11. පරන්තප ජාතකය (416)
‘ආගමිස්සති මෙ පාපං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, දෙව්දතුන්ගේ නපුරු ක්‍රියාවක් නිමිති කොටගෙන වදාළ සේක. එකල දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු, සෙසු භික්‍ෂූන් අමතා ‘ඇවැත්නි, දෙව්දත් තෙමේ තථාගතයන් වහන්සේ ඝාතනය කිරීම සඳහා ම උත්සාහ ගත්තේ ය. එක්වරක් ඒ වෙනුවෙන් දුනුවායන් යෙදවීය. තවත් විටෙක ගල් පෙරළුවේ ය. තවත් අවස්ථාවක නාලාගිරි හස්ති රාජයා ඉදිරියට මුදා හළේය. මෙසේ තථාගතයන් වහන්සේගේ විනාශය සඳහාම උපා යෙදුවේ යැ’යි සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දෙව්දත් තෙමේ මට වද දීමට උත්සාහ කෙළේ දැන් පමණක් නොවේ. පෙර ද එසේ කොට, මට අල්පමාත්‍ර වූ තැති ගැනීමක්වත් ඇති කිරීමට ඔහු අපොහොසත් වූයේ යැ’යි, වදාරා ‘ඒ හේතුව නිසා ඔහුම දුක් වින්දේ යැ’යි, පැහැදිලි කරමින් ඊට සාධක වශයෙන් මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද නිසිවියට පත්ව තක්‍ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, ඊට අමතරව සියලු සතුන්ගේ හඬ හා ශිල්ප උගෙන අවසානයේදී, සිය ගුරුවරයාගේ පරීක්‍ෂණයට ද පෙනී සිට, ඉන් අනතුරුව බරණැස් නුවර බලා පැමිණිායේය. රජතුමා සිය උගත් පුතණුවන් යුවරජ තනතුරෙහි තැබුවේය. වෙනත් අයුරකින් කියතොත්, රජුට කුමරු වෙනුවෙන් එය කරන්නට සිදුවුණි. තම පුත් කුමරා කෙරෙහි රජුට කිසිදු ප්‍රසාදයක් තිබුණේ නැත. පුතු මැරවීමට සිතා සිටි පිය රජතුමා, කුමරාගේ දර්ශනය ද පිළිකුල් කෙළේය. මේ අතර කිසියම් දිනෙක එක් සිවලියක් ස්වකීය පැටවුන් දෙදෙනා ද ගෙන, රාත්‍රියෙහි මිනිසුන් නිදි ගත් කල්හි, කිසියම් කාණුවකින් ඇතුල් නුවරට පිවිසුණාය. බෝසත් කුමරාගේ හෙවත් යුවරජතුමාගේ ප්‍රාසාදයෙහි යහන්ගැබට නුදුරෙන් කිසියම් ශාලාවක් ඇත. එහි එක් දුප්පත් මිනිසෙක්, සිය පාවහන් මුදා, පාමුල බිම තබා, කිසියම් ලෑල්ලක් මත වැද හොත්තේය. එහෙත් ඔහුට නින්ද ගියේ නැත. මේ අතර ඉහත කී සිවලියගේ පැටව් බඩගින්නෙන් කෑගැසූහ. ඒ ඇසූ සිවලිය ‘දරුවනි, ශබ්ද නොකරවු. මේ ශාලාවෙහි එක් මිනිසෙක් පාවහන් මුදා බිම තබා, ලෑල්ලක ඇල වී හිඳියි. එහෙත් ඔහුට තවමත් නින්ද ගියේ නැත. මේ මිනිසා නිදාගත් පසු, ඔහුගේ පාවහන් ගෙනවුත් තොපට කවන්නෙමි’යි, සිවල් භාෂාවෙන් කීවාය. බෝසත් තෙමේ තමා උගත් මන්ත්‍රයේ ආනුභාවයෙන් සිවලිය කී කථාව තේරුම් ගෙන, යහන්ගැබින් නික්ම ජනේලය විවෘතකොට ඔය ශාලාවේ කවරෙක් හිඳීදැ’යි ඇසීය. ‘දේවයිනි, මම - දුප්පත් මිනිසෙක්මි. මම මෙහි හිඳිමි’යි ඉහත කී පුරුෂයා උත්තර දුන්නේය. ‘පුරුෂය, නුඹේ පාවහන් යුවල කොහිද?’ ‘දේවයිනි, එය මා ළඟම බිම ඇතැ’යි, මිනිසා උත්තර දුන්නේය. ‘පුරුෂය, වහා නැගිට ඒ පාවහන් යුවල, උස්තැනෙක එල්ලා තබා නිදාගනුව’යි, බෝසත් යුවරජතුමා ඒ දුප්පත් මිනිසාට දැනුම් දුන්නේය. මේ කථාව අසා සිටි සිවලිය බෝසතුන් කෙරෙහි කිපී, වෛර බැඳගත්තාය.
