මරණය සිදු කිරීම සඳහා විද්‍යා මන්ත්‍ර ජප කිරීම විද්‍යාමය ප්‍රයෝගයයි. ආවුධ ආදියෙහි මුවහත තැබීම් ආදිය මෙන් මරණය සිදු කිරීම සඳහා කර්‍ම විපාකයෙන් හටගත් සෘද්ධි බලයෙන් නොයෙක් දේ කිරීම සෘද්ධිමය ප්‍රයෝගයයි. අදින්නාදානයෙහි වනාහි ථෙය්‍ය අවහාර, පසය්හ අවහාර, පටිච්ඡන්න අවහාර, පරිකප්ප අවහාර, කුසාවහාර වශයෙන් පැවති සාහත්‍ථික, ආණත්තිකාදිය ප්‍රයෝගයෝ වෙති. ඔවුන්ගේ ද වෙනස කියන ලද කරුණු අනුසාරයෙන්ම දත යුතුය. අබ්‍රහ්මචරියා ආදී ශික්‍ෂා පද තුනෙහි ද සාහත්‍ථික ප්‍රයෝගය ලැබේ. මෙසේ මෙහි ප්‍රයෝග වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“අඞ්ගතො” (අඞ්ග වශයෙන්) වනාහි මෙහි ද ප්‍රාණඝාතයෙහි අඞ්ග පහක් වේ. ප්‍රාණියෙක් ද වේ. ප්‍රාණියෙක් යන හැඟීම ඇත්තේ වේ. වධක සිත එළඹියේ වේ. මරණය සිදු කිරීම සඳහා උත්සාහ දරයි. එයින් මරණයට පත් කරයි යනුවෙනි. අදින්නාදානයෙහි අඞ්ග පහක්ම වේ. අනුන්ට අයත් වස්තුවක් වේ. අනුන්ට අයත් යයි දන්නේ වේ. සොරාගැනීමේ සිත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහ දරයි. එයින් ගතයුතු දෙය ගැනීමට යයි යනුවෙනි. අබ්‍රහ්මචරියාවෙහි වනාහි අඞ්ග හතරක් වේ. සේවනය නොකළ යුතු ස්ත්‍රියක් හා පුරුෂයෙක් වේ. එහි ද සේවනය කිරීමේ සිත එළඹියේ වේ. සේවනය කිරිම සඳහා ප්‍රයෝගයක් ද යෙදෙයි. එය ඉවසයි යනුවෙනි. අනෙක් දෙකට ද එසේමය. එහි පළමුකොට මුසාවාදයට :- ඒ කීම මුසාවක් ද වේ. වරදවා කියන සිත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහය වේ. අනුන්ට වරදවා කීම හඟවමින් වචන භාවිතා කරයි යන අඞ්ග හතර දත යුතුය. සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙහි වනාහි : සුරාදියෙන් එක්තරා සුරාවක් වේ. මත්පැන් පානය කිරීමේ කැමැත්ත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහයට එළඹෙයි. පානය කළ කල්හි (කුසට) පිවිසෙයි යන අඞ්ග හතරයි. මෙසේ මෙහි අඞ්ග වශයෙන් විනිශ්චය දත යුතුය.
‘සමුට්ඨානතො’ (හටගැනීම් වශයෙන්) වනාහි පාණාතිපාත, අදින්නාදාන, මුසාවාද යන ශික්ෂාපද මෙහිදී කායචිත්ත වශයෙන් ද වාචාචිත්ත වශයෙන් ද කාය වාචා චිත්ත වශයෙන් ද යයි සමුට්ඨාන තුනක් වේ. අබ්‍රහ්මචරියාව කාය චිත්ත වශයෙන් එකම සමුට්ඨානයකි. සුරාමෙරය මජ්ජපමාදට්ඨානය කාය වශයෙන් ද කාය චිත්ත වශයෙන් ද යයි සමුට්ඨාන දෙකකි. මෙසේ මෙහි සමුට්ඨාන වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“වෙදනාතො” (වේදනා වශයෙන්) යන මෙහි ද පාණාතිපාතය දුක්ඛවේදනා සම්ප්‍රයුක්තය. අදින්නාදානය වේදනා තුන අතරින් එක් වේදනාවකින් යුක්ත වේ. මුසාවාදය ද එසේමය. ඉතිරි දෙක සුබ වේදනාවෙන් හෝ අදුක්ඛමසුඛ වේදනාවෙන් හෝ යුක්ත වේ. මෙසේ මෙහි වේදනා වශයෙන් ද විනිශ්චය දත යුත්තේය.
