1. ශරණගමනය වර්ණනාව
බුද්ධවිභාවනා
දැන් “බුද්ධංසරණාගමනං ගමකඤ්ච විභාවයෙ” යයි යමක් කියන ලද්දේද (එය විස්තර කරමි) එහි සියලු ධර්ම විෂයෙහි නොපැකිළ පවත්නා වූ දතයුතු හැම දෙයක නොහැනී පවත්නා වූ සර්වඥතා ඥානයට නිමිත්ත වූ අර්හත් මාර්ගයාගේ අධිගමයෙන් පරිභාවිත වූ ස්කන්ධ සන්තානය ඇසුරු කොට ගත් නම් ඇති හෝ සර්වඥතා ඥානය පදනම් කොට ගෙන හෝ සත්යාවබෝධය අරමුණු කොට පනවන ලද සත්ත්ව විශේෂයකි බුද්ධ නම්. යම්සේ කීවේද :-
“බුද්ධො’’ යනු යම් ඒ භාග්යවතුන් වහන්සේ නමක් තෙමේම (සත්යයන්) අවබෝධ කළේ ආචාර්ය්යයන් නොමැත්තේ පෙර නොඇසූ විරූ දහම්හි තෙමේම සත්යයන් අවබෝධ කළේ ඒ සත්යයන්හිදු සර්වඥත්වයට පැමිණියේ බල ධර්මයන්හිදු වශීභාවයට පැමිණියේ වේද හෙතෙමේය” යනුයි. මේ පළමුකොට
අර්ථ වශයෙන් “බුද්ධ” පිළිබඳ විස්තර කිරීමයි.
ඛ්යඤ්ජන වශයෙන් වනාහී “අවබෝධ කළේනුයි බුද්ධ වේ. අවබෝධ කරවානුයි “බුද්ධ” යි යන මේ ආදී ක්රමයෙන් දත යුතුය. මෙයද කියන ලද්දේය.
“බුද්ධො” යනු කවර අර්ථයකින් ‘බුද්ධ” වේද යත් :- සත්යයන් අවබෝධ කළේනුයි බුද්ධය. ප්රජාවට අවබෝධ කරවානුයි බුද්ධය. සර්වඥ බැවින් බුද්ධය. සියල්ල දක්නා සුලු බැවින් බුද්ධය. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධය. (නානාගුණ) සුවඳ විහිදුවන බැවින් බුද්ධය. ආශ්රව ක්ෂය කළ බැවින් බුද්ධය. උපක්ලේශ රහිත බැවින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ රාග ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ ද්වේශ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහ කළ මෝහ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් නික්ලේශී වන හෙයින් බුද්ධය. ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධය. එකලාව අනුත්තර සම්යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධය. මෝහය නැසූ හෙයින් බුද්ධිය පිළි ලැබූ හෙයින් බුද්ධය. බුද්ධ යන ඒ නම මව විසින් නොකරන ලදය. පියා විසින් නොකරන ලදය. සොහොයුරා විසින් නොකරන ලදය. සහෝදරිය විසින් නොකරන ලදය. මිත්රාමාත්යයන් විසින් නොකරන ලදය. සහලේ නෑයන් විසින් නොකරන ලදය. මහණ බමුණන් විසින් නොකරන ලදය. දෙවියන් විසින් නොකරන ලදය. භාග්යවත් බුදුවරයනට යම් “බුද්ධ” යන නාමයෙක් වේ නම් අරිහත් ඵලයාගේ අන්තයෙහි උපන් ඒ නාමය මහබෝමැඩ දී සර්වඥතා ඥානයාගේ ප්රතිලාභය සමග අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියකි.”
මෙහිදී ද යම්සේ ලෝකයෙහි අවබෝධයට යන තැනැත්තා අවබෝධයට ගිය තැනැත්තේ යැයි කියනු ලැබේද මෙසේ සත්යයන් අවබෝධ කළේනුයි “බුද්ධ” වේ. යම්සේ කොළ වියලවන වාතය “පණ්ණසුසා” යයි කියනු ලැබේ ද මෙසේ ප්රජාවට අවබෝධ කරවානුයි “බුද්ධ” වේ. “සබ්බඤ්ඤුසුතාය බුද්ධො” යනු සියලු ධර්මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත හෙයින් “බුද්ධ” යැයි කියන ලද්දේ වෙයි. “සබ්බදස්සාවිතාය බුද්ධො” යනු සියලු ධර්මයන් අවබෝධ කරවීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “අනඤ්ඤනෙය්යතාය බුද්ධො” යනු අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද්දේ තමාම අවබෝධ කරගත් හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “විසවිතාය බුද්ධො” යනු නොයෙක් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “ඛීණාසව සඞ්ඛාතෙන බුද්ධො” යනු මේ ආදී වූ සිත හැකිළීම කරන ධර්මයන්ගේ ප්රහාණයෙන් නිදි හැර පිබිදුණු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුණු බැවින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. “එකායන මග්ගං ගතොති බුද්ධො” යනු බුද්ධියෙන් ප්රයෝජන ඇත්තන්ගේ ගමනාර්ථ පර්ය්යායයෙන් යම්සේ මගට ගියේ නමුදු පුරුෂ තෙම ගියේ යයි කියනු ලැබේද? මෙසේ ඒකායන මාර්ගයෙහි ගිය බැවින් ද “බුද්ධ” යයි කියනු ලැබේයයි දැක්වීමට කියන ලදී. “එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති බුද්ධො” යනු අනුන් කරණ කොටගෙන බුදු වූ බැවින් ‘බුද්ධ’ වූයේ නොවේ. හුදෙක් තමාම අනුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් “බුද්ධ” වූයේ යයි කියන ලද්දේ වෙයි. “අබුද්ධි විහතත්තා බුද්ධි පටිලාභා බුද්ධො” යනු බුද්ධි, බුද්ධ, බෝධ යන මේ පද පර්ය්යාය වචනය. එහි යම්සේ නිල්, රතු ආදී වර්ණ යෙදීමෙන් නිල් වස්ත්රය, රතු වස්ත්රය යයි කියනු ලැබේ ද එසේම බුද්ධ ගුණයෙන් යුක්ත හෙයින් “බුද්ධ” යයි හැඟවීමට කියන ලද්දේ වෙයි. ඉන් අනතුරුව “බුද්ධ යන මෙය නාමයක් නොවේ” යනාදිය මේ බුද්ධ නාමය අර්ථානුගත ප්රඥප්තියකැයි අවබෝධ කරවීමට කියන ලද්දේය යනාදී වශයෙන් සියලු පදයන්ගේ බුද්ධ ශබ්දය සෑදීමට සමත් අර්ථය දත යුතුය.
මේ ඛ්යඤ්ජන වශයෙන් ‘බුද්ධ’ පිළිබඳ විස්තරයයි.
සරණගමනගමකවිභාවනා
දැන් සරණාගමනාදියෙහි හිංසා කෙරේනුයි ‘සරණ’ වේ. සරණ ගියවුන්ගේ ඒ සරණාගමනය කරණකොට ගෙන බිය, තැතිගැන්ම, දුක, දුගතිය, කරදර හිංසා කෙරේ, විනාශ කෙරේ, බැහැර කෙරේ, නිරුද්ධ කෙරේ යන අර්ථයයි. නැතහොත් හිත දෙයෙහි පැවැත්වීමෙන් ද අහිත දෙයින් වැළැක්වීමෙන් ද සත්ත්වයින්ගේ භය හිංසා කෙරේයි “බුද්ධ” වේ. බව කතරින් එතෙර කිරීමෙන් ද අස්වැසිලි දීමෙන් ද “ධම්ම” වේ. ස්වල්ප වශයෙන් කරන්නා වූ දීම් පිදීම් වශයෙන් එළවන සත්කාරයන්ට මහත්ඵල ලබාදීම කරන