7. කෝටිසිම්බලි ජාතකය (412)
‘අහං දසසතං ව්යාමං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ක්ලේශ නිග්‍රහයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කතාවස්තුව ‘පාණීය’ ජාතකයෙහි දැක්වේ. ඊට අනුව බුදුරජාණන් වහන්සේ සන්තාගාරයෙහි ඇතුල් කෙළවරේ විසූ පන්සියයක් භික්ෂූන් කාම විතර්කයකින් පීඩා විඳිනු දැක, ඔවුන් තමන්වහන්සේ වෙත කැඳවා, ‘මහණෙනි, සැක කළ යුතු යමක් වේ නම්, එය සැක කිරීම ම වටී. ක්ලේශයෝ නම් වනයෙහි ගස්වල හටගත් නුග පැල වැනි වෙති. නුග පැලය කිසියම් ගසක් අල්ලාගෙන වැඩී, ටික දිනකින් ම ඒ ගස විනාශ කරයි. මිනිසා තුළ වැඩෙන ක්ලේශය ද, ටික කලකින් ම විශාලත්වයට පත්වී, ඒ මිනිසා විනාශයට පමුණුවයි. මේ නිසාම අතීතයේ දී, කොළ ඉඹුල් ගසකට අරක් ගෙන සිටි දේවතාවෙක්, නුග ගෙඩි අනුභව කළ එක් කිරිල්ලක් කොළ ඉඹුල් ගස වෙත පැමිණ, එහි අතුපතර වැසූ එක් අත්තෙක වර්චස් පිඩක් හෙළනු දැක, ‘මේ හේතුවෙන් මාගේ මේ විමානයට මහත් විනාශයක් වන්නේ යැ’යි අතිශයින් බියට පත් වී යැ’යි වදාරා, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කොළ ඉඹුල් ගසක රුක් දෙවියෙක් ව උපන්නේය. එකල එක් ගුරුළු රාජයෙක් යොදුන් එකසිය පනහක් පමණ වූ, දැවැන්ත ආත්ම භාවයක් මවාගෙන, ස්වකීය පියාපත්වල වාත වේගයෙන් මහා සමුද්‍රයේ ජලය දෙබෑ කරගෙන ගොස්, බඹ දහසක් පමණ දික් වූ, එක් නාගරාජයකු නගුටෙන් ඩැහැගෙන, මුහුදු ජලයෙන් මතුපිටට පැමිණියේය. නාග රාජයාගේ මුව තුළ තිබූ ගොදුරු, මුහුදු ජලය මතට ඇදවැටිණි. මෙසේ නාගයකු ඩැහැගත් ගුරුළා, ඉහත කී කොළ ඉඹුල් ගස වෙත, වනපෙතට ඉහළින් පියඹා ගියේය. විශාල සිරුරක් ඇති මේ නාගරාජයා, ගුරුළාගේ ග්‍රහණයට හසු වී සිටි නමුත්, උගෙන් මිදීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් සිටියේය. ඒ අනුව ගුරුළා ඩැහැගෙන යද්දී ම නාගරාජයා, ඒ යන ගමන්මගෙහි පිහිටි කිසියම් නුග ගසක් දැක, ක්ෂණිකව සිය දරණවැල නුග ගසෙහි පටලවා ගත්තේය. නාගරාජයාගේ සිරුර කෙතරම් දීර්ඝ එකක් වුවද, ගුරුළාට එයින් වූ බලපෑම මඳ විය. එබැවින් අධික ශක්තියකින් යුතු දැවැන්ත ගුරුළු රාජයා, නා රජු වෙළී සිටි නුග ගසත් ගලවාගෙන ම, තම ගමන ගියේය. නාගරාජයා ද, නුග ගස මුදා හැරියේ නැත. මෙසේ අනුක්රමයෙන් කොළ ඉඹුල් ගස වෙත පැමිණි ගුරුළා, නුග ගසින් මුදා ගත්, නාග ශරීරය කොළ ඉඹුල් ගස මත හෙළා, නාගයාගේ බඩ පලා නාග