සාධාරණවිභාවනා
යම් හෙයකින් මෙහි ‘වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන මේවා සියලු ශික්ෂාපදයන්ට සාධාරණ පද වේද එබැවින් මේ පදයන්ගේ ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද මේ සාධාරණ විස්තරය දත යුතුය.
පළමුකොට ඛ්‍යඤ්ජන වශයෙන් - වෛරය දුරු කෙරේනුයි වෙරමණී වේ, වෛරය අත්හරියි, දුරුකරයි, ගෙවීම කරයි, අභාවයට පමුණුවයි යන අර්‍ථයයි. නැතහොත් පුද්ගල තෙමේ මේ කරණ වූ වෛරයෙන් දුරු වෙයි යයි “වි” කාරයට “වෙ” කාරය කොට “වෙරමණි” වේ. එහෙයින්ම මෙහි “වෙරමණි සික්ඛාපදං, විරමණි සික්ඛාපදං” යයි දෙආකාරයකින් සජ්ඣායනා කරති. හික්මිය යුතු හෙයින් = සික්ඛා වේ. මෙය කරණ කොට පැමිණේනුයි = ‘පදං’ වේ. සික්ඛාය පදං (හික්මීමට කාරණා නුයි) සික්ඛාපදං වේ. හික්මීම සඳහා එළඹෙන උපාය යන අර්ථයයි. නැතහොත් මූලය, නිශ්‍රයය, ප්‍රතිෂ්ඨාව යයි කියන ලද්දේ වෙයි. වෙරමණී එව සික්ඛාපදං (වෙන්වීමම ශික්ෂාපදය වූයේ) = වෙරමණී සික්ඛා පදං වේ. නැතහොත් දෙවෙනි ක්‍රමයට අනුව ‘විරමණී සික්ඛා පදං වේ. මනාකොට අල්ලා ගතිනුයි = සමාදියාමි වේ. නොඉක්මවන අදහසින් සිදුරු ඇති නොවන සේ, පුල්ලි ඇති නොවන සේ අල්ලා ගනිමි”යි කියන ලද්දේ වෙයි.
අර්‍ථ වශයෙන් වනාහි “වෙරමණී” යනු කාමාවචර කුශල චිතයෙන් යුත් විරතියයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තාහට “එසමයෙහි ප්‍රාණඝාතයෙන් යම් දුරුවීමක් වෙන්වීමක්, වැළැක්මෙක්, විරමණයෙක්, නොකිරීමෙක්, අකරණයෙක්, (එයට) නොපැමිණිමෙක්, සීමා නොඉක්මවීමෙක් ප්‍රත්‍ය නැසීමෙක් වේද එයයි” මේ ආදි වශයෙන් විභඞගප්පකරණයෙහි කියන ලද්දේය. මේ විරමණය නම් ඒකාන්තයෙන්ම ලෝකෝත්තර විරමණයක් (වෙන්වීමක්) ද ඇත. මෙහි වනාහි “සමාදන් වෙමි”යි කී බැවින් සමාදන්වීම් වශයෙන් පැවතියේය. කරණුත්තරිය කිරීමක් (එකට එක කිරීමක්) නොවේනුයි කාමාවචර කුශල චිත්තය හා යෙදුණු විරතියයි කියන ලදී.
‘සික්ඛා’ යනු අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධි පඤ්ඤා සික්ඛා යන ත්‍රිශික්ෂාවෝය. මෙම අර්‍ථයෙහි වනාහි සම්ප්‍රයුක්ත විරති ශීලය, ලෞකික විදර්‍ශනාව, රූපාරූප ධ්‍යාන, ආර්‍ය්‍ය මාර්‍ගය ද “ශික්ෂා” යයි අදහස් කරන ලදී. යම්සේ කීවේද :-
“ශික්ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක්හි සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත උපන්නේ වේද -පෙ- එසමයෙහි ස්පර්‍ශය වේ. -පෙ- අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.
-පෙ- ශික්‍ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක රූප භවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, මාර්‍ගය වඩාද -පෙ- ප්‍රථම ධ්‍යානයට -පෙ- පඤ්චම ධ්‍යානයට එළඹ වසයි ද -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.
-පෙ- කවර ධර්‍මයෝ ශික්ෂාවෝ ද? යම් කලෙක්හි අරූප භවයෙහි උත්පත්තිය පිණිස -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සහගත -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.
කවර ධර්‍මයෝ ශික්‍ෂවෝ ද? යම් කලෙක්හි නෛර්යාණික ලෝකෝත්තර ධ්‍යාන වඩයි ද -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය. (විභඞ්ගප්පකරණ)
මේ ශික්ෂාවන් අතරින් යම්කිසි ශික්ෂාවකගේ පදය අවබෝධ කරගැනීමේ උපායයයි. නැතහොත් මූලය, නිශ්‍රය, ප්‍රතිෂ්ඨාව, වේනුයි ශික්ෂා පදය වේ. මෙය මෙසේ කියන ලදී :- ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංග ධර්‍මයන් වඩන්නේ බහුල වශයෙන් කරන්නේ” යන මේ ආදියයි. මෙසේ මෙහි සාධාරණ පදයන්ගේ සාධාරණ බව ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද පැහැදිලි කිරීම කළ යුතුය.
