10. කුම්මාසපිණ්ඩ ජාතකය (415)
‘න කිරත්‍ථි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ‘මල්ලිකා’ දේවිය අරබයා වදාළ සේක. ඇය සැවැත් නුවර කිසියම් ප්‍රධාන මල්කරුවෙකුගේ දියණියකි. අතිශය සුරූපී ඇය මහා පින්වන්තියකි. වයස දහසයේ දී ඇය තම මිතුරියන් වන තරුණ ගෑණු ළමයින් කිහිප දෙනකු සමග මල් උයනට යන්නට පිටත් වී, පිට්ටු කෑලි තුනක් ගෙන එය ද, මල්කූඩය තුළ රුවාගෙන ගමන ආරම්භ කළාය. ඈ නගරයෙන් නික්මෙනවාත් සමගම, භික්‍ෂු සංඝයා පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ, රශ්මි විහිදුවමින් නගරයට පිවිසෙනු දැක, උණ්වහන්සේ වෙත ගොස් කූඩයෙහි තිබූ පිට්ටු කෑලි තුන ගෙන, බුදුරදුන්ට පූජා කළාය. බුදුරජාණන් වහන්සේ, සතරවරම් රජදරුවන් විසින් දෙන ලද පාත්‍රයට, මල්ලිකාවගේ පූජාව පිළිගත් සේක. ඇය ද බුදුරදුන්ට නමස්කාර කොට, බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගොස්, එකත්පස්ව බලා සිටියාය. බුදුරජාණන් වහන්සේ ඈ දෙස බලා, සිනහ පහළ කළ සේක. ඒ දුටු ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ‘කවර හේතුවක් නිසා, කවර ප්‍රත්‍යයක් නිසා, තථාගතයන් වහන්සේ සිනා පහළ කළ සේක්දැ’යි කල්පනා කොට ඒ ගැන බුදුරදුන්ගෙන් විමසූහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ‘ආනන්දය, මේ කුමාරිකාව මේ පිට්ටු පූජාවේ ආනිසංසයෙන්, අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නී යැයි දැන, සිනා පහළ කෙළෙමැ’යි වදාළ සේක. බුදුරදුන් එතැනින් වැඩි පසු, කුමරිය ද මල් උයන බලා ගියාය.
එදිනම කොසොල් රජතුමා අජාසත්ත රජු සමග යුද කොට, ඉන් පැරදී පලා ගියේය. මෙසේ පැන ආ රජතුමා සිය රාජ්‍යයට පැමිණ, නගරයට ළඟා විය. අසුපිටින් පැමිණෙන රජතුමා මල්ලිකා කුමරිය මල් නෙලන මල් උයන සමීපයෙන් වැටී ඇති මාවත දිගේ පැමිණියේය. මල් උයනෙහි ගී ගයමින් මල් නෙලන මල්ලිකාවගේ, ඒ ගීත නාදය රජුගේ සවන් වැකුණි. එපමණකින් ම ගී හඬේ අයිතිකාරිය කෙරෙහි, ‘පිළිබඳ සිත්’ ඇති කොටගත් රජතුමා, සිය අසු මල් උයන දෙසට මෙහෙයවීය. රජු දුටු පින්වත් මල්ලිකා කුමරිය, සිටි තැනින් පැන නොගොස්, රජු ඉදිරියට පැමිණ, අසුගේ නාස් ලනුව අල්ලා ගත්තීය. රජතුමා අසුපිට හිඳගෙනම, ‘කුමරිය, ඔබ අස්වාමික ද, සස්වාමික දැ’යි විමසීය. ඇය තවම අස්වාමික බව දැනගත් ඔහු, අසුපිටින් බැස, කිසියම් සෙවනක් යටට ඈ කැඳවාගෙන ගොස්, උණුසුම් සුළඟින් හා අව්වෙන් තමා වෙහෙසට පත් වී සිටි බැවින්, ඇගේ ඇකයේ හිස තබා