පච්ඡිමපඤ්චසික්ඛාපදවණ්ණනා
දැන් :
“එයින් ගැලපෙන දෙය පසු ශික්‍ෂාපද පහ පිළිබඳව ද යෙදිය යුතුය. ආවේනිකය ද කිව යුතුය. හීනාදි බවද දත යුතුය”යි.
යමක් කියන ලද්දේ ද මේ එහි අර්‍ථ වර්‍ණනාවයි - මේ මුල් ශික්ෂා පද පහ පිළිබඳ වර්‍ණනාවෙහි යමක් යෙදේද එය එයින් ගෙන පසු ශික්ෂාපද පහ සම්බන්ධයෙන් ද යෙදිය යුතුය. මේ ඒ පිළිබඳ යෝජනාවයි. යම්සේ මුල් ශික්‍ෂපදයන් අතුරෙන් ආරම්මන වශයෙන් සුරාමෙරය මජ්ජපමාදට්ඨාන ශික්ෂාපදය රූපායතන ආදී එක්තරා සංස්කාරයක් අරමුණු කොට ඇත්තේ ද මෙහි විකාල භෝජනය ද එසේමය. මේ ක්‍රමයට සියලු ශික්ෂාපදයන්ගේ ආරම්මණ භේදය දත යුතුය.
ආදාන වශයෙන් ද යම්සේ මුල් ශික්ෂා පද පහ සාමණේරයන් වහන්සේ විසින් හෝ උපාසකයෙකු විසින් හෝ සමාදන් වනු ලබන්නේ මැනවින් ගත්තේ වේද මේ ශික්ෂා පද පහ ද එසේමය. අඞ්ග වශයෙන් ද යම්සේ එහි ප්‍රාණඝාතාදීන්ගේ අඞ්ග භේදය කියන ලද්දේ ද එසේ මෙහිද විකාල භෝජනයෙහි අඞ්ග හතරකි. විකාලයක් වීම, යාවකාලික වස්තුවක් වීම, අනුභව කිරීම, උමතු නොවීම යනුයි. මේ අනුසාරයෙන් සෙසු ශික්ෂාවන්ගේ ද අඞ්ගවිභාගය දත යුතුය. යම්සේ එහි සමුට්ඨාන වශයෙන් සුරාමේරය මජ්ජපමාදට්ඨානය කයින් ද කාය චින්තයෙන්දැයි සමුට්ඨාන දෙකක් වේද මෙහි විකාල භෝජනය ද එසේය. මේ ක්‍රමයට සියලු ශික්ෂාපදයන්ගේ වේදනා සම්ප්‍රයෝගය දත යුතුය.
යම්සේ එහි අබ්‍රහ්මචරියාව ලෝභ මෝහ මූල වන්නේ ද මෙහි විකාල භෝජනය ද අනෙක් ශික්ෂා පද දෙකද එසේමය. මේ ක්‍රමයට සියලු ශික්ෂා පදයන්ගේ මූලභේදය දත යුතුය. එහි ප්‍රාණඝාතාදිය යම්සේ කායකර්‍ම වේද මෙහි විකාල භෝජනාදිය ද එසේය. ජාතරූපරජතපටිග්ගහණය වනාහි කායද්වාරාදියෙහි පැවති ස්වභාවය අනුව කායකර්‍මය හෝ වචී කර්‍මය හෝ වන්නේය. කර්‍මපථ වශයෙන් නොවන්නේය.
“විරමතා” (වෙන්වීම් වශයෙන්) යම්සේ ඒ පූර්‍ව ශික්ෂාපදයන්හි වෙන්වන්නේ තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රාණඝාතාදී අකුශලයෙන් වෙන්වේද එසේම මෙහිද විකාල භෝජනාදි අකුශලයෙන් හෝ එක් අතකින් කුශලයන්ගෙන් වෙන්වීමත් සිදු වේ. යම්සේ පූර්‍ව වෙන්වීම් පහ කයින්, කාය චිත්තයෙන්, වාචා චිත්තයෙන්, කාය වාචා චිත්තයෙන් යයි සමුට්ඨාන හතරක් වේද, එසේම ඒ සියල්ල සුඛ වේදනා සම්ප්‍රයුක්ත හෝ අදුක්ඛමසුඛ වේදනා සම්ප්‍රයුක්ත හෝ වේද එසේම අලෝභ, අදොස මූල හෝ අලෝභ, අදෝස, අමෝහ, මූල හෝ වේද සියල්ලම නොයෙක් ආකාරයේ ඉෂ්ට ඵල නිපදවන්නේ ද මේ වෙන්වීම් වලදී ද එසේමය.
“ඉන්පසු (මුල් ශික්ෂාපද පහ පිළිබඳ විස්තරයෙහි) සුදුසු අර්‍ථ ගෙන පසු ශික්ෂාපද පහෙහි ද යෙදිය යුතුය. (ඒ ඒ ශික්ෂාපදයට) ආවේණික ලක්‍ෂණ ද කිව යුතුය. හීනප්‍රණීත ආදිය ද දත යුතුය.”
