2. ගන්‍ධාර වර්‍ගය
1. ගන්‍ධාර ජාතකය (406)
‘හිත්‍වා ගාමසහස්සානි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ‘භෙසජ්ජසන්නිධිකාර’ ශික්‍ෂාපදය නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව රජගහ නුවරදී සිදු වූවකි. ඒ අනුව ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ තෙරුන් වහන්සේගේ ආරාමය සකස් කරගැනීම සඳහා, අත් උදව් දුන් පවුල් අතරින්, කිසියම් පවුලක් රජු විසින් අත්අඩංගුවට ගත් කල්හි, ඒ දායක පවුල රජුගෙන් මුදාගැනීම සඳහා, පිලින්‍දිවච්ඡ තෙරුන් වහන්සේ රජමැදුරට වැඩි සේක. එහිදී රජතුමා සමග සංවාදයක යෙදුණු තෙරුන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන්, මුළු මාලිගාව ම ස්වර්ණමය මන්දිරයක් බවට පත් කළහ. මේ සිද්ධිය මුළු නුවර පුරා පැතිර ගියේය. මෙයින් පසු මිනිසුන්ගේ සිත් තුළ, පිලින්‍දිවච්ඡ තෙරුන් ගැන අතිශය ප්‍රසාදයක් ඇති විය. එසේ පැහැදුණු මිනිස්සු, තෙරුන් වහන්සේට පඤ්චභෙසජ්ජ (ගිතෙල්-වෙඬරු-තලතෙල්-මීපැණි-සකුරු) රැගෙන ගොස් පිදූහ. උන්වහන්සේ ඒ පස් බෙහෙත් සෙසු භික්‍ෂූන් අතර බෙදාහැරි සේක. මෙසේ නිතර නිතර එකී පස් බෙහෙත්, විහාරස්ථානයට නොකඩවා ලැබෙන්නට විය. තෙරණුවෝ ද ඒවා බෙදා හරිති. මෙසේ එම වෙහෙර භික්‍ෂූහු එම පිරිකරවලින් බහුලත්වයට පත් වූහ. ලැබෙන ලැබෙන ගිතෙල් ආදී ද්‍රව්‍ය, විශාල සැලිවල ද, කළවල ද, පාත්‍රා කවරවලද, පුරව පුරවා ඒ ඒ තන්හි තැන්පත් කරති. මේ අතර පන්සලට පැමිණෙන මිනිස්සු, ඉහත කී පස් බෙහෙත් සමූහය දැක, ‘මෙහි වෙසෙන භික්‍ෂූහු බොහෝ අපේක්‍ෂා ඇත්තෝය. ඇතුළත කොටු පුරවා, ඒවා රකින්නෝ යැ’යි භික්‍ෂූන්ට දොස් නැගූහ. කෙසේ හෝ මේ පුවත බුදුරදුන්ට ආරංචි විය. අනතුරුව බුදුරජාණන් වහන්සේ ‘යානි ඛො පන තානි ගිලානානං භික්ඛුනං පටිසායනීයානි භෙසජ්ජා නි’ (වි.පි. මහාවග්ගපාලි, භෙසජ්ජක ඛන්‍ධකය) යන ශික්‍ෂාපදය පනවා, ‘මහණෙනි, පෙර අබුද්ධෝත්පාද කාලයෙහි බාහිර පැවිද්දෙන් පැවිදි වූ (තවුස් පැවිදි ආදී වූ කිසියම් පැවිද්දකින් ශ්‍රමණ භාවයට පත්වූ (පඬිවරු පවා, පන්සිල් පමණක් රකිමින් වුව ද, ලුණු කැටයක් පමණවත් පසුදිනට ගැනීම සඳහා සඟවා තබා ගන්නා අයට, ගර්හා කළහ’යි වදාරා, ‘මෙබඳු වූ නෛර්යානික (නිවනට පමුණුවන) ශාසනයෙහි පැවිදි වූ තොප දින දෙක තුනක් සඳහාන