එකතානානතාදිවිනිච්ඡයං
“එකතාදිතො” (එකතාදි වශයෙන්) යනු මෙහි කීය. කිම වනාහි වජ්ඣ (නැසිය යුත්තා) වධක (නසන්නා) ප්රයෝග චේතනාදීන්ගේ එක්බව නිසා ප්රාණඝාතයෙහි හෝ අනෙකුත් අදින්නාදානාදියෙහි එකත්වය හෝ නානාකාර බව නිසා නානත්වය හෝ වේද නැත්නම් නොවේද? කුමක් හෙයින් මෙය කියනු ලැබේද? ඉදින් එහි එක්බව නිසා එකත්වය වේ නම් ඉක්බිති බොහෝ වධකයෝ එක් ඇසිය යුත්තෙකු නසත් ද නැතහොත් එක් වධකයෙක් බොහෝ නැසිය යුත්තන් නසයි ද නැතහොත් එක් සාහත්ථිකාදී ප්රයෝගයකින් බොහෝ නැසිය යුත්තන්ගේ ජීවිතින්ද්රිය නසන ප්රයෝගයක් උපදවයි ද එකල්හි එක ප්රාණඝාතයක් විය යුතුය. ඉදින් වනාහි නානාකාර බව නිසා නානත්වය වේද ඉක්බිති යම් කලෙක්හි එක් වධකයෙක් එක් නැසිය යුත්තෙකු සඳහා එක් ප්රයෝගයක් කරමින් බොහෝ නැසිය යුත්තත් නසයිද නැතහොත් බොහෝ වධකයෝ දේවදත්ත, යඤ්ඤදත්ත, සෝමදත්ත ආදී බොහෝ දෙනා සඳහා බොහෝ ප්රයෝගයන් කරමින් එකම දේවදත්තයකු හෝ යඤ්ඤදත්තයකු හෝ සෝමදත්තයකු හෝ මරත්ද නැතහොත් බොහෝ වූ සාහත්ථිකාදී ප්රයෝගයන්ගෙන් එක නැසිය යුත්තෙක් නසනු ලැබේ ද නැතහොත් බොහෝ වූ චේතනාවෝ එක් නැසිය යුත්තෙකුගේ ජීවිතින්ද්රිය නැසීම සඳහා ප්රයෝගයක් උපදවත් ද එකල්හි බොහෝ ප්රාණඝාතයන් විය යුතුය. මේ දෙකම නුසුදුසුය. ඉක්බිති මේ වජ්ඣාදීන්ගේ එක්බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වයද නොවන්නේමය. එකත්වය හා නානත්වය අන් අයුරකින්ම වේ. එය කිව යුතුය. එය ප්රාණඝාතය හා සම්බන්ධව යම්සේ වේද (අදින්නාදාන ආදී) සෙස්ස පිළිබඳව ද එසේය.
එහිදී කියනු ලැබේ. පළමුකොට ප්රාණඝාතය සම්බන්ධයෙන් වජ්ඣවධකාදීන් පිළිබඳ එක් එක් බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වය ද නොවේ. වැළිදු වජ්ඣවධකාදීන්ගේ එක්ව යෙදුනු එක් බව නිසා එකත්වය වේ. ඒ වජ්ඣවධකාදීන් දෙකකගේ වුව ද නැතහොත් එයින් අන්ය වූවෙකුගේ නානා බව නිසා නානත්වය වේ. ඒ එසේමය. බොහෝ වධකයන් බොහෝ හී ආයුධ ආදියෙන් නැතහොත් එකකින් හෝ බොරු වළවල් කැණීම් ආදී ප්රයෝගයෙන් හෝ බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. එක් වධකයෙකු එකකින් හෝ බොහෝ වූ ප්රයෝගයන්ගෙන් හෝ එම ප්රයෝගයන්ගෙන් උපදවන ලද එක් (චේතනාවකින්) හෝ බොහෝ චේතනාවන්ගෙන් බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. බොහෝ වධකයන් කියන ලද ආකාරයේ බොහෝ (ප්රයෝගයන්ගෙන්) හෝ එක් ප්රයෝගයකින් එක් නැසිය යුත්තෙකු නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. අදින්නාදානාදියෙහි ද මේ ක්රමයමය. මෙසේ මෙහි එකතාදි වශයෙන් විනිශ්චය දත යුතුය.