“මූලතො” (මූල වශයෙන්) යනු මෙහි පාණාතිපාතය ද්වේෂය හා මෝහය මුල් කොට ඇත්තේය. අදින්නාදානය හා මුසාවාදය ලෝභය හා මෝහය මුල්කොට ඇත්තේය. නැතහොත් ද්වේෂය හා මෝහය මුල් කොට ඇත්තේය. ඉතිරි දෙක ලෝභය හා මෝහය මුල් කොට ඇත්තේය. මෙසේ මූල වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“කම්මතො” (කර්‍ම වශයෙන්) යනු මෙහි පාණාතිපාත, අදින්නාදාන, අබ්‍රහ්මචරිය යන තුන කාය කර්‍මමය. කර්‍මපථයට පැමිණියේ ද වේ. මුසාවාදය වචී කර්‍මමය. යමෙක් වනාහි අර්‍ථය නසන්නෙක් වේද හෙතෙම කර්‍මපථයට පත් වූවෙක් වන්නේය. අනෙකා කර්‍මය පමණක් කරන්නෙක් වේ. සුරාමෙරය මජ්ජපමාදට්ඨානය කාය කර්‍මයක්මය. මෙසේ මෙහි කර්‍ම වශයෙන් ද විනිශ්චය දත යුතුය.
“විරමතො” (වෙන්වීම් වශයෙන්) යනු මෙහි ප්‍රාණඝාත ආදියෙන් වෙන්වෙන තැනැත්තේ කුමකින් වෙන්වේද යත්? කියනු ලැබේ. සමාදන්වීම් වශයෙන් වෙන්වන්නේ පළමුකොට තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රාණඝාත ආදී අකුශලයන්ගෙන් වෙන් වේ. කුමක් අරමුණු කොටද? යමකින් වෙන් වන්නේ ද එයම අරමුණු කොටය. සම්පත්ත (පැමිණීම්) වශයෙන් ද වෙන්වන්නේ කියන ලද ආකාරයේ අකුශලයන්ගෙන්ම වෙන්වීම සිදු වේ. කුමක් අරමුණු කොටද? ප්‍රාණඝාතාදීන්ගේ කියන ලද අරමුණුමය. සමහරු වනාහි “සුරාමේරය මද්‍ය සංඛ්‍යාත සංස්කාරයන් අරමුණු කොට සුරාමේරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වේ යයි කියති. සත්ත්ව සංස්කාරයන් අතුරින් යමකට පහරදිය යුතු ද (යමක් බැහැර කළ යුතුද?) බිඳිය යුතුද එය අරමුණු කොට අඳින්නාදානයෙන් හා මුසාවාදයෙන් ද සත්ත්වයන්ම අරමුණු කොට ප්‍රාණඝාතයෙන් හා අබ්‍රහ්මචරියාවෙන් ද වෙන් වේ යයි ද කියති. අනෙකෙක් එය “මෙසේ ඇති කල්හි අනෙකක් සිතමින් අනෙකක් කරන්නේය, යමක් දුරු කරයිද එය නොදැනගන්නේ” යයි මෙසේ පිළිගැනීම් ඇත්තෝ වී අකැමැති වන්නාහු මොහු යමක් දුරු කරයි ද එය තමාගේ ප්‍රාණඝාත ආදී අකුශලයන්ම අරමුණු කොට වෙන් වේ යැයි කියති. එය නුසුදුසුය. කුමක් හෙයින්ද යත්? ඔහුගේ ප්‍රත්‍යුත්පන්න ආලම්බන බව ද බාහිරාලම්බන බව ද නොමැති හෙයිනි. ශික්ෂා පදයන් පිළිබඳ විභඞග පාඨයෙහි වනාහි “පඤ්ච ශික්ෂා පදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක්ද? -පෙ- අරණයෝ කෙතෙක්ද”යි විමසා “කුශලයෝමය, සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ”යි මෙසේ විසඳීම පවත්නා කල්හි (පඤ්ච ශික්ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්න ආලම්බනයෝය. බාහිරා ලම්බනයෝ යයි මෙසේ ප්‍රත්‍යුත්පන්න බාහිරාලම්බන බව කියන ලදී. තමාගේ ප්‍රාණඝාතාදි අකුශලයන් අරමුණු කොට වෙන්වන තැනැත්තා හට එය නොයෙදේ. “අනෙකක් සිතමින් අනෙකක් කරන්නේය යමක් දුරු කරන්නේ ද එය නොදැන ගන්නේ යයි යමක් කියන ලද්දේ ද එහිදී කියනු ලැබේ. කෘත්‍යසාධන වශයෙන් පවතින්නේ අනෙකක් සිතමින් අනෙකක් කරයි කියා හෝ යමක් දුරු කරයි ද එය නොදැනගනී කියා හෝ නොකියනු ලැබේ.