උපමාපකාසනා
දැන් “සරණත්තය මෙතඤ්ච උපමාහි පකාසයෙ” යයි යමක් කියන ලද්දේ එයද කියනු ලැබේ. මෙහි වනාහි බුදුන් වහන්සේ පුන්සඳ වැනිය. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍මය සඳ රැස් සමූහය වැනිය. සංඝයා පුන්සඳ කිරණින් උපදවන ලද ප්‍රීතිය ඇති ලෝකයා වැනිය. බුදුන් වහන්සේ ළාහිරු වැනිය. කියන ලද ආකාර ඇති ධර්‍මය ඒ ළාහිරුගේ රශ්මි ජාලාව වැනිය. සංඝයා ඒ රශ්මි ජාලාවෙන් පහවූ අන්ධකාරය ඇති ලෝකය වැනිය. බුදුන් වහන්සේ වනය දවන පුරුෂයෙක් වැනිය. කෙලෙස් වනය දවන ධර්‍මය වනය දවන ගින්න වැනිය. දැවූ කෙලෙස් ඇති බැවින් පින් කෙතක් වූ සංඝයා දැවූ වනය ඇති බැවින් කෙතක් වූ භූමිභාගය වැනිය. බුදුන් වහන්සේ මහා මේඝයක් වැනිය. ධර්‍මය වැසි ජලය වැනිය. සන්සිඳුණු කෙලෙස් දූලි ඇති සංඝයා වැසි වැටීමෙන් සන්සිදුණු දූලි ඇති ජනපදය වැනිය. බුදුන් වහන්සේ යහපත් රියදුරෙක් වැනිය. ධර්‍මය ආජානේය අශ්වයන් හික්මවන උපාය වැනිය. සංඝයා මැනවින් හික්මුණු අජානේය අශ්ව සමූහයක් වැනිය. බුදුන් වහන්සේ සියලු මිසදිටු උල් උදුරන හෙයින් ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්‍මය උල් උදුරන උපාය වැනිය. ඉදිරූ මිසදිටු උල් ඇති සංඝයා උදුරන ලද උල් ඇති ජනයා වැනිය. නැතහොත් මෝහ පටලය උපුටා දමන හෙයින් බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්‍මය පටලය උපුටා දමන උපාය වැනිය. උපුටා දැමූ මෝහ පටල ඇති, ප්‍රසන්න නුවණැස ඇති සංඝයා උපුටා දැමූ පටල ඇති ප්‍රසන්න ඇස් ඇති ජනයා වැනිය. නැතහොත් බුදුන් වහන්සේ අනුසය සහිත කෙලෙස් රෝග දුරු කිරීමට සමත් දක්‍ෂ වෛද්‍යවරයෙකු වැනිය. ධර්‍මය මැනවින් යෙදු බෙහෙතක් වැනිය. සන්සිඳුණු අනුසය ව්‍යාධි ඇති සංඝයා බෙහෙත් යෙදීමෙන් සන්සිදුණු රෝග ඇති ජනයා වැනිය.
නැතහොත් බුදුන් වහන්සේ යහපත් උපදේශකයෙකු වැනිය. ධර්‍ම ක්ෂේම භූමියට යන යහපත් මාර්‍ගයක් වැනිය. සංඝයා මඟට පිළිපන්නේ ක්‍ෂෙම භූමියට පැමිණි තැනැත්තෙකු වැනිය. බුදුන් වහන්සේ යහපත් නාවිකයෙකු වැනිය. ධර්‍මය නැවක් වැනිය. සංඝයා පරතෙරට පැමිණි සමෘද්ධිමත් ජනයා වැනිය. බුදුන් වහන්සේ හිමාලය වැනිය. ධර්‍මය එහි හටගත් බෙහෙතක් වැනිය. සංඝයා බෙහෙත් වැළඳීමෙන් නිරෝගී වූ ජනයා වැනිය. බුදුන් වහන්සේ ධනය දෙන්නෙකු වැනිය. ධර්‍මය ධනය වැනිය. මැනවින් ලැබූ ආර්‍ය්‍ය ධනය ඇති සංඝයා අභිමත පරිදි ධනය ලැබූ ජනයා වැනිය. බුදුන් වහන්සේ නිධානයක් දක්වන්නෙකු වැනිය. ධර්‍මය නිධානයක් වැනිය. සංඝයා නිධානය ලැබූ ජනයා වැනිය.
