එවමිච්චාදිපාඨවණ්ණනා
දැන් “එවමිච්චාදිපාඨස්ස අත්‍ථං නානප්පකාරතො” යන මේ ආදී මාතෘකාවෙන් සංග්‍රහ කළ අර්‍ථය ප්‍රකාශ කිරීම සඳහා කියනු ලැබේ.
“එවං” යන මේ ශබ්දය උපමා, උපදේශ, සම්පහංසන (සතුට ප්‍රකාශ කිරීම), ගරහන (නින්දා කිරිම), වචන සම්පටිච්ඡන (වචන පිළිගැනීම) ආකාර, නිදර්‍ශන, අවධාරණ ආදි වූ අර්‍ථයන්හි දත යුතුය. ඒ එසේමය. “එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං” යන මේ ආදි තන්හි උපමාවෙහි පෙනේ. “එවං තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං” යන මේ ආදී තන්හි උපදේශයෙහිය. “එවමෙතං භගවා එවමෙතං සුගත” යන මේ ආදී තන්හි සම්ප්‍රහර්ෂණයෙහිය. “එවමෙවං පනායං වසල යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසති” මේ ආදි තන්හි ගර්හායෙහිය. “එවමහන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං” ආදි තන්හි වචන පිළිගැනීමෙහිය. “එවං ව්‍යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි” මේ ආදී තන්හි ආකාරයෙහි ය. “එහි ත්‍වං මාණවක යෙන සමණො ආනන්‍දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමනං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, සුභො මාණවො තොදෙය්‍ය පුත්තො භවන්තං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසු විහාරං පුච්ඡතීති. එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදාය” යන මේ ආදී තන්හි නිදර්‍ශනයෙහිය. “තං කිං මඤ්ඤාථ කාලාමා ඉමෙ ධම්මා කුසලාවා අකුසලාවාති? අකුසලා භන්තෙ, සාවජ්ජාවා අනවජ්ජාවාති? සාවජ්ජා භන්තෙ, විඤ්ඤුගරහිතා වා, විඤ්ඤුප්පසත්‍ථාවාති?, විඤ්ඤු ගරහිතා භන්තෙ, සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වො එත්‍ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො හෙත්‍ථ හොතී” මේ ආදී තන්හි අවධාරණයෙහිය. මෙහි වනාහී ආකාර නිදර්‍ශන අවධාරණ අර්‍ථයන්හි දත යුතුය.
එහි ආකාරාර්‍ථය ඇති “එවං” ශබ්දයෙන් මේ අර්‍ථය ප්‍රකට වෙයි. නොයෙක් න්‍යායයෙන් නිපුණ වූ නොයෙක් අදහස්වලින් හටගත් අර්‍ථ ව්‍යඤ්ජනයෙන් යුක්ත වූ විවිධ පෙළහර ඇති ධර්‍මාර්ථ දේශනා ප්‍රතිවේධ වශයෙන් ගැඹුරු වූ සියලු සත්ත්වයන්ගේ තම තමන්ගේ භාෂාවන්ට අනුරූප වශයෙන් ශ්‍රවණ පථයට එන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සර්‍වප්‍රකාරයෙන් දැනගන්නට කවරෙක් සමත්වේද? “එවං මෙ සුතං” යනු කිමෙක්ද? මා විසින් ද එක් ආකාරයකින් අසන ලදී යනුයි.
නිදර්‍ශනාර්ථයෙන් - මම තෙමේම වටහා ගන්නා ලද්දේ නොවෙමි. මා විසින් මෙය ප්‍රත්‍යක්‍ෂ නොකරන ලදැයි තමා (වගකීමෙන්) මිදෙමින් “එවං මෙ සුතං” මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු සියලු සූත්‍රය දක්වයි.
අවධාරණාර්ථයෙන් - “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං බහුස්සුතානං යදිදං ආනන්‍දො ගතිමන්තානං සතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානං යදිදං ආනන්‍දො” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලද බවට යෝග්‍ය වූ තමන්ගේ ධාරණ ශක්තිය දක්වන්නේ මා විසින් මෙසේ අසන ලදී. එයද අර්‍ථ වශයෙන් හෝ ඛ්‍යඤ්ජන වශයෙන් හෝ නොඅඩුය. නොවැඩිය. මෙසේම මිස අන් අයුරකින් නොදත යුතු යයි සත්ත්වයන්ගේ අසනු කැමැත්ත උපදවයි.
