ගමනීයදීපනා
ගමනීය (සරණ යා යුතු ආකාරය) පැහැදිලි කිරීමේ දී චෝදක තෙමේ කීය - “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යමෙක් බුදුන් සරණ යයි ද හෙතෙම බුදුන් වෙත යන්නේ ද නැතහොත් සරණය වෙත යන්නේ ද, දෙආකාරයෙන් එකක ප්රකාශය අර්ථ විරහිතය. කුමක් හෙයින්ද යත්? ගමන ක්රියාවෙහි ද්විකර්මක බවක් නොමැති හෙයිනි. මෙහි “අජං ගාමං නෙති” ආදියෙහි මෙන් ද්විකර්මක බවක් අක්ෂර චින්තකයෝ (ව්යාකරණඥයෝ) කැමති නොවෙති.
“ගච්ඡතෙව පුබ්බං දිසං ගච්ඡති පච්ජිමං දිසං” යනාදියෙහි මෙන් මෙය අර්ථ සහිත නොවන්නේද? නොවේ. බුද්ධ සරණ යන පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් නොකරන හෙයිනි. මේ පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් කළ කල්හි බුදුන් වහන්සේ පිළිබඳ විරුද්ධ සිත් ඇති තැනැත්තේ ද බුදුන් වෙත එළඹෙන්නේ බුදුන් සරණ ගියේ වන්නේය. යමෙක් වනාහි “බුද්ධ” යයි විශේෂිත වූ සරණයක් වේද මෙතෙම එයම සරණ කොට ගියේය යනුයි. “එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං” යයි කී ආකාරයට සමානාධිකරණ භාවයක් ඇත්තේ වේද? නැත. එම ගාථා පාදයෙහි එම අර්ථය ඇති හෙයිනි. එම ගාථා පාදයෙහි “මේ බුද්ධාදි රත්නත්රය සරණ ගිය අයට භය දුරුකිරීම් සඞඛ්යාත සරණ භාවයන් (ඒකාන්ත) හෙයින් නිර්භය වූ උත්තම වූ සරණ වේ යයි යනුවෙන් මේ සමානාධිකරණ භාවය අදහස් කරන ලදී. අනෙක් තැන (සරණාගමනය) වනාහි ගමි සම්බන්ධය ඇති කල්හි සරණාගමනය වෙත පැමිණීම සිදු නොවන හෙයින් සමානාධිකරණය අදහස් නොකරන ලද්දේය. “එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති” යන මෙහි ගමි සම්බන්ධයෙහිලා සරණාගමනය සිද්ධ වන හෙයින් සමානාධිකරණ භාවය වන්නේ වේද? නැත. පෙර කියන ලද දෝෂයෙන් යුක්ත නිසාය. එහි වනාහි සමානාධිකරණ භාවය ඇති කල්හි මේ බුද්ධ ධම්ම සංඝ සරණයන් වෙත විරුද්ධ සිත් ඇති තැනැත්තා ද පැමිණ සියලු දුකින් මිදෙන්නේය යන මේ පෙර කියන ලද දෝෂයෙන් යුක්ත වීම වන්නේය. එම දෝෂයෙන් අපට ප්රයෝජනයක් නොමැති හෙයින් සමානාධිකරණ භාවය නොගන්නා ලදී.
යම්සේ ‘ආනන්දය, කල්යාණමිත්ර වූ මා වෙත පැමිණ ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්” (කෝසල සංයුත්ත) යන මෙහි කල්යාණ මිත්ර වූ භාග්යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් මිදෙන්නා වූ සත්ත්වයෝ කල්යාණ මිත්රයා වෙත එළඹ මිදෙත් යයි කියන ලද්දේ ද එසේම මෙහිද බුද්ධ ධම්ම සංඝ සරණානුභාවයෙන් මිදෙන්නේ “මේ සරණය වෙත එළඹ සියලු දුකින් මිදේය”යි කියන ලද්දේය යනුවෙන් මෙසේ මෙහි අදහස දත යුතුය.