යන ප්‍රකාශයට අනුව මෙහි වනාහි “විකාලභොජනං” යනු මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු ආහාර ගැනීමයි. මෙය වනාහි අනුදැන වදාළ කාලය ඉමෙන කල්හි ආහාර ගැනීම වේ. එහෙයින් විකාලභොජන යයි කියනු ලැබේ. එම විකාල භෝජනයෙන්, “නච්චගීතවාදිත විසූකදස්සනං” යන මෙහි ‘නච්චං’ නම් යම්කිසි නැටීමකි. ගීතං යනු යම්කිසි ගායනයකි. “වාදිතං” යනු යම්කිසි වාදනයකි. “විසූක දස්සනං” යනු කෙලෙස් ඉපදීමට හේතුවන බැවින් කුශල පක්‍ෂය බිඳීම කරණ කොට ගෙන විසූකයන්ගේ (කෝලම් රූපාදිය) දැකීම නැතහොත් විසූක වූවක් දැකීම = විසූක දස්සන වේ. නච්චා ච ගීතාච වාදිතා ච විසූක දස්සනාච (නැටීම් ද ගායනයෝ ද වාදනයෝ ද විසූක දර්‍ශනයෝ ද) = නච්චගීතවාදිත විසූකදස්සනා වේ. මෙහි විසූක දර්‍ශනය බ්‍රහ්මජාල (සූත්‍රයෙහි) දේශනා කළ අයුරින්ම ගත යුතුය. එහිදී මෙසේ කියන ලදී.
“යම්සේ සමහර පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම්, ගැයුම්, වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජනසමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්) ආඛ්‍යාන (මහාභාරත රාමායණාදි කථා කීම හෝ ඇසීම) පාණිස්වර (අතින් බොහෝ බෙර ගැසීම හෝ අත්කල ගැසීම) වේතාල (ලී මුවා තාලම් පට ගැසීම හෝ මන්ත්‍ර ජප කොට මළ සිරුරු නැගිටුවීම) කුම්භථුන (සිවුරක් බෙර වැයීම) ශෝභනක (රංගබලී කරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවන්ට ස්තෝත්‍ර වශයෙන් නාන්දි ගීත ගායනය නොහොත් ප්‍රතිභාන චිත්‍ර) සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩ ක්‍රීඩාව) උණ ගස් ඔසවාගෙන කෙරෙන ක්‍රීඩාව, අස්ති ධොවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නැකැත් සමයෙහි ඒ වටා සිට උත්සව කිරීම) ඇත් යුද (ඇතුන් පිට සිට යුද කිරීම) අස්යුද (අසුන් නැග යුද කිරීම) හෝ ඇත්පොර, අස්පොර, මී හරක් පොර, ගොන්පොර, එළු පොර, බැටළු පොර, කුකුළු පොර, වටු පොර, පොලු හරඹ, මිටි යුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යාම, බලසෙන් ගණින තැන් දක්නට යාම, බලසෙන් බෙදන තැනට යාම, බලඇණි දක්නට යාම යන මෙබඳු විසූක දර්‍ශනයෙහි යෙදී වසත් ද ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මේ ආදී හෝ මෙබඳු වූ විසූක දර්‍ශනයෙන් වැළැක්කේ වෙයි” යනුවෙනි.
නැතහොත් (ඉහත) කියන ලද අර්‍ථයෙන් නච්චගීතවාදිතානි එව විසූකානි (නච්චගීතවාදිතයෝම විසූකයෝ වූයේ) = නච්චගීතවාදිත විසූකානි වේ. ඔවුන්ගේ දැකීම = නච්චගීතවාදිතවිසූකදස්සන වේ. ඒ නච්චගීත වාදිත විසූකදස්සනයෙන්, “දස්සනසවණා” යයි කිවයුතු තන්හි “සොච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතසදස්සනො” යන මේ ආදී තන්හි මෙන් චක්ඛුද්වාරයෙහි නොපැවතුනත් අරමුණු ගැනීම “දස්සන” යයි කියනු ලැබේ. මෙසේ ශ්‍රවණය ද දර්‍ශනය යයිම කියන ලදී. දකිනු කැමැත්තෙන් එළඹ බලන්නාහට මෙසේ මෙහි ඉක්මවීම වේ. සිටි හෝ හුන් හෝ නිදන හෝ තැනට පැමිණි දෙයක් හෝ ගමන් කරන තැනැත්තාගේ ඇසට යොමුවූවක් හෝ බලන තැනැත්තා හට සිත කිළිටිවීම වන්නේය. ශික්ෂාපදය ඉක්මවීම නොවන්නේය. මෙහිදී ගීතය ධම්මුපසංහිත වුව ද නොවටී. ගීතූපසංගිත ධර්‍මය වනාහි වටී යයි දත යුතුය.
මාලා ආදිය දැරීම් ආදියේ දී ද සුදුසු පරිදි යෙදිය යුතුය. එහි “මාලා” යනු යම්කිසි මල් වර්‍ගයක්, ‘විලෙපනං’ යනු ශරිරාලේපය සඳහා අඹරා පිළියෙළ කළ යම්කිසි දෙයකි. අවශේෂ සියලුම වත්සුණු දුම් යනාදි සුවඳ ජාති ‘ගන්‍ධ’ වේ. ඒ සියල්ලම සැරසීම සඳහා පැළදීම සඳහා නොවටී. බෙහෙත් වශයෙන් වනාහි වටී. පූජාව සඳහා ගෙනෙන ලද දෙය ද භාර ගැනීමට කිසිම හේතුවකින් නොවටී. “උච්චාසයනං” යන්නෙන් ප්‍රමාණය ඉක්ම වූ ආසනය කියනු ලැබේ. “මහාසයනං” යනු අකැප සයනය හා අකැප ඇතිරිල්ලයි. ඒ දෙකම පිළිගැනීමට කිසිම අයුරකින් නොවටී. “ජාත රූපං” යනු රන්ය. ‘රජතං’ යනු කහවණුය. ලෝහ මස්ස, ලී මස්ස, ලාකඩ මස්ස ආදී යමක් යම් තැනක ව්‍යවහාර කෙරේද ඒ දෙකම ‘ජාතරූපරජත’ වේ. එය කිසියම් ආකාරයකින් පිළිගැනීම ‘පටිග්ගහ’ නම් වේ. එය කිසිම අයුරකින් පිළිගැනීම) නොවටී යයි මෙසේ ආවේණිකය ද කිව යුතුය.