8. ධූමකාරි ජාතකය (413)
‘රාජා අපුච්ඡි විධුරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, කොසොල් රජුගේ ‘ආගන්තුක සංග්රහයක්’ නිමිති කොටගෙන වදාළ සේක. කිසියම් දවසක කොසොල් රජතුමා ප්රවේණිගත ව පැමිණි, පැරණි යුධ භටයන්ට විශේෂ සැලකිලි නොකොට, අලුතින් පැමිණි, ආගන්තුක භටයන්ට සත්කාර සම්මාන කෙළේය. ඉන් ටික කලකට පසු රජුට අයත් කිසියම් පසල් දනව්වක මහත් වූ කලබලයක් හටගත්තේය. අතිවිශාල සොරු කණ්ඩායමක් ඒ පසල් දනව්වෙහි බලය අල්ලා ගන්නට උත්සාහ දැරූහ. මෙය දැනගත් රජතුමා සේනා පිරිසක් ගෙන, යුධ පිණිස එකී දනව්වට ළඟා විය. මේ යුද්ධ සේනාවට පැරණි අය මෙන් ම අලුතින් පැමිණි ආගන්තුක භටයන් ද ඇතුළත් විය. සංග්රාම භූමියේ දී ‘රජුගේ සත්කාර ලැබූ අය යුද්ධ කෙරෙති’යි, පැරණි යුධ භටයෝ යුද්ධයෙන් මගහැර සිටියෝය. අලුත් භට පිරිස ද, පලපුරුදු උදවිය යුද්ධය ගැන වගබලා ගනිති’යි සිතා, යුද්ධ නොකළහ. මෙයින් ප්රයෝජන ගත් සොරු රජු පරදවා ජය ගත්හ. පරාජයට පත් වූ රජතුමා තමාගේ පරාජයට මූල හේතුව ආගන්තුක භට පිරිසට කළ සංග්රහය විය යුතුයැ’යි, කල්පනා කොට ස්වකීය පරාජය පිළිගෙන සැවතට පසුබැස, ‘කිමෙක්ද? මේ හේතුව උඩ පරාජයට පත් වූ පළමුවැන්නා මම වෙම් ද? නැතහොත් අන් රජවරුන් ද, මීට පෙර එසේ පරාජයට පත් වී ඇත්දැ’යි කල්පනා කොට ඒ ගැන බුදුරදුන්ගෙන් විමසා බලා දැනගැනීමේ අටියෙන්, උදේ ආහාරය ගැනීමෙන් අනතුරුව ජේතවනය බලා ගොස්, බුදුරදුන් වැඳ උන්වහන්සේගෙන් එම ප්රශ්නය විචාළේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, එසේ පරාජය වූ පළමුවැන්නා ඔබ නොවේ. පැරණි රජවරුද ආගන්තුකයන්ට සංග්රහ සම්මාන සැලකිලි දක්වන්නට ගොස්, පරාජයට පත් වූවාහු යැ’යි වදාරා, රජුගේ අයැදුමෙන් මේ අතීත කථාපුවත මෙසේ වදාළ සේක.
පෙර කුරු රට ඉඳිපත් නුවර ‘යුධීෂ්ඨිර’ ගෝත්රයෙහි ධනංජය නම් කෝරව්ය රජෙක් රාජ්යය කරවීය. එකල අප බෝසත් තෙමේ රජුගේ පුරෝහිත මැදුරෙහි උපත ලැබ, නිසි වියට පත්ව තක්ෂිලාවට ගොස්, සියලු ශිල්ප උගෙන පෙරළා ඉඳිපත් නුවරට පැමිණ, සිය පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුරට පත්විය. එතුමා රජතුමාට ‘අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන්නා’ විය. මහත් ප්රඥාවන්තයෙක් වූ එතුමා ‘විධුර’ පඬිතුමා යැයි රටේ ප්රසිද්ධියට පත්විය. එකල ධනංජය රජතුමා පැරණි යුධ භටයන් ගණන් නොගෙන, ආගන්තුක භටයන්ට ම සංග්රහ කෙළේය. එකල පසල් දනව්වක කෝලාහලයක් ඇතිවිය. රජතුමා සේනාව රැගෙන එය මැඩලීමට ගිය නමුත්, ඉන් ලැබූ ප්රතිඵලය කොසොල් රජතුමාට අත්වූ ප්රතිඵලයම විය. පරාජයට පත්වූ රජතුමා පෙරළා ඉඳිපත් නුවරට ම පැමිණ, ආගන්තුකයන්ට කළ සංග්රහය පරාජයට හේතු වී යැ’යි කල්පනා කෙළේය. මෙසේ සිතන ඔහුට ‘මේ අයුරින් පරාජයට පත් වූ පළමුවැන්නා මම වෙම්ද? නැතහොත් එවැනි පරාජයන් ලද වෙන අයත්, මීට පෙර සිටියාහුදැ’යි කල්පනා කොට, ඒ ගැන විධුර පඬිතුමාගෙන් විචාළේය. රජුගේ එම ප්රශ්න විචාරය පැහැදිලි කරමින්, බුදුරජාණන් වහන්සේ එක් ගාථාවක් අර්ධය බැගින් මෙසේ වදාළ සේක.