“මෙ” ශබ්දය අර්‍ථ තුනෙක්හි දක්නා ලැබේ. ඒ එසේමැයි. “ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං” යන මේ ආදි තන්හි “මා විසින්” යන අර්‍ථයි. “සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මංදෙසෙතු” යන මේ ආදී තන්හි “මට” යන අර්‍ථයි. “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ” යන මේ ආදි තන්හි “මගේ” යන අර්‍ථයි. මෙහි වනාහි “මා විසින් අසන ලදැයි ද මාගේ ඇසීමයි ද යන අර්‍ථ දෙකෙහි පවතී.
“සුතං” යන යන මේ “සුත” ශබ්දය උපසර්‍ග සහිත වූයේ ද උපසර්‍ග රහිත වූයේ ද ගමන, ප්‍රසිද්ධ, තෙත්, රැස්කළ, යෙදීම, කනින් දතයුතු, ශ්‍රෝත ද්වාරයෙන් දක්නා ලද ආදි නොයෙක් අර්‍ථ ප්‍රභේද ඇත්තේය. ඒ එසේමය. මේ ශබ්දයාගේ “සෙනාය පසුතො” යන මේ ආදි තන්හි “ගමන් කරන්නේ” යන අර්‍ථය. “සුත ධම්මස්ස පස්සතො” යන මේ ආදි තන්හි “ප්‍රකට ධර්‍මයාගේ” යන අර්‍ථයි. “අවස්සුතාවස්සුතස්ස” යන මේ ආදි තන්හි “රාගයෙන් මඩනා ලද (තෙත් වූ) තැනැත්තාගේ” යන අර්‍ථයි. “තුම්මෙහි පුඤ්ඤං පසුතං අනප්පකං” යන මේ ආදි තන්හි “රැස්කළ” යන අර්‍ථයි. “යෙ ඣානපසුතා ධීරා” යන මේ ආදි තන්හි “ධ්‍යානයෙහි යෙදුණු” යන අර්‍ථයි. “දිට්ඨං සුතං මුතං” යන මේ ආදි තන්හි “ශ්‍රෝත විඥානයෙන් දත යුතු” යන අර්‍ථයි. “සුතධරො සුත සන්නිචයො” යන මේ ආදි තන්හි “ශ්‍රෝත ද්වාරානුසාරයෙන් දතයුතු දේ දරන්නා වූ” යන අර්‍ථයි. මෙහි වනාහි ‘සුතං’ යනු “ශ්‍රෝත විඥාන වීථියෙන් සලකා බැලූ” හෝ “සලකා බැලීම” හෝ යන අර්‍ථයි.
එහි - “මෙ” ශබ්දයට “මා විසින්” යන අර්‍ථය ඇති කල්හි “මෙසේ මා විසින් අසන ලදී, ශ්‍රෝත විඥාන පූර්‍වාඞ්ගම විඥාන වීථියෙන් සලකා බලන ලදී යනුවෙන් යෙදෙයි. යම්විටෙක “මෙ” ශබ්දයෙහි “මගේ” යන අර්‍ථය වේ ද එකල්හි “මෙසේ මාගේ ඇසීමයි, ශ්‍රෝත විඥාන පූර්‍වාඞ්ගම විඥාන වීරියෙන් සලකා බැලීමයි යනුවෙන් යෙදේ.
මෙසේ මේ පද තුන අතුරෙන් “එවං” යනු ශ්‍රෝත විඥාන කෘත්‍යය දැක්වීමයි. “මෙ” යනු කියන ලද විඥානයෙන් යුත් පුද්ගලයා දැක්වීමයි. “සුතං” යනු නොඅඩුව නොවැඩිව මුළා නොවී ග්‍රහණය කිරීම දැක්වීමයි. එසේම “එවං” යනු ශ්‍රවණ ආදී චිත්තයන්ගේ නොයෙක් ආකාරයෙන් අරමුණෙහි පැවති බව දැක්වීමයි. “මෙ” යනු තමන් දැක්වීමයි. “සුතං” යනු ධර්‍මය දැක්වීමයි.