පඨමමහාසඞ්ගීතිකථා
මෙසේ ඇතුළත් කළ මෙම සූත්රයෙහි අර්ථ වර්ණනාව සඳහා මේ මාතෘකාවයි.
“යමෙකු විසින් යම්දිනක යම් හෙයකින් මේ සූත්රය දේශනා කරන ලද්දේ ද යන මේ විස්තරය කියා “එවං” යන ආදි පාඨයේ අර්ථය නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන්නේ යම් තැනෙක්හි යම් මඞ්ගලයක් හටගත්තේ ද එය වෙන්කොට දක්වා එහි මඞ්ගලභාවය ද පැහැදිලි කරන්නේය” යනුයි.
එහි “වුත්තං යෙන යදා යස්මා චෙතං වත්වා ඉමං විධිං” යන ගාථාර්ධය පළමුකොට “එවම්මෙ සුතං එකං සමයං භගවා -පෙ- භගවන්තං ගාථාය අජ්ඣභාසි” යන මේ ප්රකාශය අරමුණු කොට කියන ලදී. මේ ප්රකාශය වනාහි අනුශ්රව වශයෙන් කියන ලද්දකි. ඒ භාග්යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් හෙයින් ස්වයංභූය. ආචාර්ය්යවරයෙකු නොමැත්තෙකි. එහෙයින් මෙය ඒ භාග්යවත් අරහත් සම්යක් සම්බුදුරජාණන් වහන්සේගේ ප්රකාශයක් නොවේ. එහෙයින් මේ ප්රකාශය කවරෙකු විසින් කියන ලද්දේ ද? කවදා කුමක් හෙයින් කියන ලද්දේ ද? යන මෙය කිව යුතුය. කියනු ලැබේ :- ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් කියන ලදී. එයද ප්රථම මහා සඞ්ගීති කාලයෙහිය.
මේ ප්රථම සඞ්ගීතිය ද සියලු සූත්රයන්ගේ නිදාන කෞශල්ය සඳහා ආරම්භයේ සිට මෙසේ දත යුතුය. ලෝක නාථ වූ භාග්යවතුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්ර දේශනාවේ සිට සුභද්ර පරිබ්රාජක හික්මවීම දක්වා කළ බුද්ධ කෘත්ය ඇත්තාහු කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්ලයන්ගේ සල් වනයෙහි සල්ගස් දෙකක් අතර වෙසක් පසළොස්වක් දින අළුයම් වේලෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ කල්හි භාග්යවතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙනුවෙන් රැස් වූ හත් ලක්ෂයක් භික්ෂූන් අතර සංඝස්ථවිර වූ ආයුෂ්මත් මහා කාශ්යප හිමියෝ භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පා සත්වෙනි දින සුභද්ර නම් මහළු පැවිද්දා විසින් “ඇවැත්නි, ඇති. ශෝක නොකරමු. නොවැළපෙමු. අපි ඒ මහා ශ්රමණයාගෙන් මැනවින් මිදුණෝ වෙමු. “මෙය නුඹලාට කැපය. මෙය නුඹලාට අකැප යයි අපි වෙහෙසන ලද්දෝ ද වෙමු. දැන් වනාහි අපි යමක් කැමති වන්නෙමුද එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමුද එය නොකරන්නෙමු”යි කී වචන සිහි කරමින් “පාප භික්ෂූහු බුද්ධ ධර්මය ශාස්තෲවරයෙකු නොමැති එකකැයි සිතමින් (අලජ්ජි) පක්ෂ ලැබ නොබෝ කලක්ම සද්ධර්මය අතුරුදහන් කරන්නේය” යන යම් කාරණයක් වේ ද මේ කාරණය විද්යාමාන වෙයි. යම්තාක් ධර්ම විනය තිබේද ඒ තාක් බුද්ධ ධර්මය නොඉක්ම සිටි ශාස්තෲවරයෙකු ඇත්තක් වෙයි. භාග්යවතුන් වහන්සේ
“ආනන්දය, මවිසින් තොපට යම් ධර්මයක් හා විනයක් දේශනා කරන ලද්දේ ද පනවන ලද්දේ ද එය තොපට මාගේ ඇවෑමෙන් ශාස්තෲවරයා යයි වදාළහ.
එබැවින් යම්සේ මේ ශාසනය බොහෝ කල් පැවැත්මට සුදුසු වූයේ කල් පවතින්නක් වේ ද එලෙසින් මම ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙම් නම් මැනවි,
යම් හෙයකින් භාග්යවතුන් වහන්සේ විසින් මම
“කාශ්යපය, ඔබ පරිභෝගයෙන් දිරාගිය හණ වැහැරියෙන් කළ පාංසුකූල චීවරය දරන්නෙහිය’යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභෝගයෙන් ද
“මහණෙනි, මම යම්තාක් කැමති වෙම්ද ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්රථම ධ්යානයට එළඹ වෙසෙම්ද මහණෙනි, කාශ්යප ද යම්තාක් කැමති වේ ද ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්රථම ධ්යානයට එළඹ වෙසේය’යි
මේ ආදී ක්රමයෙන් නවානුපූර්ව විහාර ෂඩ් අභිඥා ආදි ප්රභේද ඇති උත්තම මනුෂ්ය ධර්මයෙහි තමන් වහන්සේ හා සම තන්හි තැබීමෙන් මම අනුග්රහ කරන ලද්දෙම් වෙම් ද එසේ අනුග්රහ කරන ලද මට ධර්ම විනය සඞ්ගායනාව හැර අන් කිනම් මගකින් ණය නැති බවක් වන්නේ ද සක්විති රජෙක් තමන්ගේ සන්නාහයත් ඓශ්චර්ය්යයත් දීමෙන් ස්වකීය කුලවංශය පිහිට වූ පුතුට මෙන් භාග්යවතුන් වහන්සේ “මෙතෙමේ මාගේ සද්ධර්ම වංශය පිහිටුවනෙක් වන්නේය”යි දැන මේ අසාධාරණ අනුග්රහයෙන් මට අනුග්රහ කළසේක් වන්නැයි සිතන්නාහු ධර්ම විනය සඞ්ගායනා කරනු පිණිස භික්ෂූන්ට උත්සාහ ඉපිද වූහ. යම්සේ කීවේද :-
“ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ, “ඇවැත්නි, මෙහි එක් කාලයක මම පන්සීයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමග පාවා නුවරින් නික්ම කුසිනාරා නුවර දික්මඟට පිළිපන්නෙම්”යයි (පඤ්ච සතිකක්ඛන්ධකයෙහි) සියලු සුභද්ර කාණ්ඩය විස්තර කළ යුතුය.
