුගේ වචනය ද සමහරෙක් පිළිගත්හ. සමහරෙක් නොපිළිගත්හ. යමෙක් නොපිළිගත්තාහුද ඔවුහු ඔහු (සුත මඞ්ගලිකයා) සමඟ වාද කළහ.
ඉක්බිති මුත මඞ්ගලික නම් එක් පුරුෂයෙක් “පින්වත” ඇසීම නම් වූ මෙයද යහපත් වූ ද අයහපත් වූ ද මනාප වූ ද අමනාප වූ ද (ශබ්ද) අසයි. ඉදින් ඔහු විසින් අසන ලද දෙය මඞ්ගල වන්නේ නම් සියල්ල මඞ්ගල විය යුතුය. එබැවින් ඇසූ දෙය මඞ්ගල නොවේ. එසේද වුවත් මුතය (ආඝ්රාණය කළ දේ හෝ, ආස්වාදනය කළ දේ හෝ ස්පර්ශ කළ දේ) මඞ්ගල වේ. මුත නම් උසස් මඞ්ගල යයි සම්මත ගන්ධ, රස ස්පර්ශයි. ඒ කවරේද යත්? මෙලොව සමහර පුද්ගලයෙක් කලින්ම නැගිට පියුම් සුවඳ වැනි මල් සුවඳක් හෝ ආඝ්රාණය කරයි ද මඞ්ගල සම්මත දැහැටි දණ්ඩක් හෝ වළදයිද පොළොව හෝ ස්පර්ශ කරයි ද කොළ පැහැ ධාන්ය හෝ අළුත් ගොම හෝ ඉදිබුවෙකු හෝ තල පිරුණු ගැලක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ ස්පර්ශ කරයි ද මඞ්ගල සම්මත මැටි හෝ ආලේප කරයි ද මඞ්ගල සම්මත සළුවක් හෝ හඳියි ද මඞ්ගල සම්මත හිස් වෙළුමක් හෝ දරයි ද නැතහොත් යම් කිසි වෙනත් මෙබඳු උසස් මඞ්ගල සම්මත සුවඳක් හෝ ආඝ්රාණය කරයි ද රසයක් හෝ විඳී ද ස්පර්ශයක් හෝ ස්පර්ශ කෙරේද මෙය මුත මඞ්ගල යයි කියනු ලැබේ යයි පැවසීය. ඔහුගේ වචනය ද සමහරෙක් පිළිගත්හ. සමහරක් නොපිළිගත්හ.
එහිදී දිට්ඨ මඞ්ගලිකයා සුත මඞ්ගලිකයාට (තම මතය) අවබෝධ කරවීමට අසමත් විය. ඔවුන් අතුරෙන් කිසිවෙකුට අනෙක් දෙදෙනාට අවබෝධ කරවීමට නොහැකි විය. ඒ මිනිසුන් අතර ද යමෙක් දිට්ඨ මඞ්ගලිකයාගේ වචනය පිළිගත්තාහුද ඔවුහු දුටුදේම මඞ්ගල යයි නිගමනයට ගියහ. යමෙක් සුත මුත මඞ්ගලිකයන්ගේ වචනය පිළිගත්තාහුද ඔවුහු ශ්රැතයම, මුතයම මඞ්ගල යයි නිගමනයට ගියහ. මෙසේ මේ මඞ්ගල කථාව සියලු දඹදිව ප්රකට විය.
ඉක්බිති සියලු දඔදිව මිනිස්සු සමූහ සමූහ වශයෙන් රැස් වී “මඞ්ගල නම් කවරේදැයි” මඞ්ගලයන් පිළිබඳව සිතූහ. ඒ මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ ඒ කථාව අසා එසේ මඞ්ගලයන් පිළිබදව සිතූහ. භූම්යස්ථ දේවතාවෝ ඒ (ආරක්ෂක) දේවතාවන්ගේ මිත්රයෝ වෙති. ඉක්බිති ඒ ආරක්ෂක දෙවියන්ගෙන් අසා භූම්යස්ථ දේවතාවෝ ද එසේම මඞ්ගලයන් පිළිබදව සිතූහ. ආකාශස්ථ දේවතාවෝ ඒ (භූම්යස්ථ) දේවතාවගේ ද මිත්රයෝ වෙති. චාතුම්මහාරාජික දේවතාවෝ ඒ ආකාශස්ථ දේවතාවන්ගේ මිත්රයෝ වෙති. මේ ක්රමයට පිළිවෙළින් අකනිටා බඹලොව දේවතාවෝ සුදස්සී දේවතාවන්ගේ මිත්රයෝ වෙත්ද ඒ සුදස්සී දේවතාවගෙන් අසා අකනිටා දේවතාවෝ ද සමූහ සමූහ වශයෙන් රැස් වී මඞ්ගලයන් පිළිබඳව සිතූහ. මෙසේ දස දහසක් සක්වළ දක්වා සියලු තන්හි මඞ්ගලයන් පිළිබඳව සිතීම ඇති විය. එසේ සිතීම ඇති වුයේ නමුදු මෙය මඞ්ගලය. මෙය මඞ්ගල යයි” විනිශ්චය කරන්නේ. තීරණයකට නොපැමිණම දොළොස් වසරක් සිටියේය. සියලු මිනිස්සු ද දෙවියෝ ද බ්රහ්මයෝ ද ආර්ය්ය ශ්රාවකයන් හැර දිට්ඨ, සුත, මුත, වශයෙන් කොටස් තුනකට බෙදුණහ. එක් අයෙක්වත් “මෙයම මඞ්ගල යයි” සත්ය වශයෙන් නිගමනයකට ගියේ නොවීය. ලෝකයෙහි මඞ්ගල කෝලහලයක් උපනි.