වැදහෙව, මොහොතක් විඩා හැර ගත්තේය. අනතුරුව එතැනින් නැගිටි ඔහු, ඇය තම අසුපිට හිඳුවා ගෙන, එතෙක් අවට රැඳී සිටි බලකායද පිරිවරාගෙන, නුවරට පිවිස එහි දී, මල්ලිකාව අසුපිටින් බස්වා, සවස් කාලයේ දී රථය්ක එවා ඇයව මාලිගාවට ගෙන්වා ගන්නා බවට පොරොන්දු දී, ඈ ඇගේ නිවෙස වෙත පිටත්කොට හැරියේය. අනතුරුව මාලිගාවට ගිය රජතුමා සවස් කාලයෙහි, මල්ලිකාවට පොරොන්දු වූ නියායෙන් ම, රථයක් යොදවා මහත් වූ සත්කාර සම්මාන සහිතව, පෙරහැරකින් ඈ කුලගෙදරින් කැඳවාගෙන අවුත් මැණික් ගොඩක් මත සිටුවා, අභිෂේක කොට අගමෙහෙසිය බවට පත් කරවීය. එදා පටන් ඈ රජුට ප්‍රියමනාපව විසුවාය. උදෑසනින් පිබිදී ම ආදි වූ, පස්වැදෑරුම් කලණ දහම්වලින් සමන්විත වූ ඇය, සිය සැමියා දේවත්වයෙහි ලා සැලකුවාය. එපමණක් නොව ඇය බුදුරදුන් කෙරෙහි ද අතිශය භක්තිමත් තැනැත්තියක් වූවාය. බුදුරජාණන් වහන්සේට පිට්ටු කෑලි තුනක් පූජා කොට, මල්ලිකාව මේ සියලු සම්පත් ලබාගත් බව, මුළු නුවර පුරා පැතිරී ගියේය.
දිනක් දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු, මල්ලිකා දේවියගේ ඒ පිට්ටු පූජාව ගැන කතා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, මල්ලිකාව සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, මල්ලිකාව විසින් සර්වඥ වූ එක් සම්බුදුවරයෙකුට පිට්ටු කෑලි තුනක් දන් දී, කොසොල් රජුගේ අගමෙහෙසිය බවට පත්වීම, මහා ආශ්චර්යයක් නොවේ. මක්නිසාද? බුදුවරුන්ගේ ගුණ අතිවිශාල බැවිනි. පැරණි පඬිවරු පවා පසේ බුදුවරුන්ට ලුණු නැති, තෙල් නැති, පැණිවලින් තොර පිට්ටු දන් දී, එහි විපාක වශයෙන් දෙවන ආත්ම භාවයේ දී, දිග පළලින් යොදුන් තුන්සියයක් වූ කසී රට රාජ්‍යශ්‍රීයට පත්වූහ යි, වදාරා මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කිසියම් දිළිඳු පවුලක උපත ලැබ, නිසි වියට පත්ව, එක් සිටුවරයකු ළඟ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගියේය. දිනක් ඔහු පාන්දර වැඩට යන්නට පිටත් වී, ස්වකීය උදය ආහාරය සඳහා කිසියම් කඩයකින් පිට්ටු කෑලි සතරක් මිලට ගෙන, එයත් රැගෙන වැඩට ගියේය. මේ අතර පසේ බුදුවරු සිව් නමක් පිඬු පිණිස බරණැස් නුවර බලා වඩිනු දැක, මේ භික්‍ෂූහු පිඬු පිණිස බරණැසට යති. මා ළඟ ද පිට්ටු කෑලි සතරක් ඇත. මම මේ පිට්ටු කෑලි සතර මේ භික්‍ෂූන්ට දෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ’යි කල්පනා කොට, උන්වහන්සේ වෙත එළඹ, පළමුව නමස්කාර කොට ‘ස්වාමීනි, මාගේ මේ පිට්ටු කෑලි හතර, මම ඔබවහන්සේට පූජා කරමි. එය පිළිගන්නාහු නම්, ඉතා යහපති, මෙසේ මේ පින, මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ යැ’යි කියා, නිශ්ශබ්දතාවයෙන් උන්වහන්සේගේ කැමැත්ත අවබෝධ කොටගත්, ඔහු වහා වැලි එකතුකොට, වැලි ගොඩවල් හතරක් ගසා, අවට ගස්වලින් කොළ අතු කඩ ගෙනවුත්, ඒවා වැලි ගොඩවල් මත අතුරා, අසුන් පනවා, පසේ බුදුවරුන් සිව්නම එක් එක් වැලිගොඩ මත වඩා හිඳුවා, කොළ ගොට්ටකට වතුර ගෙනැවිත් දක්‍ෂිණෝදකය (අත් සේදීමට පැන්) දී, පිළිවෙලින් පාත්‍රා සතර තුළට පිට්ටු කෑල්ල බැගින් බෙදා, පළමුකොට උන්වහන්සේට වැඳ, ‘ස්වාමීනි, මේ පිනෙන් කිසිදා මා දිළිඳු ගෙයක නූපදීවා. සර්වඥතා ඥානය උපදවා ගැනීම සඳහා මේ පින ප්‍රත්‍ය වේවා’යි ප්‍රාර්ථනා කොට, දානය පිළිගැන්වීය. පසේ බුදුවරු දානය වළඳා අවසානයේදී, අනුමෝදනා බණ වදාරා, එතැනින් සතර නම ම ‘නන්දමූල’ පර්වත ප්‍රාන්තය බලා අහසින් වැඩියහ.
බෝසත් තෙමේ ඇඳිලි බැඳගෙන, පසේ බුදුවරුන් කෙරෙහි හටගත් ප්‍රීතියෙන් යුතුව, උන්වහන්සේ ඇස් හමුවෙන් නොපෙනී යනතුරු බලා සිට, වැඩට ගියේය. ඔහු පසේ බුදුවරුන් විෂයෙහි දුන් මේ දානය දිවි ඇති තෙක්ම සිහිපත් කෙළේය. මෙසේ බොහෝ කලක් ජීවත් වූ ඔහු, මියගොස් පසේ බුදුවරුන්ට දුන් දානයේ අනුහසින්, බරණැස් රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. නිසි කාලයේ දී උපත ලැබූ ඔහුට, ඔහුගේ මව්පියෝ ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි නම් කළහ. මේ කුමරුවා පයින් ඇවිද යා හැකි කාලයේ පටන් ‘මම මේ නගරයෙහි ම කුලීකාරයෙක් වී වැඩට යමින්, පසේ බුදුවරුන් සතර නමකට පිට්ටු කෑලි සතරක් දන් දුන්නෙමි. එම දානයේ විපාක වශයෙන්, මෙහි උපන්නෙමි’යි, ඉතා පිරිසිදු කණ්ණාඩියකින් මුහුණ බලන්නාක් මෙන්, මුළුමනින් පෙර ජාතියේ කළ ක්‍රියාව ජාතිස්මරණ ඥානයෙන් ප්‍රකට ලෙස දැක්කේය. හෙතෙම නිසි වියට පත්ව තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප උගෙන, පෙරළා සිය රටට පැමිණ, උගත් ශිල්ප තම පියා ඉදිරියෙහි දක්වා, ඉන් සතුටු වූ පියරජතුමා වෙතින් යුවරජ තනතුර දිනා ගත්තේය. පසුකලෙක පියාගේ ඇවෑමෙන්, ඔහු මහ රජතුමා බවට පත්විය. ඉක්බිති කොසොල් රජුගේ අතිශයින් රූමත් වූ දියණියක් අගමෙහෙසිය කොට පාවාගත්, මේ අග රජතුමා ඉතා සතුටින් යුතුව රාජ්‍යය විචාළේය. මේ අලුත් රජතුමාගේ ‘සේසත් සිටුවන’ මංගල දිනයේදී, මුළු නුවර දෙව් නුවරක් මෙන්, අලංකාර කිරීමට නගර වැස්සෝ වගබලා ගත්හ.