ඉක්බිති උන්වහන්සේ
“ඇවැත්නි ඉදිරියෙහි අධර්මය බබලන්නේය, ධර්මය යටපත් කරනු ලබන්නේය, අවිනය බබලන්නේය, විනය යටපත් කරනු ලබන්නේය, ඉදිරියෙහි අධර්මවාදීහු බලවත් වන්නාහුය. ධර්මවාදීහු දුර්වල වන්නාහුය. අවිනයවාදීහු බලවත් වන්නාහුය, විනයවාදීහු දුර්වල වන්නාහුය. එබැවින් අපි ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු”යි දන්වා සිටියහ.
භික්ෂූහු “ස්වාමීනි, එසේනම් ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් තෝරා ගන්නා සේක්වා”යි කීහ. තෙරුන් වහන්සේ සියලු නවඞ්ග සත්ථුසාසන සඞ්ඛ්යාත පර්ය්යාප්තිධර වූ නොයෙක් සිය ගණන් නොයෙක් දහස් ගණන් පෘථග්ජන, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, ශුෂ්ක විදර්ශක, ක්ෂීණාශ්රව භික්ෂූන් හැරපියා ත්රිපිටකය හා සියලු පර්ය්යාප්ති ප්රභේදයන් දරණ සිව් පිළිසිඹියා පත් මහත් ආනුභාව ඇති බොහෝ සෙයින් භාග්යවතුන් වහන්සේ විසින් එතදග්රයට නගන ලද ත්රිවිද්යා ආදී භේද ඇති ක්ෂීණාශ්රව භික්ෂූන්ම එකුන් පන්සීයයක් (499) තෝරාගත්හ. “අථඛො ආයස්මා මහා කස්සපො එකෙනූනපඤ්ච අරහන්ත සතානි උච්චිනි” යයි යම් කෙනෙකුන් සඳහා මෙය කියන ලද්දේ ද එහෙයිනි.
කුමක් සඳහා තෙරුන් වහන්සේ එකකින් අඩුවක් කළ සේක්ද? ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඉඩ සලසනු සඳහාය. ඒ ආයුෂ්මතුන් වහන්සේ ඇතිවද නොමැතිවද ධර්ම සංගායනාව කිරීමට නොහැකිය. ඒ ආයුෂ්මතුන් වහන්සේ තවදුරටත් පුහුණුවීම් කළ යුත්තෙකි. (ශෛක්ෂයෙකි) කළයුතු කාර්ය්ය ඇත්තෙකි. එබැවින් එක්වද (සංගායනා කරන්නට) නොහැකිය. යම් හෙයකින් වනාහි උන්වහන්සේ විසින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්ර, ගෙය්ය ආදී භාග්යවතුන් වහන්සේ හමුවෙන් නොපිළිගත් කිසිවක් නම් නැත්තේ ද එබැවින් (උන්වහන්සේ) නොමැතිවද (සංගායනා කිරීමට) නොහැකිය. ඉදින් මෙසේ ශෛක්ෂයෙක් වූයේ නමුදු සඞ්ගායනාවට බොහෝ උපකාර ඇති බැවින් තෙරුන් වහන්සේ විසින් තෝරාගත යුත්තෙක් වන්නේය. එසේනම් කුමක් හෙයින් තෝරා නොගන්නා ලද්දේ ද? අනුන්ගෙන් නැගෙන දොස් දුරුකිරීම් වශයෙනි. තෙරුන් වහන්සේ වනාහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් කෙරෙහි බොහෝ සෙයින් විශ්වාස ඇත්තෙක් වූහ. ඒ එසේමය, හිසෙහි පැසුණු කෙස් හටගෙන තිබෙද්දීත් “මේ කුමාරතෙම තරමවත් නොදත්තේය”යි කුමාරක වාදයෙන්ම අවවාද කරති. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ශාක්යකුල පුත්රයෙක් ද තථාගතයන් වහන්සේගේ සුළුපියාගේ පුතා ද වෙති. එහිදී භික්ෂූහු (මා) ඡන්දයෙන් අගතියට ගිය අයෙකු මෙන් හඟින්නාහු. “අශෛක්ෂ ප්රතිසම්භිදාවට පත් බොහෝ භික්ෂූන් හැරදමා ශෛක්ෂ ප්රතිසම්භිදාවට පත් ආනන්ද තෙරුන් තෝරාගත් සේකැ”යි චෝදනා නගන්නෙහුනම් එම පරූපවාදය දුරු කරමින් “ආනන්ද තෙරුන් නොමැතිව සඞ්ගායනා කරන්නට නොහැකිය. භික්ෂූන්ගේම අනුමැතියෙන් ගන්නෙමි”යි ඒ (ආනන්ද) තෙරුන් වහන්සේ තෝරා නොගත් සේක.