පුරිමපඤ්චසික්ඛාපදවණ්ණනා
දැන් “අථ පඤ්චසු පුබ්බෙසු විසෙසත්ථප්පකාසතො, පාණාදි පාණාතිපාත -පෙ- විඤ්ඤාතබ්බො විනිච්ඡයො” යයි යමක් කියන ලද්දේ ද ඒ පිළිබඳව මෙය කියනු ලැබේ. “පාණාතිපාතො” යන මෙහි “පාණා” යනු ජීවිතින්ද්රිය ප්රතිබද්ධ ස්කන්ධ සන්තතියයි. නැතහොත් එය අරමුණු කොට පනවන ලද සත්ත්වයාය. එම ප්රාණයෙහි ප්රාණ සංඥාව ඇති ඔහුගේ ජිවිතින්ද්රිය සිඳීම සඳහා කරන උපක්රම උපදවන්නා වූ කායවචී ද්වාර දෙක අතුරෙන් එක් ද්වාරයක පැවති වධක චේතනාව පාණාතිපාත නම් වේ. “අදින්නාදානං” යන මෙහි “අදින්නං” යනු අනුන් අයිතිකරගත් (වස්තුවයි.) යම් වස්තුවෙක්හි අනිකෙක් තමා කැමති පරිදි ක්රියා කරන්නේ දඬුවමට නිසි නොවේද (අනුන් විසින් කිසිවක් නොකිව යුතු) නිවැරදිකරුවෙක් වේද එබඳු අනුන් අයත් ඒ වස්තුවෙක්හි අනුන් අයිති කරගත් දෙයක් යන හැඟීමෙන් එය ගන්නා උපක්රමය ඉපද වූ කාය වාග් ද්වාරයන් අතුරෙන් එක්තරා වාරයක පැවතියාවූම සොරා ගැනීමේ චේතනාව අදින්නාදාන වේ.
“අබ්රහ්මචරියං” යනු පහත් හැසිරීමයි. දෙදෙනා බැගින් එක්වීම් සඞ්ඛ්යාත මෛථුන සේවනයයි. කාය ද්වාරයෙහි පවත්නා අසද්ධර්ම (මෛථුන්ය) ප්රතිසෙවන ස්ථාන ඉක්මවීමේ චේතනාවයි. “මුසාවාදො” යන මෙහි ‘මුසා’ යනු රැවටීම මුල්කොටගත් තැනැත්තාගේ අර්ථය බිඳළන වචී ප්රයෝගයයි. නැතහොත් කාය ප්රයෝගයයි. රැවටීමේ අදහසින් වනාහි අනුන් රවටන කායවචී ප්රයෝගයෙන් හටගත් කායවචී ද්වාරයන් අතුරින්ම එක් වාරයක පැවති මිථ්යා චේතනාව ‘මුසාවාදයයි’. “සුරාමෙරය මජ්ජපමාදට්ඨානං” යන මෙහි වනාහි “සුරා” යනු පිට්ඨ (පිටි) සුරා, පුව (කැවුම්), සුරා, ඔදන (බත්) සුරා, කිණ්ණපක්ඛිත්ත (රා මණ්ඩි දැමූ) සුරා, සම්භාර පක්ඛිත්ත (විවිධ ද්රව්ය යෙදූ) සුරා, යන පංච විධ සුරාය. “මෙරය” ද පුප්ඵාසව (මලින් පෙරූ) ඵලාසව (ගෙඩිවලින් පෙරූ) ගුළාසව (උක් හකුරුවලින් පෙරූ) මධ්වාසව (මීයෙන් පෙරූ) සම්භාරසංයුත්ත (නොයෙක් ද්රව්ය යොදා පෙරූ) වශයෙන් පංච විධ වේ. “මජ්ජං” යනු ඉහත කී දෙවර්ගයම මත්කරවන අර්ථයෙන් මජ්ජ වේ. නැතහොත් යමක් පානය කිරිම කරණකොට ගෙන මත්වේද ප්රමාදයට පත්වේද එබඳු වෙනත් යම්කිසි මත් කරවන සුලු යමක් ඇත්තේ ද එය “මජ්ජ” යයි කියනු ලැබේ. “පමාදට්ඨානං” යනු යම් චේතනාවකින් එය පානය කරයිද ගිලියි ද ඒ චේතනාව මදයට හා ප්රමාදයට හේතුවන බැවින් “පමාදට්ඨාන” යයි කියනු ලැබේ. එහෙයින් බීමේ අදහසින් කාය ද්වාරයෙහි පැවති සුරාමේරය මද්යයන්ගේ බීමේ චේතනාව ‘සුරාමෙරය මජ්ජපමාදට්ඨාන’ යයි දත යුතුය. මෙසේ පළමුකොට මෙහි ප්රාණඝාතයේ පටන් විනිශ්චය දත යුතුය.
