ධම්මසඞ්ඝසරණවිභාවනා
දැන් “ධම්මං සරණමිච්චාදි ද්වයෙපස නයොමතො” යයි යමක් කියන ලද්දේ ද එය මෙහි කියනු ලැබේ. “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යම් මේ අර්‍ථ වර්‍ණනා න්‍යායක් කියන ලද්දේ ද “ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යන මේ යෙදුම් දෙකෙහි ද ඒ අර්‍ථයම දත යුතුය. එහි වනාහී ධම්ම, සංඝ, යන පදයන්ගේ අර්‍ථ වශයෙන් ද ඛ්‍යාඤ්ජන වශයෙන් ද පැහැදිලි කිරීම් මාත්‍රයම අසමාන වේ. සෙස්ස කියන ලද පරිදිමය. යම් හෙයකින් ඉදින් මෙහි යමක් අසමාන වේද එය කියනු ලැබේ. සමහරු “මාර්‍ගඵල නිර්‍වාණයෝ ධම්ම වෙති” යි කියති. වඩන ලද මාර්‍ග ඇති පුද්ගලයන්ට ප්‍රත්‍යක්‍ෂ කළ නිර්‍වාණය ඇති පුද්ගලයන් ද අපායයන්හි නොවැටීම් වශයෙන් දරන හෙයින් ද පරම අස්වැසිල්ල ගෙන දෙන හෙයින් ද රාගයෙන් තොර (ආර්‍ය්‍ය අෂ්ටාංගික) මාර්‍ගයම මෙම අර්‍ථයෙහි “ධම්ම” වන බව අපගේ හැඟීමයි. අග්ගප්පසාද සූත්‍රය මෙහිදී සාධක වේ. එහිදී මෙය වදාරන ලදී. මහණෙනි, යම්තාක් ධර්‍මයෝ සංඛත වෙත්ද ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය ඔවුන්ට අග්‍ර වේ” යන මේ ආදියයි.
චතුර්විධ ආර්‍ය මාර්‍ගයෙන් යුක්ත වූ චතුර්විධ සාමඤ්ඤඵලයන්හි මැනවින් වැස්වූ ස්කන්ධ සමූහය ඇති පුද්ගලයන්ගේ සමූහය දෘෂ්ටිශීල සමූහයෙන් (ඔවුනොවුන්) සම්බන්ධ වූ හෙයින් ‘සංඝ’ නම් වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී -
“ආනන්දය, නුඹ කුමක් සිතන්නෙහිද? මා විසින් නුඹට යම් ධර්‍ම කෙනෙක් මැනවින් දැන දේශනා කරන ලද්දාහුද ඒ කවරේද යත්, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්චබල, සප්ත බෝධ්‍යඞග, ආර්ය අෂ්ටාඞගික මාර්‍ගයයි. ආනන්දය, මේ ධර්‍මයන්හි භික්ෂූන් දෙදෙනෙක්වත් නානාවාදීව සිටිනු නුඹ දක්නෙහිද? යනුයි.
මේ පරමාර්ථ සංඝයා (මා) සරණයයි යා යුතුය. සූත්‍රයන්හි ද (මේ ශ්‍රාවක සංඝයා) ආහුණෙය්‍යය (දුරිනුදු ගෙනහැර දිය යුතු ප්‍රත්‍යයට සුදුසුය) පාහුණෙය්‍යය (ආගන්තුක භෝජනය පවා පිළිගැන්වීමට සුදුසුය) දක්බිණෙය්‍යය (පරලොව සුව පතා දෙන දක්‍ෂිණාවට සුදුසුය) අඤ්ජලිකරණීය (නමස්කාරයට සුදුසුය) ලෝකයාගේ උතුම් වූ පින් කෙතකි” යි (ඉතිවුත්තකපාලි) වදාරන ලදී. අන්‍ය වූ භික්ෂු සංඝයා කෙරෙහි හෝ භික්ෂුණී සංඝයා කෙරෙහි හෝ බුද්ධ ප්‍රමුඛ සංඝයා කෙරෙහි හෝ සම්මුති සංඝයා කෙරෙහි හෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ චතුර්වර්‍ග ආදී ප්‍රභේදයන්ට අයත් පුද්ගලයන් කෙරෙහි හෝ වන්දනා කිරීම් ආදි ක්‍රියාවන්ගෙන් මේ සංඝයා සරණ ගිය තැනැත්තාගේ සරණාගමනය නොබිඳෙන්නේමය. කිළිටි නොවන්නේය. මෙය මෙහි විශේෂයයි. මේ දෙවෙනි සරණාගමනයාගේ කියන ලද විස්තරයේ ඉතිරිය ද භේදා භේදා දී නියමයන් ද පෙර කියන ලද ක්‍රමයටම දත යුතුය. මේ පළමුකොට “ධම්මං සරණමිච්චාදි ද්වයෙ පෙසනයො මතො” යන මෙහි වර්‍ණනාවයි.