මෙසේ බඩු රැස් කිරීමෙන්, අයුත්තක් ම කරන්නහු යැ’යි දේශනා කොට, ඊට අනුගත ව මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර ‘ගන්‍ධාර’ රටේ ගන්ධාර රජතුමා රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, ඒ රජුට පුත් ව උපන්නේය. පියාගේ ඇවෑමෙන් රජකමට පැමිණි එතුමා, දැහැමින් රාජ්‍යය කරවීය. මේ අතර මධ්‍යම දේශයෙහි ‘විදේහ’ රටේ, විදේහ රජතුමා මනා වූ පාලකයෙක් ව, රාජ්‍යය විචාළේය. මේ රජවරු දෙපලම නොදුටු මිතුරෝ වූහ. ඔවුනොවුන් කෙරෙහි ස්ථිර විශ්වාසයෙන් දෙදෙනා ම කටයුතු කළහ. මෙකල මනුෂ්‍යයෝ ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෝ වූහ. එකල ඔවුන්ගේ පරමායුෂ වසර තිස්දහසකි. කිසියම් දිනෙක බෝසත් ගන්ධාර රජතුමා, පසළොස්වක් පොහොය උදා වූ බැවින්, සිල් සමාදන් ව උඩුමහල් තලයෙහි පනවන ලද උතුම් පළඟක වාඩි වී, විවර කළ සීමැදුරු කවුළුවෙන් පෙරදිග ලෝකය දිහා බලාගෙන ඇමතියන්ට අර්ථ-ධර්ම දෙකින් යුතු දේශනාවක් පවත්වමින් හුන්නේය. එකෙණෙහි ගගන තලයට පැන නැගී තිබුණු, පිරිපුන් සඳමඬල රාහු ගිල ගත්තේය. සඳකිරණ අතුරුදන් විය. ඒ දුටු ඇමැතිවරු සඳ, රාහු ගිලගත් බව රජුට දැනුම් දුන්හ. රජතුමා සඳ දෙස බලා, ‘මේ සඳ ආගන්තුකව පැමිණි කෙලෙසුන්ගෙන් (උවදුරු වලින්) කිලිටි විය. එයින්ම නිෂ්ප්‍රභා විය. එසේ ම මාගේ පරිවාර සම්පත්තිය ද, ආගන්තුක ව පැමිණෙන කිසියම් උවදුරකින් කිලුටට පත් වුවහොත්, එය අයුත්තකි. යම් විදියකින් එසේ වුවහොත්, මම ද රාහු ග්‍රහණයට ගත් චන්ද්‍රයාගේ තත්ත්වයට වැටී, නිෂ්ප්‍රභා වන්නේ නම්, එය නුසුදුස්සකි. එබැවින් පිරිසිදු අහස්තලයෙහි බබළන සඳමඬල වැනි මේ රාජ්‍යය, හැරදමා පැවිදි වන්නෙමි. ඒ සඳහා අනුන්ගේ අවවාදයෙන් මට කවර ප්‍රයෝජනයක්දැ’යි කල්පනා කළ රජතුමා, ස්වකීය රාජ කුලය (රජ පවුල) ද, රාජකීය පිරිස ද, නො සලකා ඔවුන් කෙරෙහි නොඇලී, ‘තෙමේ තමාට ම අවවාද කර ගනිමින් වසන්නෙමි. එය මට ඉතාම සුදුසු යැ’යි කල්පනා කොට, සිය ඇමැතිවරුන් ළඟට කැඳවා ‘මේ රජය භාරගෙන තෙපි, යමක් සුදුසු නම්, එය කරවු යැ’යි, ඔවුන්ට රජය පවරා දුන්නේය. මෙසේ රජය අත්හළ ඔහු සෘෂි පැවිද්දෙන් පැවිදි ව, ධ්‍යාන හා අභිඥා උපදවාගෙන, ධ්‍යාන රතියෙන් යුතු ව සතුටින්, හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය.
