සාධාරණවිසෙසවවත්ථානං
මේ ශික්ෂා පදයන්හි ද මුල් ශික්ෂාපද දෙකත් සතරවෙනි හා පස්වෙනි ශික්ෂාපදත් උපාසකයන්ට හා සාමණේරයන්ට ද නිත්‍යශීල වශයෙන් සාධාරණ වේ. උපාසකයට උපෝසථ ශීල වශයෙන් වනාහි හත්වෙනි අටවෙනි ශික්ෂාපද එක් ශික්ෂාපදයක් කොට සර්‍වපශ්චිම ශික්ෂාපද සියල්ල ද සාමණේරයන් හා සාධාරණ වේ. අවසාන ශික්ෂාපදය වනාහි සාමණේරයන්ටම විශේෂ වූවකි”යි මෙසේ සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දැක්වීම කළ යුතුය. මෙහි පළමුවෙනි ශික්ෂාපද පහ ඒකාන්ත අකුශල සිතින් හටගන්නා බැවින් ප්‍රාණඝාත ආදිය අතුරින් ප්‍රකෘති වද්‍ය වෙන්වීම්ය. ඉතිරි ශික්ෂාපද ප්‍රඥප්ති වද්‍ය වෙන්වීම්ය. මෙසේ “ප්‍රකෘතියෙන් යමක් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය ද වෙනකොට දැක්විය යුතුය.
සාධාරණවිභාවනා
යම් හෙයකින් මෙහි ‘වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන මේවා සියලු ශික්ෂාපදයන්ට සාධාරණ පද වේද එබැවින් මේ පදයන්ගේ ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද මේ සාධාරණ විස්තරය දත යුතුය.
පළමුකොට ඛ්‍යඤ්ජන වශයෙන් - වෛරය දුරු කෙරේනුයි වෙරමණී වේ, වෛරය අත්හරියි, දුරුකරයි, ගෙවීම කරයි, අභාවයට පමුණුවයි යන අර්‍ථයයි. නැතහොත් පුද්ගල තෙමේ මේ කරණ වූ වෛරයෙන් දුරු වෙයි යයි “වි” කාරයට “වෙ” කාරය කොට “වෙරමණි” වේ. එහෙයින්ම මෙහි “වෙරමණි සික්ඛාපදං, විරමණි සික්ඛාපදං” යයි දෙආකාරයකින් සජ්ඣායනා කරති. හික්මිය යුතු හෙයින් = සික්ඛා වේ. මෙය කරණ කොට පැමිණේනුයි = ‘පදං’ වේ. සික්ඛාය පදං (හික්මීමට කාරණා නුයි) සික්ඛාපදං වේ. හික්මීම සඳහා එළඹෙන උපාය යන අර්ථයයි. නැතහොත් මූලය, නිශ්‍රයය, ප්‍රතිෂ්ඨාව යයි කියන ලද්දේ වෙයි. වෙරමණී එව සික්ඛාපදං (වෙන්වීමම ශික්ෂාපදය වූයේ) = වෙරමණී සික්ඛා පදං වේ. නැතහොත් දෙවෙනි ක්‍රමයට අනුව ‘විරමණී සික්ඛා පදං වේ. මනාකොට අල්ලා ගතිනුයි = සමාදියාමි වේ. නොඉක්මවන අදහසින් සිදුරු ඇති නොවන සේ, පුල්ලි ඇති නොවන සේ අල්ලා ගනිමි”යි කියන ලද්දේ වෙයි.
අර්‍ථ වශයෙන් වනාහි “වෙරමණී” යනු කාමාවචර කුශල චිතයෙන් යුත් විරතියයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තාහට “එසමයෙහි ප්‍රාණඝාතයෙන් යම් දුරුවීමක් වෙන්වීමක්, වැළැක්මෙක්, විරමණයෙක්, නොකිරීමෙක්, අකරණයෙක්, (එයට) නොපැමිණිමෙක්, සීමා නොඉක්මවීමෙක් ප්‍රත්‍ය නැසීමෙක් වේද එයයි” මේ ආදි වශයෙන් විභඞගප්පකරණයෙහි කියන ලද්දේය. මේ විරමණය නම් ඒකාන්තයෙන්ම ලෝකෝත්තර විරමණයක් (වෙන්වීමක්) ද ඇත. මෙහි වනාහි “සමාදන් වෙමි”යි කී බැවින් සමාදන්වීම් වශයෙන් පැවතියේය. කරණුත්තරිය කිරීමක් (එකට එක කිරීමක්) නොවේනුයි කාමාවචර කුශල චිත්තය හා යෙදුණු විරතියයි කියන ලදී.
‘සික්ඛා’ යනු අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධි පඤ්ඤා සික්ඛා යන ත්‍රිශික්ෂාවෝය. මෙම අර්‍ථයෙහි වනාහි සම්ප්‍රයුක්ත විරති ශීලය, ලෞකික විදර්‍ශනාව, රූපාරූප ධ්‍යාන, ආර්‍ය්‍ය මාර්‍ගය ද “ශික්ෂා” යයි අදහස් කරන ලදී. යම්සේ කීවේද :-
“ශික්ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක්හි සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත උපන්නේ වේද -පෙ- එසමයෙහි ස්පර්‍ශය වේ. -පෙ- අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.
-පෙ- ශික්‍ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක රූප භවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, මාර්‍ගය වඩාද -පෙ- ප්‍රථම ධ්‍යානයට -පෙ- පඤ්චම ධ්‍යානයට එළඹ වසයි ද -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.
-පෙ- කවර ධර්‍මයෝ ශික්ෂාවෝ ද? යම් කලෙක්හි අරූප භවයෙහි උත්පත්තිය පිණිස -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සහගත -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.