භෙදාභෙදඵලදීපනා
දැන් “හෙදාභෙදං ඵලඤ්චාපි ගමනීයඤ්ච දීපයෙ” යයි කියන ලද භේද ආදියෙහි පැහැදිලි කිරීම මෙසේය. මෙසේ සරණ ගිය තැනැත්තාගේ සරණය බිඳීම සාවද්‍ය නිරවද්‍ය වශයෙන් දෙආකාර වේ. කාලක්‍රියා කිරීමෙන් නිරවද්‍ය සරණභේදය වේ. සාවද්‍ය සරණභේදය අන්‍ය ශාස්තෲවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන් ද ශාස්තෲවරයා දේශනා කළ ආකාරයට වෙනස්ව පැවැත්මෙන් ද වේ. මේ දෙආකාරයම පෘථග්ජනයන්ටම වේ. බුද්ධ ගුණයන්හි නොදැනීමෙන් ද සැක කිරීමෙන් ද මිථ්‍යා ඥානය නිසාද අනාදර ආදී පැවැත්මෙන් ද ඔවුන්ගේ සරණය කිළිටි වේ. ආර්‍ය්‍ය පුද්ගලයෝ වනාහි නොබිදුණු සරණ ඇත්තෝ ද නොකිළිටි සරණ ඇත්තෝ ද වෙති. යම්සේ “මහණෙනි යම් දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙක් අනෙක් ශාස්තෲවරයකු උදෙසා සිටියේය” යන ඒ කාරණය හේතුරහිතය. අවකාශ රහිතයයි වදාළේ එහෙයිනි. පෘථග්ජනයෝ ද යම්තාක් සරණ භේදයට නොපැමිණෙත් ද ඒතාක් නොබිඳුණු සරණ ඇත්තෝම වෙති. ඔවුන්ගේ සාවද්‍යා සරණ භේදය වනාහී කෙළෙස් සහිත ද අනිටු ඵල ගෙන දෙන්නේ ද වෙයි. නිරවද්‍ය සරණභේදය විපාක නොමැති බැවින් ඵල රහිතය. නොබිඳුණු සරණාගමනය ඵල වශයෙන් ඉෂ්ට ඵල දෙයි.
යම්සේ වදාළේද :
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නොයන්නාහ. මිනිස් කය අතහැර දේවකාය පුරවන්නාහ.” (සංයුත්ත නිකාය) යනුයි.
එහිදී ද යමෙක් සරණාගමන උපක්ලේශයන් සිඳීමෙන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. සෙස්සෝ වනාහී සරණාගමනයෙන් යුක්ත වුවත් වෙනත් අකුශල කර්‍මයකින් යන්නාහු යයි මෙසේ ගාථාවෙහි අදහස දත යුතුය.
මේ පළමුකොට භේදාභේද ඵල විස්තරයයි.
ගමනීයදීපනා
ගමනීය (සරණ යා යුතු ආකාරය) පැහැදිලි කිරීමේ දී චෝදක තෙමේ කීය - “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යමෙක් බුදුන් සරණ යයි ද හෙතෙම බුදුන් වෙත යන්නේ ද නැතහොත් සරණය වෙත යන්නේ ද, දෙආකාරයෙන් එකක ප්‍රකාශය අර්‍ථ විරහිතය. කුමක් හෙයින්ද යත්? ගමන ක්‍රියාවෙහි ද්විකර්මක බවක් නොමැති හෙයිනි. මෙහි “අජං ගාමං නෙති” ආදියෙහි මෙන් ද්විකර්‍මක බවක් අක්‍ෂර චින්තකයෝ (ව්‍යාකරණඥයෝ) කැමති නොවෙති.
“ගච්ඡතෙව පුබ්බං දිසං ගච්ඡති පච්ජිමං දිසං” යනාදියෙහි මෙන් මෙය අර්‍ථ සහිත නොවන්නේද? නොවේ. බුද්ධ සරණ යන පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් නොකරන හෙයිනි. මේ පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් කළ කල්හි බුදුන් වහන්සේ පිළිබඳ විරුද්ධ සිත් ඇති තැනැත්තේ ද බුදුන් වෙත එළඹෙන්නේ බුදුන් සරණ ගියේ වන්නේය. යමෙක් වනාහි “බුද්ධ” යයි විශේෂිත වූ සරණයක් වේද මෙතෙම එයම සරණ කොට ගියේය යනුයි. “එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං” යයි කී ආකාරයට සමානාධිකරණ භාවයක් ඇත්තේ වේද? නැත. එම ගාථා පාදයෙහි එම අර්‍ථය ඇති හෙයිනි. එම ගාථා පාදයෙහි “මේ බුද්ධාදි රත්නත්‍රය සරණ ගිය අයට භය දුරුකිරීම් සඞඛ්‍යාත සරණ භාවයන් (ඒකාන්ත) හෙයින් නිර්භය වූ උත්තම වූ සරණ වේ යයි යනුවෙන් මේ සමානාධිකරණ භාවය අදහස් කරන ලදී. අනෙක් තැන (සරණාගමනය) වනාහි ගමි සම්බන්ධය ඇති කල්හි සරණාගමනය වෙත පැමිණීම සිදු නොවන හෙයින් සමානාධිකරණය අදහස් නොකරන ලද්දේය. “එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති” යන මෙහි ගමි සම්බන්ධයෙහිලා සරණාගමනය සිද්ධ වන හෙයින් සමානාධිකරණ භාවය වන්නේ වේද? නැත. පෙර කියන ලද දෝෂයෙන් යුක්ත නිසාය. එහි වනාහි සමානාධිකරණ භාවය ඇති කල්හි මේ බුද්ධ ධම්ම සංඝ සරණයන් වෙත විරුද්ධ සිත් ඇති තැනැත්තා ද පැමිණ සියලු දුකින් මිදෙන්නේය යන මේ පෙර කියන ලද දෝෂයෙන් යුක්ත වීම වන්නේය. එම දෝෂයෙන් අපට ප්‍රයෝජනයක් නොමැති හෙයින් සමානාධිකරණ භාවය නොගන්නා ලදී.
යම්සේ ‘ආනන්දය, කල්‍යාණමිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්” (කෝසල සංයුත්ත) යන මෙහි කල්‍යාණ මිත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් මිදෙන්නා වූ සත්ත්වයෝ කල්‍යාණ මිත්‍රයා වෙත එළඹ මිදෙත් යයි කියන ලද්දේ ද එසේම මෙහිද බුද්ධ ධම්ම සංඝ සරණානුභාවයෙන් මිදෙන්නේ “මේ සරණය වෙත එළඹ සියලු දුකින් මිදේය”යි කියන ලද්දේය යනුවෙන් මෙසේ මෙහි අදහස දත යුතුය.