හෙයින් “සංඝ” වේ. එබැවින් මේ ක්රමයෙන් ද ඒ රත්නත්රය “සරණ” වේ. එහි ප්රසාදය ඇති කරන එයට ගරුකරන තැනැත්තේ වනාහී නසන ලද විනාශ කළ කෙලෙස් ඇත්තේ ඒ සරණ පිහිට කොට ගැනීම් ස්වභාව ඇත්තේ නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන සිත්හි පහළවීම සරණාගමනයයි. එයින් සමන්විත සත්ත්ව තෙම ඒ සරණ යයි. කියන ලද ආකාරයට සිත් උපදවා ගැනීමෙන් “මෙයම මට සරණය, මෙයම මට පිහිටයයි මෙසේ මේ රත්නත්රය වෙත එළඹෙයි” යන අර්ථයයි. එළඹෙන්නෝ ද “ස්වාමීනි, මේ අපි භාග්යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යමු. භාග්යවතුන් වහන්සේ අප උපාසකයන් ලෙස පිළිගන්නා සේක්වා”යි තපස්සු භල්ලිකාදීන් මෙන් සමාදන් වීමෙන් හෝ “ස්වාමීනි භාග්යවතුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම ශ්රාවකයා වෙමි”යි මහා කාශ්යපාදීන් මෙන් ශිෂ්යභාවයට පැමිණීමෙන් හෝ මෙසේ කී කල්හි බ්රහ්මායු බ්රාහ්මණ තෙම අසුනින් නැගිට උතුරු සළුව ඒකාංශ කොට භාග්යවතුන් වහන්සේ යම් තැනක ද එහි ඇඳිලිබැඳ නැමද තුන්වරක් “ඒ භාග්යවත් අර්හත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පෙ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා’යි උදන් ඇනීය” යනුවෙන් බ්රහ්මායු ආදීන් මෙන් ඒ තෙරුවන් වෙත නැඹුරුවීම් වශයෙන් හෝ කර්මස්ථාන වඩන්නන් මෙන් ආත්මය පවරාදීම් වශයෙන් හෝ ආර්ය්ය පුද්ගලයන් මෙන් සරණාගමන උපක්ලේශයන් සිඳීම් වශයෙන් හෝ මේ ආදි නොයෙක් ආකාරයෙන් විෂය වශයෙන් හෝ කෘත්ය වශයෙන් හෝ එළඹෙයි.
මේ සරණාගමනයේ ද එළඹෙන්නාගේ ද පැහැදිලි කිරීමයි.
භෙදාභෙදඵලදීපනා
දැන් “හෙදාභෙදං ඵලඤ්චාපි ගමනීයඤ්ච දීපයෙ” යයි කියන ලද භේද ආදියෙහි පැහැදිලි කිරීම මෙසේය. මෙසේ සරණ ගිය තැනැත්තාගේ සරණය බිඳීම සාවද්ය නිරවද්ය වශයෙන් දෙආකාර වේ. කාලක්රියා කිරීමෙන් නිරවද්ය සරණභේදය වේ. සාවද්ය සරණභේදය අන්ය ශාස්තෲවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන් ද ශාස්තෲවරයා දේශනා කළ ආකාරයට වෙනස්ව පැවැත්මෙන් ද වේ. මේ දෙආකාරයම පෘථග්ජනයන්ටම වේ. බුද්ධ ගුණයන්හි නොදැනීමෙන් ද සැක කිරීමෙන් ද මිථ්යා ඥානය නිසාද අනාදර ආදී පැවැත්මෙන් ද ඔවුන්ගේ සරණය කිළිටි වේ. ආර්ය්ය පුද්ගලයෝ වනාහි නොබිදුණු සරණ ඇත්තෝ ද නොකිළිටි සරණ ඇත්තෝ ද වෙති. යම්සේ “මහණෙනි යම් දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙක් අනෙක් ශාස්තෲවරයකු උදෙසා සිටියේය” යන ඒ කාරණය හේතුරහිතය. අවකාශ රහිතයයි වදාළේ එහෙයිනි. පෘථග්ජනයෝ ද යම්තාක් සරණ භේදයට නොපැමිණෙත් ද ඒතාක් නොබිඳුණු සරණ ඇත්තෝම වෙති. ඔවුන්ගේ සාවද්යා සරණ භේදය වනාහී කෙළෙස් සහිත ද අනිටු ඵල ගෙන දෙන්නේ ද වෙයි. නිරවද්ය සරණභේදය විපාක නොමැති බැවින් ඵල රහිතය. නොබිඳුණු සරණාගමනය ඵල වශයෙන් ඉෂ්ට ඵල දෙයි.