“ආරම්මණතො” (අරමුණු වශයෙන්) යන මෙහි ප්රාණඝාතය ජීවිතින්ද්රිය අරමුණු කොට ඇත්තේය. අදින්නාදාන, අබ්රහ්මචරිය, සුරාමෙරය මජ්ජපමාදට්ඨාන යන ශික්ෂාපදයෝ රූප ධර්මයන් අතුරෙන් රූපායතන ආදී කිසියම් සංස්කාරයක් අරමුණු කොට ඇත්තාහ. මුසාවාදය යමෙකුට මුසා කියයි ද ඔහු අරබයා පවත්වා හෙයින් සත්ත්වයා අරමුණු කොට ඇත්තේය. අබ්රහ්මචරියාව සත්ත්වයා අරමුණු කොට ඇතැයි සමහරු කියති. අදින්නාදානය ද යම් කලෙක්හි සත්ත්වයෙක් ගෙන යා යුතු වේද එකල්හි සත්ත්වයා අරමුණු කොට ඇත්තේත් යයි (සමහරු කියති) තවද මෙහි සංස්කාර වශයෙන්ම සත්ත්වයන් අරමුණු කෙරෙති. ප්රඥප්ති වශයෙන් නොවේ. මෙසේ මෙහි ආරම්මණ වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“ආදානතො” (ගැනීම් වශයෙන්) වනාහි ප්රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ආදිකොට ඇති මේ ශික්ෂාපදයෝ සාමණේර භික්ෂුව විසින් භික්ෂුවක් සමීපයෙහි සමාදන් වූයේම සමාදන් වන ලද්දාහු වෙති. උපාසකයා විසින් වනාහි තමා විසින්ම සමාදන් වන කල්හි ද අනෙකෙකුගේ සමීපයෙහි සමාදන් වන කල්හි ද සමාදන් වන ලද්දාහුම වෙති. එක්කොට සමාදන් වන කල්හි ද වෙන වෙනම සමාදන් වන කල්හි ද සමාදන් වන ලද්දාහුම වෙති. වැළිදු එක්කොට සමාදන් වන තැනැත්තාහට එකම විරතිය වේ. එකම චේනාව ද වේ. කෘත්ය වශයෙන් වනාහි ඒවායේ වෙන් වෙන් බව පනවනු ලැබේ. වෙන වෙනම සමාදන් වන තැනැත්තා හට වනාහි විරතීහු පහක්ම ද චේතනා පහක්ම ද වෙතියි දත යුතුය. මෙසේ මෙහි ආදාන වශයෙන් ද විනිශ්චය දතයුතුය.
“භෙදතො” (භේද වශයෙන්) සාමණේරයන්ට වනාහි යම්හෙයකින් එම ශික්ෂාපද ඔවුන්ට පාරාජිකාවට කරුණුවේද එහෙයින් එක් ශික්ෂා පදයක් බිඳුණු කල්හි සියලුම ශික්ෂාපද බිඳුණේ වෙයි. යමක් වනාහි ඉක්මවන ලද්දේ වේද ඒ හා සම්බන්ධ කර්මය සමඟම බැඳේ. ගිහියන්ට වනාහි එක් ශික්ෂාපදයක් බිඳුණු කල්හි එකක්ම පමණක් බිඳුණේ වෙයි. ඔවුන්ට ඒ බිඳුණු ශික්ෂාපදය සමාදන් වීමෙන්ම නැවත ශීලයෙහි අඞ්ග පහකින් යුක්ත බව සම්පූර්ණ වේ. සමහරු වනාහි (මෙසේ) කීහ :- වෙන් වෙන්ව සමාදන් වූ කල්හි එක් ශික්ෂා පදයක් බිඳුණු කල්හි එකක් පමණක් බිඳුණේ වෙයි. “පඤ්චඞ්ග සමන්නාගතං සීලං සමාදියාමි” (“අඞ්ග පහකින් යුත් ශීලය සමාදන් වෙමි”) යි මෙසේ එකක් වශයෙන් සමාදන් වූ කල්හි එක් ශික්ෂාපදයක් බිඳුණු කල්හි ඔවුන්ගේ ද සෙසු සියලු ශික්ෂාපදය බිඳුණේ වෙයි. කුමක් හෙයින්ද? සමාදානය බිඳුණු හෙයිනි. යමක් වනාහි