“රාජා අප්රණී විධුරං ධම්මකාමො යුධිට්ඨිලො,
දහමට කැමැති යුධීෂ්ඨිර ගෝත්ර රජතුමා, විධුර පඬිතුමාගෙන් විචාළේය.
මෙහි ‘ධම්මකාමො’ යනු ‘සුචරිත ධර්මයට ප්රිය’, යන අර්ථයි.
“අපි බ්රාහ්මණ ජානාසි කො එකො බහු සොචතී” ති
බමුණ, කවරෙක් තනිව බොහෝ ශෝක කෙරේ දැ’යි, දන්නෙහිද?
මෙහි දෙවන අර්ධයේ අදහස මෙසේය. එනම්, මෙලොව කවරෙක් තනිව බොහෝ ශෝක කෙරේද? නොයෙක් අයුරෙන් ශෝක වේද?’ යන අර්ථයි.
ඒ අසා බෝසත් තෙමේ ‘මහරජතුමනි, ඔබේ ශෝකය කිනම් ශෝකයක් ද? පෙර එළුවන් රකින ‘ධූමකාරි’ නමින් යුත් එක් බමුණෙක් මහත් වූ එළු රංචුවක් ගෙන කැලයට ගොස්, එහි ගාලක් සකසා එළුවන්ට ඒ තුළ පහසුවෙන් හිඳින්නට සලස්වා, රෑට උන්ගේ ආරක්ෂාවට ගිනිමැල දල්වමින්, මැසි මදුරුවන් එළවීම සඳහා දුම් ගසමින්, එළු රැළ මැනවින් පෝෂණය කෙළේය. ඔහු ද එළුකිරි ආදිය පරිභෝග කරමින් සැප සේ වාසය කෙළේය. කලෙක දී රන්වන් සිරුරු ඇති සරභ මුව රංචුවක් එතැනට පැමිණියහ. ඒ දුටු බමුණා ඒ සරභ මුවන් කෙරෙහි තදින් සිත් බැඳ ගත්තේය. ඒ මුවන්ට දැඩි ආදරයක් දැක්වූ ධූමකාරි බමුණා එළුවන් ගණනකට නොගෙන, ඔවුන් වෙනුවෙන් කළ සියලු සත්කාර රන්වන් මුවන්ට දක්වන්නට පටන් ගත්තේය. මාස කීපයකට පසු ‘ශරත් සෘතුව’ පැමිණියේය. ශරත් සෘතුව එළඹෙනවාත් සමගම සරභ මුවෝ බමුණා වෙතින් පලා ගොස්, හිමාල වනයට වන්හ. මේ වනවිට එළුවන් නොතකා හළ බැවින්, උන් ආ ගිය අතක් දැනගත නොහැකි විය. උදෑසන අවදි වී වටපිට බලන බමුණාට, සරභ මුවන් පැන ගොස් ඇති බව දැනුණි. එළුවන් ද දක්නට නැත. මුවන් නොදැකීමේ ශෝකයෙන් ම පාණ්ඩු රෝගියකු බවට පත්වූ බමුණා, ඒ දුකෙන්ම ජීවිතක්ෂයට පත්විය. රජතුමනි, ඒ බමුණා මෙසේ ආගන්තුකව පැමිණි පිරිසකට සංග්රහ කරන්නට ගොස්, ඔබතුමාට වඩා සිය දහස් ගුණයෙන් ශෝක කොට, වෙහෙසට පත්ව, විනාශ වී යැ’යි යන මේ උදාහරණය දක්වමින් මේ ගාථා ප්රකාශ කෙළේය.
