9. ජාගර ජාතකය (414)
‘කෝධ ජාගරතං සුත්තො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කිසියම් උපාසකයකු අරබයා වදාළ සේක. ඔහු වනාහි සෝවාන් වූ ආර්ය ශ්රාවකයෙකි. කිසියම් දිනෙක ගැල් සාත්තුවත් සමග, වෙනත් ගමනක් යනු පිණිස සැවතින් පිටත් වූ, ඒ උපාසකතුමා කාන්තාර මාර්ගයකට පිවිසුණේය. එහි ජල පහසුව ඇති කිසියම් තැනක ගැල් කණ්ඩායම නැවතුණි. පන්සියයක් ගැල්වලින් ගොනුන් මුදාහළ ගැල්කරුවෝ කෑම-බීම ආදී භෝජන සකසමින් එහි නවාතැන් ගත්හ. රෑට කෑම කෑ ඒ මිනිස්සු ඒ ඒ තැන්වල වැදහෙව නිදාගත්හ. උපාසකයා ගැල් සමූහයට නුදුරෙන් කිසියම් ගසක් මුල සක්මන් කරමින් කාලය ගත කෙළේය. මේ අතර කිසියම් සොර මුලක් ගැල් සමූහය වටකොට ගෙන, සැඟව සිටියහ. පන්සියයක් වූ මේ සොරු කණ්ඩායම උපාසකයා සක්මන් කරනු දැක, ‘මොහු නින්දට ගියකල්හි ගැල් සමූහය කොල්ල කන්නෙමු’යි, කතිකා කොටගෙන බලා සිටියහ. උපාසකයා ද රාත්රියෙහි තුන්යම මුළුල්ලෙහි සක්මන් කෙළේමය. සොරු අලුයම් සමය වනතෙක් බලාසිට, තම-තමන් විසින් ගත්-ගත් ගල්ගෙඩි, මුගුරු ආදිය ඉවත දමා, ගැල්කරුවන්ට කථාකොට, ‘පින්වත් ගැල්කරුවෙනි, නුඹලා අප්රමාදීව කටයුතු කරන, ආරක්ෂාවෙහි නිරත වූ මේ පුරුෂයා නිසා දිවි ලැබුවාහුය. වස්තුවට ද හිමිකම් කීමට තවදුරටත් අවස්ථාව සලසා ගත්තාහුය. එබැවින් මොහුට සත්කාර කරවු යැ’යි කියා යන්නට ගියහ. මිනිස්සු මෙයින් කලබලයට පත්ව, කලින් ම නැගිට, අවට ඇවිද පරීක්ෂාකොට බලා, සොරුන් විසින් දමා යන ලද ගල්, මුගුරු ආදිය දැක, මේ උපාසකයා නිසා අපේ ජීවිත බේරුණේ යැ’යි සිතා, උපාසකයාට මහත් වූ සත්කාර කළහ. උපාසකයාද තමා යන්නට ආ ගමන ගොස්, කරගත යුතු කටයුතු ද ඉටුකොට ගෙන, පෙරළා සැවතට අවුත් දෙව්රම් වෙහෙරට ගියේය. එහිදී බුදුරදුන්ට නමස්කාර කොට පූජා පැවැත්වූ ඔහු, එකත්පසෙක හිඳ ගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘උපාසකය, ඔබ පසුගිය දිනවල පෙනෙන්නට නො සිටියෙහි යැ’යි වදාළහ. එවිට උපාසකයා තමාගේ ගමන ගැනත්, ගමනේ දී සිදු වූ සියල්ලත් බුදුරදුන් හමුවෙහි විස්තර කෙළේය. ‘උපාසකය, මෙසේ නොනිදා රැකවල්හි යෙදී අනුන්ගේ සත්කාරයට පාත්ර වූයේ ඔබ පමණක් නොවේ. පෙර විසූ පඬිවරු ද එසේ තමා රැකීමෙන් අනුන් ද රැක, විශේෂ වූ ප්රතිලාභ ඔවුන්ගෙන් ලැබූහ’යි වදාරා උපාසකයාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසිවියට පත්ව තක්ෂිලාවට ගොස්, එහි දී සියලු ශිල්ප උගෙන, පෙරළා සියරට පැමිණ මඳ කලක් ගිහිගෙයි වැස, පසුකලෙක එයින් ද නික්ම, සෘෂි පැවිද්දෙන් පැවිදිව නොබෝ කලෙකින්ම ධ්යාන හා අභිඥා උපදවාගෙන, හිමාල පෙදෙසෙහි කිසියම් ස්ථානයක සක්මන් මලුවක් සකසාගෙන, සක්මන් ඉරියව්වෙන් ම භාවනා කරමින් නින්දට නොගොසින් මුළු රැයම පහන් කෙළේය. මේ අතර ඔහුගේ සක්මන කෙළවරෙහි කිසියම් ගසෙක ජීවත් වූ දෙවඟනක් තවුසා කෙරෙහි සතුටට පත්ව, ගසේ අතු අතර සිට, තවුසාගෙන් ප්රශ්න විචාරමින් මෙසේ කීවාය.
කොධ ජාගරතං සුත්තො - කොධ සුත්තෙසු ජාගරෙ,
කෙ මමෙතං විජානාති - කො තං පටිභණාති මෙ
කෙ මමෙතං විජානාති - කො තං පටිභණාති මෙ
මෙලොව නිදිවරන්නන් අතුරෙන් කවරෙක් නිදා ද? මෙලොව නිදන්නන් අතුරෙන් කවරෙක් නිදිවරාද? කවරෙක් මගේ මේ ප්රශ්නය තේරුම් ගනීද? කවරෙක් එය මට පැහැදිලි කොට දේ ද?