ඉක්මවන ලද්දේ ද ඒ හා සම්බන්ධ කර්මය සමඟම බැඳේ. මෙසේ මෙහි භේද වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“මහාසාවජ්ජතො” (මහාසාවද්ය වශයෙන්) වනාහි ගුණයෙන් තොර තිරිසන් ගත ප්රාණීන් අතුරෙන් කුඩා ප්රාණීන්ගේ ප්රාණඝාතය අල්ප සාවද්ය වේ. මහත් ශරීර ඇති ප්රාණීන්ගේ (ප්රාණඝාතය) මහා සාවද්ය වේ. කුමක් හෙයින්ද? (නැසීම සඳහා) මහත් ප්රයෝග යෙදිය යුතු හෙයිනි. අල්ප ප්රයෝග ඇතිවිටද වස්තු මහන්තතාවය ඇති හෙයිනි. ගුණවන්ත මිනිසුන් අතුරෙන් වනාහි ස්වල්ප ගුණ ඇත්තන්ගේ ප්රාණඝාතය අල්ප සාවද්ය වේ. මහත් ගුණ ඇත්තන්ගේ ප්රාණඝාතය මහා සාවද්ය වේ. ශරීරයෙන් සහ ගුණයෙන් සම බව ඇති කල්හි ක්ලේශයන්ගේ සහ උපක්රමයන්ගේ මෘදු බව නිසා අල්ප සාවද්ය බව ද තීවු බව නිසා මහා සාවද්ය බව ද දත යුතුය. සෙසු ශික්ෂා පදයන්හි ද මෙම ක්රමයමය. තවද මෙහි සුරාමෙරයමජ්ජපමාදට්ඨානයම මහා සාවද්ය වේ. ප්රාණඝාතාදිය එසේ නොවේ. කුමක් හෙයින් ද යත්? මිනිසාගේ ද උන්මත්තක භාවයට හේතු වීමෙන් ආර්ය්ය ධර්මයට අනතුරු කරන හෙයිනි. මෙසේ මෙහි මහා සාවද්ය වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“පයොගතො (ප්රයෝග වශයෙන්) වනාහි මෙහි ප්රාණඝාතයාගේ සාහත්ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය වශයෙන් ප්රයෝග හයකි. එහි කයින් හෝ කය හා බැඳුණු යමකින් හෝ පහරදීම සාහත්ථික ප්රයෝගයයි. එය උද්දිස්ස, අනුද්දිස්ස භේද වශයෙන් දෙවදෑරුම් වේ. එහි යම් කෙනෙකු නියමකොට පහරදේ ද ඔහුගේ මිය යාමෙන්ම ප්රාණඝාත කර්මය හා බැදේ. එකෙකු නියම නොකොට යම් කිසිවෙක් මිය යේවායි කළ ප්රහාරය හේතුවෙන් යම් කිසිවෙකුගේ මරණයෙන් (කර්මය හා බැඳේ) (ඉහත කී) දෙආකාරයේදීම පහරදුන් කෙණෙහිම හෝ මැරේවා, එම රෝගයෙන් පසුව හෝ මැරේවායි (පහර දුන්නේ නම්) පහර දුන් කෙණෙහිම කර්මය හා බැදේ. මැරීමේ අදහසින් පහර දී එයින් නොමැරුණු තැනැත්තා හට පසුවද නැවත වෙනත් සිතකින් පහර දුන් කල්හි ඉදින් පළමු පහරින්ම මිය යයි ද එකල්හිම කර්මය හා බැඳුණේ වේ. ඉක්බිති නොමරන සිතින් දුන් දෙවෙනි පහරින්ම මිය යයි නම් ප්රාණඝාතය නොවේ. පහරදීම් දෙකම කරණකොට ගෙන මිය ගිය කල්හිද පළමු පහර දීමත් සමඟම කර්මය හා බැඳේ. දෙකම කරණ කොටගෙන නොමළ කල්හි ප්රාණඝාත (කර්මයක්) නැත්තේමය. බොහෝ දෙනා විසින් එක් අයෙකු හට පහර දුන් කල්හිද මේ ක්රමයමය. එහිදී ද යමෙකුගේ පහරදීමෙන් මැරෙයි ද ඔහුටම කර්මය හා බැඳීම වේ.