නැවත වෙනත් දිනෙක, ඒ සිවලිය පෙර ක්‍රමයට ම නුවරට ඇතුළු විය. එදින එක් බීගත් මිනිසෙක් මත්ව, පිපාසය සෑදී ‘පැන් බොන්නෙමි’ යි සිතා, සමීපයෙහි තිබූ පොකුණකට බැස ගත්තේය. පය ලිස්සා ගිය ඔහු පොකුණට වැටී වතුරෙහි ගිලී, ඉන් මිදීමට උත්සාහයක් ගත නොහැකිවම එහිම මිය ගියේය. ඒ මියගිය මිනිසා සළු දෙකක් හැඳ සිටියේය. ඔහුගේ සාක්කුවක කහවණු දහසක් ද, එක් ඇඟිල්ලක මුද්දක් ද තිබුණි. එදා ද සිවල් පැටවු බඩගින්නෙන් හඬන කල්හි, සිවලිය ‘දරුවනි, ශබ්ද නොකරවු. අර පොකුණෙහි මළ මිනියක් ඇත. ඔහු ළඟ මේ මේ දේවල් ද ඇත. ඒ මිනිසා පොකුණට බසින පඩිපෙළෙහි වතුරෙන් යට වූ කොටසෙහි දී ම, මියගොස් වැතිර හිඳී. තොපට මම, ඒ මළ මිනියේ මස් කවන්නෙමි. එතෙක් නාඬා සිටිවු’ යැයි කීවාය. බෝසත් යුවරජු, සිවලියගේ කථාව අසා, සිදු වී ඇති සියල්ල මැනවින් තේරුම්ගෙන, ජනේලය විවෘත කොට බලා ‘ඔය ශාලාවෙහි කවරෙක් සිටීදැ’යි හඬ නඟා ඇසීය. එහිදී, ශාලාවේ හුන් කිසිවෙක්, ‘දේවයිනි, මම මෙහි හිඳිමි’යි කීයේය. ‘එසේ නම්, ඉදිරිපිට ඇති පොකුණ වෙත යව. එහි මළ සිරුරක් ද, සළුද, සළු අතර කහවණු දහසක් ද, මළසිරුරේ ඇඟිල්ලක එක් මුදුවක් ද ඇත. ඒ සියල්ල ගෙන, මිනිය කිසිවෙකුට ඉවතට ඇදගත නොහැකි වන පරිද්දෙන්, දියෙහි ගිල්වා තබව’යි යුවරජතුමා අණ කෙළේය. එකී පුරුෂයා ද, එය එසේ ම කෙළේය. එවිට සිවලිය යුවරජු කෙරෙහි කිපී, ‘මීට කලින් දිනෙක මගේ දරුවන්ට, හම් සෙරෙප්පුවක් කා බඩගිනි නිවා ගැනීමට, මේ මිනිසා ඉඩ නො දුන්නේය. අද මේ මළමිනිය කන එකට, ඔහු විරුද්ධ විය. කමක් නැත. තව දින තුනකින් මේ රට ආක්‍රමණය කිරීමට කිසියම් සතුරු රජෙක් පැමිණ, මේ නුවර වටලන්නේය. එවිට මහරජතුමා, මේ යුවරජු සතුරු රාජයා සමග යුධ වදිනු සඳහා, පිටත් කොට හරින්නේය. එහිදී මොහු, හිස සිඳී බිම වැටෙනු ඒකාන්තය. එවිට මම, ඒ තගේ ගලලෝහිතය (ගෙලෙන් වැගිරෙන ලේ) පානය කොට, වෛරය පිරිමසා ගන්නෙමි. මා සමග වෛර බැඳගත් තා ගැන, මම බලාගන්නෙමැ’යි කෑගසා, බෝසත් යුවරජුට මෙසේ තර්ජනය කළාය. අනතුරුව තම දරුවන් ද, කැටුව සිවලිය යන්නට ගියාය. සිවලියගේ ඒ කථාවෙන් කියවුණු තොරතුරු, යුවරජතුමා මැනවින් තේරුම් ගෙන නිශ්ශබ්ද විය.