පුරිමපඤ්චසික්ඛාපදවණ්ණනා
දැන් “අථ පඤ්චසු පුබ්බෙසු විසෙසත්‍ථප්පකාසතො, පාණාදි පාණාතිපාත -පෙ- විඤ්ඤාතබ්බො විනිච්ඡයො” යයි යමක් කියන ලද්දේ ද ඒ පිළිබඳව මෙය කියනු ලැබේ. “පාණාතිපාතො” යන මෙහි “පාණා” යනු ජීවිතින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්කන්ධ සන්තතියයි. නැතහොත් එය අරමුණු කොට පනවන ලද සත්ත්වයාය. එම ප්‍රාණයෙහි ප්‍රාණ සංඥාව ඇති ඔහුගේ ජිවිතින්ද්‍රිය සිඳීම සඳහා කරන උපක්‍රම උපදවන්නා වූ කායවචී ද්වාර දෙක අතුරෙන් එක් ද්වාරයක පැවති වධක චේතනාව පාණාතිපාත නම් වේ. “අදින්නාදානං” යන මෙහි “අදින්නං” යනු අනුන් අයිතිකරගත් (වස්තුවයි.) යම් වස්තුවෙක්හි අනිකෙක් තමා කැමති පරිදි ක්‍රියා කරන්නේ දඬුවමට නිසි නොවේද (අනුන් විසින් කිසිවක් නොකිව යුතු) නිවැරදිකරුවෙක් වේද එබඳු අනුන් අයත් ඒ වස්තුවෙක්හි අනුන් අයිති කරගත් දෙයක් යන හැඟීමෙන් එය ගන්නා උපක්‍රමය ඉපද වූ කාය වාග් ද්වාරයන් අතුරෙන් එක්තරා වාරයක පැවතියාවූම සොරා ගැනීමේ චේතනාව අදින්නාදාන වේ.
“අබ්‍රහ්මචරියං” යනු පහත් හැසිරීමයි. දෙදෙනා බැගින් එක්වීම් සඞ්ඛ්‍යාත මෛථුන සේවනයයි. කාය ද්වාරයෙහි පවත්නා අසද්ධර්‍ම (මෛථුන්‍ය) ප්‍රතිසෙවන ස්ථාන ඉක්මවීමේ චේතනාවයි. “මුසාවාදො” යන මෙහි ‘මුසා’ යනු රැවටීම මුල්කොටගත් තැනැත්තාගේ අර්‍ථය බිඳළන වචී ප්‍රයෝගයයි. නැතහොත් කාය ප්‍රයෝගයයි. රැවටීමේ අදහසින් වනාහි අනුන් රවටන කායවචී ප්‍රයෝගයෙන් හටගත් කායවචී ද්වාරයන් අතුරින්ම එක් වාරයක පැවති මිථ්‍යා චේතනාව ‘මුසාවාදයයි’. “සුරාමෙරය මජ්ජපමාදට්ඨානං” යන මෙහි වනාහි “සුරා” යනු පිට්ඨ (පිටි) සුරා, පුව (කැවුම්), සුරා, ඔදන (බත්) සුරා, කිණ්ණපක්ඛිත්ත (රා මණ්ඩි දැමූ) සුරා, සම්භාර පක්ඛිත්ත (විවිධ ද්‍රව්‍ය යෙදූ) සුරා, යන පංච විධ සුරාය. “මෙරය” ද පුප්ඵාසව (මලින් පෙරූ) ඵලාසව (ගෙඩිවලින් පෙරූ) ගුළාසව (උක් හකුරුවලින් පෙරූ) මධ්වාසව (මීයෙන් පෙරූ) සම්භාරසංයුත්ත (නොයෙක් ද්‍රව්‍ය යොදා පෙරූ) වශයෙන් පංච විධ වේ. “මජ්ජං” යනු ඉහත කී දෙවර්‍ගයම මත්කරවන අර්‍ථයෙන් මජ්ජ වේ. නැතහොත් යමක් පානය කිරිම කරණකොට ගෙන මත්වේද ප්‍රමාදයට පත්වේද එබඳු වෙනත් යම්කිසි මත් කරවන සුලු යමක් ඇත්තේ ද එය “මජ්ජ” යයි කියනු ලැබේ. “පමාදට්ඨානං” යනු යම් චේතනාවකින් එය පානය කරයිද ගිලියි ද ඒ චේතනාව මදයට හා ප්‍රමාදයට හේතුවන බැවින් “පමාදට්ඨාන” යයි කියනු ලැබේ. එහෙයින් බීමේ අදහසින් කාය ද්වාරයෙහි පැවති සුරාමේරය මද්‍යයන්ගේ බීමේ චේතනාව ‘සුරාමෙරය මජ්ජපමාදට්ඨාන’ යයි දත යුතුය. මෙසේ පළමුකොට මෙහි ප්‍රාණඝාතයේ පටන් විනිශ්චය දත යුතුය.