2. දසසිකපද වර්ණනාව
සික්ඛාපදපාඨමාතිකා
මෙසේ සරණාගමනයන්ගෙන් ශාසනයට බැස ගැනීම දක්වා - එසේ බැසගත් උපාසකයා විසින් හෝ පැවිද්දා විසින් හෝ යම් ශික්‍ෂාපදයන්හි පළමුකොට හික්මිය යුතුද ඒවා දැක්වීම සඳහා ඇතුළත් කරන ලද ශික්‍ෂාපද පාඨයෙහි වර්‍ණනාව සඳහා දැන් මේ මාතෘකාවය.
“යම් කෙනෙකු විසින් යම් තැනක යම් දිනක යම් හෙයකින් ශික්‍ෂාපදයෝ දේශනා කරන ලද්දාහුද යන ඒ කරුණ කියා ඒවා සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දක්වා යමක් ප්‍රකෘතියෙන් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය පැහැදිලි කොට පදයන් ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද විස්තර කොට
සියල්ලන්ට සාධාරණ වූ ශික්‍ෂාපදයන්ගේ ඒ සාධාරණ බව පැහැදිලි කිරීම ද ඉක්බිති පූර්‍ව ශික්‍ෂාපද පහෙහි විශේෂාර්ථ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව
පාණාතිපාත ශික්‍ෂාපදයේ සිට එකතාදි වශයෙන්, ආරම්මණ වශයෙන්, ආදාන වශයෙන්, භේද වශයෙන්, මහා සාවජ්ජ වශයෙන්, ප්‍රයෝග වශයෙන්, මූල වශයෙන්, කම්ම වශයෙන්, විරමණ වශයෙන්, ඵල වශයෙන්, විනිශ්චය දත යුතුය.
ඉන්පසු (මුල් ශික්‍ෂාපද පහ පිළිබඳ විස්තරයෙහි) සුදුසු අර්‍ථ ගෙන පසු ශික්‍ෂාපද පහෙහි ද යෙදිය යුතුය. (ඒ ඒ ශික්‍ෂා පදයට) ආවේණික ලක්‍ෂණ ද කිව යුතුය. හීනප්‍රණීත ආදිය ද දත යුතුය.
එහි මේ “පාණාතිපාතා වෙරමණී” ආදි දශ ශික්‍ෂාපදයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ. ශ්‍රාවකාදීන් විසින් නොවේ. ඒවාද ආයුෂ්මත් රාහුල පැවිදි කරවා කපිලවස්තුවේ සිට සැවැත් නුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ විසින් සාමණේරයන්ට ශික්‍ෂාපද නියම කිරීම සඳහා සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයේ දී දේශනා කරන ලදී. මෙය මෙසේ කියන ලදී.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි කැමති තාක් කල් වාසය කොට සැවැත් නුවර යම් තැනෙක ද එය අරමුණු කොට චාරිකාවේ වැඩම කළහ. පිළිවෙළින් චාරිකාවේ හැසිරෙන්නාහු සැවැත් නුවර යම් තැනෙක ද එහි වැඩම කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසති. එකල්හි -පෙ- ඉක්බිති සාමණේරයන්ට “අපට කෙතෙක් ශික්‍ෂාපද වේද? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතුද? යන මේ අදහස ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. උන්වහන්සේ “මහණෙනි, සාමණේරයන්ට “පාණාතිපාතා වේරමණී -පෙ- ජාතරූප රජත පටිග්ගහණා වෙරමණී” යයි ශික්ෂාපද දහයක් ද, සාමණේරයන් විසින් එම ශික්ෂාපදයන්හි හික්මීමට ද අනුදනිමි”යි (මහාවග්ගපාලි) යනුයි.
ඒ මේ ශික්ෂාපදයෝ “ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේ” (සාමඤ්ඤඵල සුත්ත) යයි සූත්‍රානුසාරයෙන් ද සරණාගමනයන්හි දක්වන ලද පාඨ අනුසාරයෙන් ද “පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යයි මෙසේ වාචනාමාර්‍ගයට නගන ලදහයි දත යුතුය. මෙසේ පළමුකොට “යෙන යත්‍ථ යදා යස්මා වුත්තා නෙතානි තං නයං” යන මාතෘකා විස්තර කරන ලදී.
සාධාරණවිසෙසවවත්ථානං
මේ ශික්ෂා පදයන්හි ද මුල් ශික්ෂාපද දෙකත් සතරවෙනි හා පස්වෙනි ශික්ෂාපදත් උපාසකයන්ට හා සාමණේරයන්ට ද නිත්‍යශීල වශයෙන් සාධාරණ වේ. උපාසකයට උපෝසථ ශීල වශයෙන් වනාහි හත්වෙනි අටවෙනි ශික්ෂාපද එක් ශික්ෂාපදයක් කොට සර්‍වපශ්චිම ශික්ෂාපද සියල්ල ද සාමණේරයන් හා සාධාරණ වේ. අවසාන ශික්ෂාපදය වනාහි සාමණේරයන්ටම විශේෂ වූවකි”යි මෙසේ සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දැක්වීම කළ යුතුය. මෙහි පළමුවෙනි ශික්ෂාපද පහ ඒකාන්ත අකුශල සිතින් හටගන්නා බැවින් ප්‍රාණඝාත ආදිය අතුරින් ප්‍රකෘති වද්‍ය වෙන්වීම්ය. ඉතිරි ශික්ෂාපද ප්‍රඥප්ති වද්‍ය වෙන්වීම්ය. මෙසේ “ප්‍රකෘතියෙන් යමක් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය ද වෙනකොට දැක්විය යුතුය.