ඉහත සඳහන් සිද්ධියෙන්, හරියට ම දින තුනකට පසු, සතුරු රජෙක් පැමිණ නුවර වටලෑවේය. රජතුමා මෙය දැනගත් වහාම, සිය පුතණුවන් වන යුවරජු වෙත පැමිණ, ‘දරුව, යව ඒ සතුරු රජා සමග යුද්ධ කරව’යි කීයේය. ‘දේවයිනි, මා වේලාසනින් දැනගත් කරුණක් ඇත. එබැවින් මට, මීට මැදිහත්වීමට පුළුවන්කමක් නැත. මාගේ ජීවිතයට අනතුරක් ඇතිබව දන්නා මම, බියට පත්වී සිටිමි. ‘මා තා මළත්, නො මළත් ඉන් ඇති කාරිය කුමක්ද? එබැවින් තෝ වහා ම මා කී දේ කරව’යි රජතුමා තදින්ම කියා සිටියේය. ‘දේවයන් වහන්ස. යහපතැ’යි කියා පිළිගත් බෝසත් යුවරජතුමා භට පිරිසක් ගෙන, සතුරු රජු මුහුණ ලා සිටින ප්‍රධාන වාසල් දොරටුව මගහැර, වෙනත් රහස් දොරටුවක් විවෘත කොට, එතැනින් පිටනුවරට පිවිස, ප්‍රධාන වාසල් දොරටුව දෙසට යන්නට නික්මුණි. යුවරජුගේ මේ ක්‍රියාව දැක, ඉන් උද්දාමයට පත් සියලු රාජකීය හමුදාවෝ ද, සාමාන්‍ය ජනතාව ද, මේ අවස්ථාවේදී යුවරජු සමගම යුද්ධයට මුහුණ දීමට තීරණය කොටගෙන, ඔහු හා එකතු වූහ. මෙසේ නික්මුණු යුවරජතුමා ඉතාම සුදුසු කිසියම් තැනෙක, කඳවුරක් බැඳ නවාතැන් ගත්තේය. මේ අතර මහරජතුමා, ‘මේ යුවරාජයා මුළු නුවරම හිස්කොට, බලසේනාව රැගෙන පලා ගියේය. සතුරු රාජයා ද, නුවර වටලා සිටියි. දැන් මට ජීවිතයක් නැත. ඒ නිසා මම දැන්, මාගේ ආරක්‍ෂාව සලසා ගන්නෙමැ’යි කල්පනාකොට, සිය අග මෙහෙසිය ද, පුරෝහිතයා ද, ‘පරන්තප’ නම් වූ හිතවත් ම සේවකයකු ද ගෙන, රෑ මැදියමේ වෙස් වළාගෙන, රහස් දොරටුවකින් පැන ගොස් කැලෑ වැදුණේය. බෝසත් යුවරාජයා තම හිතවත් සේවකයකුගේ මාර්ගයෙන් මහරජු ඇතුළු පිරිසගේ, පලායාම දැනගත්තේය. අනතුරුව සියලු පිරිවර සහිතව, නුවරට කඩාවැදුණු යුවරජතුමා, සාර්ථකව යුධකොට, සතුරු රජු පලවා හැර, රාජ්‍යය අත්පත් කොට ගත්තේය. මේ අතර මහරජතුමා, කිසියම් නදී තෙරක අසපුවක් සාදාගෙන, පලවැල වලින් යැපෙමින්, වාසය කරන්නට පටන් ගත්තේය. සිරිතක් වශයෙන් දිනපතාම, අගමෙහෙසියගේ ආරක්ෂාවට කීකරු සේවකයා යොදවා තබා, රජතුමා ද, පුරෝහිත බමුණා ද, පලවැල සඳහා කැලයට යති. පරන්තප දාසයා ද, දේවිය සමග අසපුව බලාගෙන හිඳියි. මේ වන දිවියට පැමිණි පසු, රජතුමා නිසා අග මෙහෙසියගේ කුසෙහි, ගැබක් පිළිසිඳගෙන තිබුණි. එය දේවියත්, රජතුමාත්, පුරෝහිතතුමාත් දැන සිටි කරුණකි. සේවකයා මේ බවක් දැන සිටියේ නැත. කෙසේ නමුත් දවසේ වැඩි කාලයක් අසපුවේ කල්ගත කෙළේ, දේවියත්, එම සේවකයාත් යන දෙදෙනාය. වැඩිකලක් එකට එක්ව හිඳීම නිසාත්, සේවකයා තරුණ කොල්ලකු නිසාත් ඔහු තම වසඟයට ගත් අගමෙහෙසිය ඔහු හා රහසිගත සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා ය. ටික කලෙකින් ම, මේ බැඳීම ඉතා දැඩි වූවක් විය. එබැවින් කිසියම් දිනෙක පරන්තපයාට කථා කළ අගමෙහෙසිය, ‘පරන්තප’ අපේ මේ සම්බන්ධය රජු දැනගතහොත්, ඔබෙත් මගෙත් ජීවිතය එතැනින් ම කම්මුතුය. එබැවින් හොඳම දේ රජු ඉවරයක් කිරීම යැ’යි කීවාය. ‘දේවිය, මම එය කෙසේ නම් කරම්ද?’ ‘රජුගේ සිරිත දිනපතා නදියට නාන්නට යන කල්හි, සර්වාභරණයෙන් සැරසී, නාන සළු නුඹ ලවා ගෙන්වාගෙන, නුඹත් සමග නදියට යාමයි. එහිදී ඇඳුම් මුදා තබා, රජ දියට බසියි. නුඹ ඔහුගේ ප්‍රමාදයක් බලා, ඔහුගේ ම කඩුව නෙ, රජුගේ හිස සිඳ, සිරුර කෑලි-කෑලිවලට කපා, පොළොවෙහි තැනින් තැන වළ දමව.’ ‘යහපති දේවිය, මම ඔබ කී ලෙස කරන්නෙමැ’යි, සේවකයා ඇගේ කීම පිළිගත්තේය.