මේ අතර ගන්ධාර නුවර සිට විදේහ රාජ්‍යයට පැමිණි වෙළඳ පිරිසක් හමු වූ විදේහ රජතුමා, ඔවුන්ගෙන් තම යහලුවාගේ සැප දුක් ගැන විචාරා, ඔහු රජකම අත්හැර පැවිදි වූ බව, ඒ වෙළෙඳුන්ගෙන් දැන, ‘මගේ මිතුරා පැවිදි වූ කල්හි, මම මේ රජය බදාගෙන කුමක් නම් කරන්නෙම් දැ’යි සිතා, සත් යොදුනක් දිග පළල ඇති ‘මිථිලා’ අගනුවර ද, යොදුන් තුන්සියයක් දිග-පළල ඇති මුළු විදේහ රට ද, සොළොස් දහසක් ගම්වල පුරවන ලද කෝෂ්ඨාගාර ද, සොළොස් දහසක් නාටිකාංගනාවන් ද, හැරදමා, දූ පුතුන් ගැන මෙනෙහි නොකොට ම හිමවතට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, පවත්තඵල භෝජන (වැටුණු ගෙඩි පමණක් අනුභව කරන්නෙක්) ව, සමාන වත් ඇති ව, සැරිසරමින් වාසය කරන්නට පටන් ගත්තේය. හිමාලයේ වෙසෙන ගන්ධාර තවුසා ද, විදේහ තවුසා ද යන මේ දෙදෙනා ම සම වත් ඇතිව, සම ආචාර ඇතිව, මෙසේ සැරිසරන කල්හි, පසුකලෙක එකට මුණ ගැසුණහ. එහෙත් ඔවුනොවුන් හඳුනා නොගත්හ. එසේ වූ නමුත් දෙදෙනාම ඉතා සතුටින් එකට එකතුව, සම වූ වත් ඇතිව වාසය කළහ. මේ අතර විදේහ තවුසා, ගන්ධාර තවුසාට උවටැන් කරන්නට ද, පටන් ගත්තේය. කිසියම් පුන් පොහෝ දවසක එක්තරා ගසක් මුල වාඩි වූ ඔවුහු දැහැමි කතාවන් කතා කරමින් කල්ගත කළහ. ඒ අතර අහස් තලයේ බබළන සඳමඬල, එක්වරම රාහු ඩැහැ ගත්තේය. සඳේ ආලෝකය කෙසේ නැති වී දැයි, සොයා බැලූ විදේහ තාපසතුමා, එය රාහුගේ ග්‍රහණයට හසු වූ බව දැන, ‘ඇදුරුතුමනි, කවරෙක් නම්, මේ සඳ වසාගෙන, එය නිෂ්ප්‍රභා කෙළේදැ’යි විචාළේය. ‘අන්තේවාසිකය, සඳට ඇති එකම උපක්ලේශය රාහුය. ඔහු ඊට බබළන්නට ඉඩ නො දෙයි. මම ද රාහු ගිලගත් සඳමඬල දැක පැවිදි වූයෙමි’යි, ගන්ධාර තවුසා උත්තර දුන්නේය. ‘ඇදුරුතුමනි, එතකොට ඔබතුමා ගන්ධාර රජතුමා ද?’ ‘අන්තේවාසිකය, එසේය. ඒ මම වෙමි.’ ‘ඇදුරුතුමනි, එසේ නම් අසනු මැනවි. මම විදේහ රටේ මිථිලා නුවර, විදේහ රජතුමා වෙමි. එබැවින් අපි දෙදෙනා ඔවුනොවුන් නො දුටු මිතුරෝ නේදැ’යි විදේහ තවුසා කීය. ‘අන්තේවාසිකය, ඔබ කුමක් අරමුණු කොට, පැවිදි වී ද?’ ‘ඇදුරුතුමනි, ඔබ පැවිදි වූ බව ඇසූ මම, ඒකාන්තයෙන් ම ඔබ පැවිදි වූයේ, පැවිද්දෙහි වූ කිසියම් විශේෂ ගුණයක් දැකීමෙන්ම විය යුතු යැයි සිතා, ඔබ ම අරමුණු කොට ගෙන, මම රාජ්‍යය අතහැර, පැවිදි බිමට පත් වූයෙමි’යි, විදේහ තවුසා පැහැදිලි කෙළේය. එතැන් පටන් ඔවුහු පෙරටත් වඩා, අතිශයින් සතුටු සිතින් යුතුව සමගිව, වැටුණු ගෙඩි පමණක් අනුභව කරමින් වාසය කළහ. මෙසේ හිමාල අඩවියේ දිගුකලක් විසූ ඔවුහු, ලුණුඇඹුල් සේවනය පිණිස, පසුකලෙක හිමවතින් බැස, එක් පසල්ගමකට පැමිණියහ.