මෙහි ‘කෝධ’ යනු ‘මෙලොව කවරෙක්’, යන අර්ථයි. ‘කෝමමේතං’ යනු ‘කවරෙක් මගේ මේ ප්රශ්නය තේරුම් ගනී ද?’ යන අර්ථයි. ‘කෝ තං පටිභණාති මෙ’ යනු ‘මා විසින් අසන ලද, ඒ මේ ප්රශ්නයට, මට කවරෙක් උත්තර දේද? කවරෙක් එය මට පැහැදිලි කරන්නට සමත් වේදැ’යි විචාරයි’
බෝසත් තවුසා ඇයගේ ප්රශ්නය අසා, මෙසේ ඊට පිළිතුරු දුන්නේය.
2. මම නිදි වරන්නන් අතුරෙන් නිදන්නා වෙමි. මම නිදනවුන් අතුරෙන් නිදිවරන්නා වෙමි. මේ කාරණය මම දනිමි. මම එය ඔබට පැහැදිලි කරමි.
මේ අසා සිටි දෙවඟන නැවත තවුසාගෙන්, මෙසේ ප්රශ්න කළාය.
3. කෙසේ නිදි වරනවුන් අතුරෙන් නිදන්නා වේද? කෙසේ නිදන්නන් අතුරෙන් නිදි වරන්නා වේද? කෙසේ මේ කරුණ තේරුම් ගන්නෙහිද? කෙසේ එය මට පැහැදිලි කරන්නෙහිද?
ඇගේ ඒ ප්රශ්නයට අරුත් පැහැදිලි කරමින්, තවුසා මෙසේ පැවසීය.
4. දෙවඟන, යම් කෙනෙක් ‘සංයමය’ කියාත්. (ඉන්ද්රිය) ‘දමනය’ කියාත්, ධර්මය නො දනිත්ද? ඒ (කෙලෙස් නින්දෙන්) නිදන්නවුන් අතුරෙන් මම ආරක්ෂා වන්නෙක් වෙමි.
5. දේවතාවිය, යම් කෙනෙකුන්ගේ රාගය, ද්වේෂය, අවිද්යාව ප්රහීණද, ඒ නිදිවරන්නන් අතුරෙන් මම නිදන්නෙක් වෙමි.
6. මෙසේ නිදිවරන්නන් අතුරෙන් නිදන්නෙක් වෙමි. මෙසේ නිදනවුන් අතුරෙන් නිදිවරන්නෙක් වෙමි. මෙසේ මේ කාරණය තේරුම් ගනිමි. මෙසේ එය ඔබට ප්රකාශ කරමි.
මෙහි ‘කථං ජාගරතං සුත්තො’ යනු ‘ඔබ, කෙසේ නිදිවරන සත්ත්වයන් අතුරෙන් නිදන්නා නම් වෙහිද? යන අර්ථයි. සෙසු තන්හිද මේ ක්රමය යි. ‘යෙ ධම්මං’ යනු ‘යම් සත්ත්ව කෙනෙක් නවවිධ ලෝකෝත්තර ධර්මයන් නො දනිත්ද?’ යන අර්ථයි. ‘සඤ්ඤමෝති දමොති ච’ යනු ‘මොහු සංයම පුද්ගලයෙකි. මොහු ඉන්ද්රිය දමනය කළ තැනැත්තෙකි’යි මෙසේ යම් කෙනෙක්, ‘මාර්ගයෙන් පැමිණි ශීලයත්, ඉන්ද්රිය සංවරයත් නො දනිත්ද? ඉන්ද්රිය සංවර පුද්ගලයා වනාහි, මනස සහිත ඉන්ද්රිය සය දමනය කිරීම් වශයෙන් ‘දම’ යැයි කියනු ලැබේ’ යන අර්ථයි. ‘තේසු සුප්පමානෙසු’ යනු ‘ක්ලේශ නිද්රා වශයෙන් නිදිගත් ඔවුන් අතුරෙන්, මම අප්රමාදී වශයෙන් රැකෙමි’ යන අර්ථයි.
‘යෙසං රාගො ච’ යන ගාථාවෙන් යම්බඳු මහරහතන් වහන්සේ නමකගේ පද සියයෙන් නිර්දේශ කරන ලද තණ්හා-ලෝභ සංඛ්යාත වූ කෙලෙස් එක්දහස් පන්සියයක් වූ රාගය ද, නව ආඝාත වස්තුවෙන් හටගත් ද්වේෂය ද, දුක්ඛාදී වූ වස්තු අට නොදැනීමෙන් හටගත් අවිද්යාව ද යන මේ කෙලෙස් බැහැර කරන ලද, ප්රහීණ කරන ලද, සියලු ආකාරයෙන් නිදිවර්ජිත වූ, ඒ ආර්යයන් අතුරෙන් ඊට සාපේක්ෂව, මම නිදන්නෙක් වෙමි’ යන අර්ථයි. ‘ඒවං ජාගරතං’ යනු ‘දේවතාවිය, මම මේ කරුණින් නිදි වරන්නන් අතුරෙන් නිදන්නා වෙමි’ යන අර්ථයි. සියලු පදයන්හි විස්තර කිරීමේ ක්රමය මෙය ම වේ.