අනුපුබ්බවවත්ථානකාරණනිද්දෙසො
දැන් “අනුපුබ්බවවත්‍ථානෙ කාරණඤ්ච විනිද්දිසෙ” යන මෙහි මේ සරණ වචනයන් තුන අතුරෙන් සියලු සත්ත්වයන්ට අග්‍ර යයි සලකා පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින් ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හෙයින් ද අනතුරුව ධර්‍මය වේ. ඒ ධර්‍මයට ආධාරක වන හෙයින් ද ඒ ධර්‍මය ඇසුරු කරන හෙයින්ද අවසානයට සංඝයා වේ. නැතහොත් සියලු සත්ත්වයන් යහපතෙහි යොදවන්නා බැවින් පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින්ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හෙයින්ද අනතුරුව ධර්‍මය වේ. ඒ ධර්‍මයට ආධාරක වන හෙයින්ද ඒ ධර්‍මය ඇසුරු කරන හෙයින්ද අවසානයට සංඝයා වේ. නැතහොත් සියලු සත්ත්වයන් යහපතෙහි යොදවන්නා බැවින් පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින් සියලු සත්ත්වයන්ට හිත බැවින් අනතුරුව ධර්‍මයයි. යහපත අවබෝධ කරගැනීම සඳහා පිළිපන් බැවින්ද අවබෝධ කරගත් යහපත ඇති බැවින්ද අවසානයට සංඝයා වේ. මෙසේ සරණභාවයෙන් වෙන්කොට ප්‍රකාශ කරන ලද්දේ යයි මෙසේ අනුපිළිවෙළ නියම කිරීමෙහි හේතුව ද දක්වන ලදී.
උපමාපකාසනා
දැන් “සරණත්තය මෙතඤ්ච උපමාහි පකාසයෙ” යයි යමක් කියන ලද්දේ එයද කියනු ලැබේ. මෙහි වනාහි බුදුන් වහන්සේ පුන්සඳ වැනිය. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍මය සඳ රැස් සමූහය වැනිය. සංඝයා පුන්සඳ කිරණින් උපදවන ලද ප්‍රීතිය ඇති ලෝකයා වැනිය. බුදුන් වහන්සේ ළාහිරු වැනිය. කියන ලද ආකාර ඇති ධර්‍මය ඒ ළාහිරුගේ රශ්මි ජාලාව වැනිය. සංඝයා ඒ රශ්මි ජාලාවෙන් පහවූ අන්ධකාරය ඇති ලෝකය වැනිය. බුදුන් වහන්සේ වනය දවන පුරුෂයෙක් වැනිය. කෙලෙස් වනය දවන ධර්‍මය වනය දවන ගින්න වැනිය. දැවූ කෙලෙස් ඇති බැවින් පින් කෙතක් වූ සංඝයා දැවූ වනය ඇති බැවින් කෙතක් වූ භූමිභාගය වැනිය. බුදුන් වහන්සේ මහා මේඝයක් වැනිය. ධර්‍මය වැසි ජලය වැනිය. සන්සිඳුණු කෙලෙස් දූලි ඇති සංඝයා වැසි වැටීමෙන් සන්සිදුණු දූලි ඇති ජනපදය වැනිය. බුදුන් වහන්සේ යහපත් රියදුරෙක් වැනිය. ධර්‍මය ආජානේය අශ්වයන් හික්මවන උපාය වැනිය. සංඝයා මැනවින් හික්මුණු අජානේය අශ්ව සමූහයක් වැනිය. බුදුන් වහන්සේ සියලු මිසදිටු උල් උදුරන හෙයින් ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්‍මය උල් උදුරන උපාය වැනිය. ඉදිරූ මිසදිටු උල් ඇති සංඝයා උදුරන ලද උල් ඇති ජනයා වැනිය. නැතහොත් මෝහ පටලය උපුටා දමන හෙයින් බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්‍මය පටලය උපුටා දමන උපාය වැනිය. උපුටා දැමූ මෝහ පටල ඇති, ප්‍රසන්න නුවණැස ඇති සංඝයා උපුටා දැමූ පටල ඇති ප්‍රසන්න ඇස් ඇති ජනයා වැනිය. නැතහොත් බුදුන් වහන්සේ අනුසය සහිත කෙලෙස් රෝග දුරු කිරීමට සමත් දක්‍ෂ වෛද්‍යවරයෙකු වැනිය. ධර්‍මය මැනවින් යෙදු බෙහෙතක් වැනිය. සන්සිඳුණු අනුසය ව්‍යාධි ඇති සංඝයා බෙහෙත් යෙදීමෙන් සන්සිදුණු රෝග ඇති ජනයා වැනිය.