2. වාසෙට්ඨ බමුණා එළු රැළත් සමග, බොහේ දර ද රැස්කොට ගෙන, වනයෙහි වෙසෙමින්, දිවා-රෑ දෙක්හි නොමැලිව දුම් ගැසීය.
3. ඔහුගේ ඒ දුම් ගඳින්, මදුරුවන්ගෙන් පීඩා ලැබූ සරභ මුවෝ, දුම් දෙන බමුණා ළඟට, වැසි කාලයේ විසීම සඳහා පැමිණියහ.
4. සරභ මුවන් කෙරෙහි හිත ගිය ඔහු, පැමිණෙන හෝ පිටත්ව යන හෝ, ඒ එළුදෙනුන් ගැන තේරුම් නොගත්තේය. (මෙසේ) ඔහුගේ ඒ එළුවෝ විනාශ වූහ.
5. සරභ මුවෝ ද, ශරත් කාලයෙහි, වනය මදුරුවන්ගෙන් තොර වූ කල්හි, නදීන් හට ගන්නා ගිරි-දුර්ග කරා ගියහ.
6. එළුවෝ ද විනාශ වූහ. සරභ මුවන් පැන ගිය බව දුටු බ්රාහ්මණයා කෙට්ටු වී, දුර්වර්ණ වූ පාණ්ඩු රෝගියෙක් බවට පත්විය.
7. මෙසේ යමෙක් ස්වකීය අය පිටමං කොට, ආගන්තුකයින් ප්රිය කෙරේ ද? ඔහු ධූමකාරි බමුණා මෙන් තනිව ම බොහෝ සෙයින් ශෝක කෙරේ.
මෙහි ‘බහුතෙධො’ යනු ‘බොහෝ දර ඇති’ යන අර්ථයි. ‘ධූමං අකාසි’ යනු ‘මැසි උවදුර දුරු කරනු සඳහා ගිනි ද, දුම ද ඇති කෙළේය’ යන අර්ථයි. ‘වාසෙට්ඨා’ යනු ‘ඔහුගේ ගෝත්රය යි. ‘අතන්දිනො’ යනු ‘නොමැලිව’ යන අර්ථයි. ‘තං ධූම ගන්ධෙනා’ යනු ‘ඒ දුම්ගඳින් යන අර්ථයි. ‘සරභා’ යනු ‘සරභ මුවෝ’ ය යන අර්ථයි. ‘මකසද්දිතා’ යනු ‘මදුරු උවදුරෙන් පෙළුණු’ යන අර්ථයි. ‘මකස’ යන්නෙන් සෙසු මැස්සන් ද අර්ථවත් වේ. ‘වස්සාවාසං’ යනු ‘වැසි කල ඇලී විසූහ’ යන අර්ථයි. ‘මනං කත්වා’ යනු ‘සෙනෙහස උපදවා’ යන අර්ථයි. ‘නාවබුජ්ඣථ’ යනු ‘කැලයේ හැසිර, ඉන් ගාලට පැමිණෙන්නා වූ ද, ගාලෙන් කැලයට යන්නා වූ ද (එළුවන් ගැන) ‘මෙපමණක් ආවාහු යැ’යි ද, ‘මෙපමණක් නාවාහු යැ’යි ද නොදනී’ යන අර්ථයි. ‘තස්ස තා විනස්සුං’ යනු ‘මෙසේ සිහියෙන් කටයුතු නොකරන, ඔහුගේ එළු දෙනුන් සිංහ උවදුරු ආදියෙන් නොරැකීමෙන්, එම උවදුර නිසා, එළුවෝ විනාශ වූහ. සියලු දෙනා නැසුණාහ’, යන අර්ථයි.