තවද බුදුන් වහන්සේ අභය දෙන ධෛර්යමත් පුරුෂයෙකු වැනිය. ධර්‍මය අභය වැනිය. ඉක්ම වූ සියලු භය ඇති සංඝයා අභයට පැමිණි ජනයා වැනිය. බුදුන් වහන්සේ සැනසිලිදායකයෙකු වැනිය. ධර්‍මය සැනසිල්ල වැනිය. සංඝයා සැනසිල්ලට පත් ජනයා වැනිය. බුදුන් වහන්සේ යහපත් මිත්‍රයෙකු වැනිය. ධර්‍මය හිතෝපදේශයක් වැනිය. සංඝයා හිතෝපදේශකරණයෙන් සඵල කරගත් සියලු අර්‍ථ ඇති ජනයා වැනිය. බුදුන් වහන්සේ ධනාකරයක් වැනිය. ධර්‍මය සාරවත් ධනයක් වැනිය. සංඝයා සාරවත් ධනය පරිභෝග කළ ජනයා වැනිය. බුදුන් වහන්සේ රාජකුමාරයන් නහවන්නෙකු වැනිය. ධර්‍මය හිසනාන ජලය වැනිය. සද්ධර්‍ම ජලයෙන් ස්නානය කළ සංඝයා මැනවින් ස්නානය කළ රාජකුමාරවරුන් සමූහයක් වැනිය. බුදුන් වහන්සේ අලංකාර කරන්නෙකු වැනිය. ධර්‍මය අලංකාරය වැනිය. සද්ධර්‍මයෙන් අලංකාර වූ සංඝයා අලංකාර කළ රාජපුත්‍ර සමූහයා වැනිය. බුදුන් වහන්සේ සඳුන් රුකක් වැනිය. ධර්‍මය ඒ සඳුන් රුකෙහි හටගත් සුවඳ පැනිය. සද්ධර්‍මය පිළිපැදීමෙන් සන්සිඳුණු පරිළාහ ඇති සංඝයා සඳුන් පරිභෝගයෙන් ශාන්ත වූ පරිළාහ ඇති ජනයා වැනිය. බුදුන් වහන්සේ ධර්‍ම දායාදය සපයා දෙන්නෙකු වැනිය. ධර්‍මය දායාදය වැනිය. සද්ධර්‍ම දායාදය ගෙන යන සංඝයා දායාදය ගෙන යන පුත්‍ර සමූහයා වැනිය. බුදුන් වහන්සේ විකසිත පියුමක් වැනිය. ධර්‍මය ඒ පියුමෙහි හටගත් පැණි වැනිය. සංඝයා ඒ පැණි අනුභව කරන බඹර සමූහයා වැනිය. මෙසේ මේ සරණත්‍රය උපමාවන්ගෙන් ප්‍රකාශ කලේ වන්නේය.
මෙපමණකින් මවිසින් පෙර “කෙන කත්‍ථ කදා කස්මා භාසිතං රතනත්තයං” ආදි ගාථා හතරකින් අර්‍ථ වර්‍ණනාව සඳහා යම් මාතෘකාවක් තබන ලද්දී ද එය අර්‍ථ වශයෙන් ප්‍රකාශ කළා වන්නේය .
සරණත්‍රය වර්‍ණනාව නිමියේය.
2. දසසිකපද වර්ණනාව
සික්ඛාපදපාඨමාතිකා
මෙසේ සරණාගමනයන්ගෙන් ශාසනයට බැස ගැනීම දක්වා - එසේ බැසගත් උපාසකයා විසින් හෝ පැවිද්දා විසින් හෝ යම් ශික්‍ෂාපදයන්හි පළමුකොට හික්මිය යුතුද ඒවා දැක්වීම සඳහා ඇතුළත් කරන ලද ශික්‍ෂාපද පාඨයෙහි වර්‍ණනාව සඳහා දැන් මේ මාතෘකාවය.
“යම් කෙනෙකු විසින් යම් තැනක යම් දිනක යම් හෙයකින් ශික්‍ෂාපදයෝ දේශනා කරන ලද්දාහුද යන ඒ කරුණ කියා ඒවා සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දක්වා යමක් ප්‍රකෘතියෙන් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය පැහැදිලි කොට පදයන් ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද විස්තර කොට