එකතානානතාදිවිනිච්ඡයං
“එකතාදිතො” (එකතාදි වශයෙන්) යනු මෙහි කීය. කිම වනාහි වජ්ඣ (නැසිය යුත්තා) වධක (නසන්නා) ප්රයෝග චේතනාදීන්ගේ එක්බව නිසා ප්රාණඝාතයෙහි හෝ අනෙකුත් අදින්නාදානාදියෙහි එකත්වය හෝ නානාකාර බව නිසා නානත්වය හෝ වේද නැත්නම් නොවේද? කුමක් හෙයින් මෙය කියනු ලැබේද? ඉදින් එහි එක්බව නිසා එකත්වය වේ නම් ඉක්බිති බොහෝ වධකයෝ එක් ඇසිය යුත්තෙකු නසත් ද නැතහොත් එක් වධකයෙක් බොහෝ නැසිය යුත්තන් නසයි ද නැතහොත් එක් සාහත්ථිකාදී ප්රයෝගයකින් බොහෝ නැසිය යුත්තන්ගේ ජීවිතින්ද්රිය නසන ප්රයෝගයක් උපදවයි ද එකල්හි එක ප්රාණඝාතයක් විය යුතුය. ඉදින් වනාහි නානාකාර බව නිසා නානත්වය වේද ඉක්බිති යම් කලෙක්හි එක් වධකයෙක් එක් නැසිය යුත්තෙකු සඳහා එක් ප්රයෝගයක් කරමින් බොහෝ නැසිය යුත්තත් නසයිද නැතහොත් බොහෝ වධකයෝ දේවදත්ත, යඤ්ඤදත්ත, සෝමදත්ත ආදී බොහෝ දෙනා සඳහා බොහෝ ප්රයෝගයන් කරමින් එකම දේවදත්තයකු හෝ යඤ්ඤදත්තයකු හෝ සෝමදත්තයකු හෝ මරත්ද නැතහොත් බොහෝ වූ සාහත්ථිකාදී ප්රයෝගයන්ගෙන් එක නැසිය යුත්තෙක් නසනු ලැබේ ද නැතහොත් බොහෝ වූ චේතනාවෝ එක් නැසිය යුත්තෙකුගේ ජීවිතින්ද්රිය නැසීම සඳහා ප්රයෝගයක් උපදවත් ද එකල්හි බොහෝ ප්රාණඝාතයන් විය යුතුය. මේ දෙකම නුසුදුසුය. ඉක්බිති මේ වජ්ඣාදීන්ගේ එක්බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වයද නොවන්නේමය. එකත්වය හා නානත්වය අන් අයුරකින්ම වේ. එය කිව යුතුය. එය ප්රාණඝාතය හා සම්බන්ධව යම්සේ වේද (අදින්නාදාන ආදී) සෙස්ස පිළිබඳව ද එසේය.
එහිදී කියනු ලැබේ. පළමුකොට ප්රාණඝාතය සම්බන්ධයෙන් වජ්ඣවධකාදීන් පිළිබඳ එක් එක් බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වය ද නොවේ. වැළිදු වජ්ඣවධකාදීන්ගේ එක්ව යෙදුනු එක් බව නිසා එකත්වය වේ. ඒ වජ්ඣවධකාදීන් දෙකකගේ වුව ද නැතහොත් එයින් අන්ය වූවෙකුගේ නානා බව නිසා නානත්වය වේ. ඒ එසේමය. බොහෝ වධකයන් බොහෝ හී ආයුධ ආදියෙන් නැතහොත් එකකින් හෝ බොරු වළවල් කැණීම් ආදී ප්රයෝගයෙන් හෝ බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. එක් වධකයෙකු එකකින් හෝ බොහෝ වූ ප්රයෝගයන්ගෙන් හෝ එම ප්රයෝගයන්ගෙන් උපදවන ලද එක් (චේතනාවකින්) හෝ බොහෝ චේතනාවන්ගෙන් බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. බොහෝ වධකයන් කියන ලද ආකාරයේ බොහෝ (ප්රයෝගයන්ගෙන්) හෝ එක් ප්රයෝගයකින් එක් නැසිය යුත්තෙකු නසන කල්හි ද බොහෝ ප්රාණඝාතයෝ වෙති. අදින්නාදානාදියෙහි ද මේ ක්රමයමය. මෙසේ මෙහි එකතාදි වශයෙන් විනිශ්චය දත යුතුය.
“ආරම්මණතො” (අරමුණු වශයෙන්) යන මෙහි ප්රාණඝාතය ජීවිතින්ද්රිය අරමුණු කොට ඇත්තේය. අදින්නාදාන, අබ්රහ්මචරිය, සුරාමෙරය මජ්ජපමාදට්ඨාන යන ශික්ෂාපදයෝ රූප ධර්මයන් අතුරෙන් රූපායතන ආදී කිසියම් සංස්කාරයක් අරමුණු කොට ඇත්තාහ. මුසාවාදය යමෙකුට මුසා කියයි ද ඔහු අරබයා පවත්වා හෙයින් සත්ත්වයා අරමුණු කොට ඇත්තේය. අබ්රහ්මචරියාව සත්ත්වයා අරමුණු කොට ඇතැයි සමහරු කියති. අදින්නාදානය ද යම් කලෙක්හි සත්ත්වයෙක් ගෙන යා යුතු වේද එකල්හි සත්ත්වයා අරමුණු කොට ඇත්තේත් යයි (සමහරු කියති) තවද මෙහි සංස්කාර වශයෙන්ම සත්ත්වයන් අරමුණු කෙරෙති. ප්රඥප්ති වශයෙන් නොවේ. මෙසේ මෙහි ආරම්මණ වශයෙන් ද විනිශ්චය දත යුතුය.