“ගච්ඡාමි” (යමි) යි දක්වන ලද යන්නාගේ යා යුතු බව කැමති වන්නේ නමුදු මෙසේ සියලු ආකාරයෙන් බුදුන් වහන්සේ වෙත යා යුතු බව නොයෙදේ. සරණයා වෙත ද නොයෙදේ. දෙදෙනා වෙත ද නොයෙදේ. එහෙයින් මෙහි සාධාරණ බව කිව යුතුය. කියනු ලැබේ :-
බුදුන් වහන්සේ මෙහි යා යුතු වස්තු දැක්වීමය. ඒ ‘සරණ’ වචනය ගමනාකාරය දැක්වීම සඳහාය. “බුද්ධං සරණන්ති ගච්ඡාමි” බුදුන් වහන්සේ මට සරණයයි යෙමි, මුන් වහන්සේ මට සරණය, මුන් වහන්සේ මට පිහිටය, දුක නසන්නාය, යහපත ද සලසන්නාය, යන මේ අදහසින් උන්වහන්සේ වෙත යමි. භජනය කරමි. සේවනය කරමි, ඇසුරු කරමි යනුයි. නැතහොත් යම් ධාතුන්ගේ වනාහි ගමනාර්ථය වේද බුද්ධි අර්ථය ද එහි වන හෙයින් මෙසේ දැන ගනිමි. අවබෝධ කරගනිමි යනුයි. මෙහි “ඉති” ශබ්දය යෙදී ඇති හෙයින් ඉහත සඳහන් අර්ථය නුසුදුසු නොවේද? එබඳු නුසුදුසු බවක් එහි නොවන්නේය. ඉදින් මෙහි ඉහත කී අර්ථය වන්නේ ද එහෙයින් “අනිච්චං රූපං අනිච්චං රූපන්ති යථාභූතං පජානාති (රූපය අනිත්යය, රූපය අනිත්යයයි ඇති සැටියෙන් දැනගනී) යන ආදී තන්හි මෙන් “ඉති” ශබ්දය යෙදිය යුතු වන්නේය. යෙදී නැත. එහෙයින් ඒ කියන ලද ප්රකාශය නුසුදුසු නේද? එසේ නොවේ. කුමක් හෙයින්ද යත්? එම අර්ථය ලැබෙන හෙයිනි.
“යොච බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො” යන මේ ආදී තන්හි මෙන් මෙහි ද “ඉති” ශබ්දයාගේ අර්ථය ලැබේ. විද්යමාන අර්ථය ඇති බැවින් සියලු තන්හි “ඉති” ශබ්දය නොයොදති. (‘ඉති’ ශබ්දය) නොයොදන ලද මෙහි යෙදූ තැනක මෙන් “ඉති” ශබ්දයාගේ අර්ථය දත යුතුය. මෙබඳු අන් තැන්හි ද මෙසේමය. එහෙයින් එය දොස් රහිතමය. “අනුජානාමි භික්ඛවෙ තීහි සරණාගමනෙහි පබ්බජ්ජං” (මහණෙනි මේ ත්රිවිධ වූ සරණ ගමනින් පැවිද්ද අනුදනිමි) යනාදී තන්හි සරණය ගමනීයාර්ථයෙන් යමක් දේශනා කරන ලද්දේ ද “සරණ යන වචනය ගමනාකාරය දැක්වීම සඳහාය” යන ප්රකාශය එවිට නුසුදුසු නොවේද? නොවේ. සුදුසු හෙයිනි. කුමක් හෙයින්ද යත්? එම අර්ථය ලැබෙන හෙයිනි. එහිද වනාහි එම පදයාගේ අර්ථය ලැබේ. පෙර පරිදිම (“ඉති” ශබ්දය) යොදා නැතත් යෙදු තැනක මෙන් (අර්ථය) දත යුතුය. එසේ නොමැති කල්හි පෙර කියන ලද දෝෂය හා යෙදීම සිදු වේ. එහෙයින් දක්වන ලද අයුරින්ම අර්ථය ගත යුතුය.
මේ ගමනීය දීපනාවයි.
ධම්මසඞ්ඝසරණවිභාවනා
දැන් “ධම්මං සරණමිච්චාදි ද්වයෙපස නයොමතො” යයි යමක් කියන ලද්දේ ද එය මෙහි කියනු ලැබේ. “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යම් මේ අර්ථ වර්ණනා න්යායක් කියන ලද්දේ ද “ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යන මේ යෙදුම් දෙකෙහි ද ඒ අර්ථයම දත යුතුය. එහි වනාහී ධම්ම, සංඝ, යන පදයන්ගේ අර්ථ වශයෙන් ද ඛ්යාඤ්ජන වශයෙන් ද පැහැදිලි කිරීම් මාත්රයම අසමාන වේ. සෙස්ස කියන ලද පරිදිමය. යම් හෙයකින් ඉදින් මෙහි යමක් අසමාන වේද එය කියනු ලැබේ. සමහරු “මාර්ගඵල නිර්වාණයෝ ධම්ම වෙති” යි කියති. වඩන ලද මාර්ග ඇති පුද්ගලයන්ට ප්රත්යක්ෂ කළ නිර්වාණය ඇති පුද්ගලයන් ද අපායයන්හි නොවැටීම් වශයෙන් දරන හෙයින් ද පරම අස්වැසිල්ල ගෙන දෙන හෙයින් ද රාගයෙන් තොර (ආර්ය්ය අෂ්ටාංගික) මාර්ගයම මෙම අර්ථයෙහි “ධම්ම” වන බව අපගේ හැඟීමයි. අග්ගප්පසාද සූත්රය මෙහිදී සාධක වේ. එහිදී මෙය වදාරන ලදී. මහණෙනි, යම්තාක් ධර්මයෝ සංඛත වෙත්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔවුන්ට අග්ර වේ” යන මේ ආදියයි.