මේදය අනුභව කෙළේය. ඉන්පසු නාගයාගේ මළකඳ ඔසවා ගත් ගුරුළා නැවතත් සමුදුර වෙත ගොස්, එය මුහුදු ජලපිට හෙළුවේය. නාගරාජයාගෙන් මුදා ඉවත දමන ලද නුග ගසෙහි කූඩුවක එක කිරිල්ලක් වාසය කළාය. ඇය කූඩුවෙන් එළියට පැමිණ, නුග ගෙඩි කමින් සිටියාය. මඳ වේලාවකට පසු නුග ගසින් නික්මුණු කිරිල්ල, කොළ ඉඹුල් ගසට පියඹා විත්, එහි අත්තක වැසුවාය. කොළ ඉඹුල් ගස සිය විමානය කොටගත් දේවතාවා, ඒ කිරිල්ලගේ ක්‍රියාව දැක, ‘මේ කිරිල්ල මගේ මේ ගස මත වර්චස් හෙළන්නී නම්, එයින් මේ ගසේ නුග පැලයක් හෝ, පිලිල පැලයක් හෝ, පැල වුවහෝත ටික කලකින් ම එය මේ ගස වසා පැතිරෙන්නේය. එවිට මාගේ මේ විමානය විනාශ වන්නේ යැ’යි, බියෙන් ත්‍රස්තව වෙවුලන්ට පටන් ගත්තේය. දේවතාවාගේ එම වෙව්ලීමෙන් කොළ ඉඹුල් ගසේ මුල දක්වාම හෙල්ලෙන්නට පටන් ගත්තේය. මේ වෙව්ලීම දුටු ගුරුළු රාජයා, ඒ ගැන විමසමින් මෙසේ කීවේය.
අහං දසසතං වතමං උරගමාදාය මාගතො,
තඤ්ච මඤ්ච මහා කායං ධාරයං නප්පවෙධසී
තඤ්ච මඤ්ච මහා කායං ධාරයං නප්පවෙධසී
අථ මෙං ඛුද්දකං පක්ඛිං අප්පමංස තරං මයා,
ධාරයං ව්යාධසො භීතො කමත්ථං කොටි සිම්බලී ති
ධාරයං ව්යාධසො භීතො කමත්ථං කොටි සිම්බලී ති
කටු ඉඹුල් වෘක්ෂය, මම බඹ දහසක් දිග උරගයකු ගෙන (මෙහි) පැමිණියෙමි. මහා ශරීර ඇති, අප දෙදෙනා උසුලමින් (නුඹ) කම්පා නොවූයෙහිය. එසේ ඇතිකල්හි, මට වඩා ඉතාමත් මඳ වූ මස් ඇති, මේ කුඩා කිරිල්ල උසුලමින් කුමක් නිසා බියට පත්ව වෙවුලහිද?
මෙහි ‘දසසතං ව්යාමං’ යනු ‘බඹ දහසක්’ යන අර්ථයි. ‘උරගමාදාය මාගතො’ යනු ‘මෙබඳු මහත් වූ උරගයකු ගෙන මෙහි පැමිණියෙමි’ යන අර්ථයි. ‘තඤ්ච මඤ්ච’ යනු ‘ඒ උරගයා ද මා ද’ යන අර්ථයි. ‘ධාරයං’ යනු ‘උසුලමින්’ යන අර්ථයි. ‘ව්යාධසෙ’ යනු කම්පා වෙහිද? යන අර්ථයි. ‘කමත්ථං’ යනු ‘කුමටද? කුමන කාරණයක් නිසා දැ’යි විචාරයි’ යන අර්ථයි. ‘කුමන කාරණයක් දැක දැ’යි යන අර්ථයි. ‘කොටිසිම්බලි’ යනු ‘ගසේ නාමයෙන් දෙවියාට අමතයි’ යන අර්ථයි. ‘ඒ කටු ඉඹුල් ගස මහත් වූ කඳන් හා අතු ඇති බැවින් ඒ නම ලැබීය. එහි අධිගෘහිත දිව්‍ය පුත්‍රයාට ද ඒ නම ම කියයි’ යන අර්ථයි.
ගුරුළාගේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයමින් දිව්‍ය පුත්‍රයා ගාථා සතරක් පැවසීය.
3. ගුරුළු රාජය, ඔබ මස් කන්නෙකි. මේ කුරුල්ලා ගෙඩි කන්නෙකි. මූ නුගබීජ හෝ, පුලිල බීජ හෝ, දිඹුල් බීජ හෝ, ඇසතු බීජ හෝ අනුභව කොට මගේ (රුක්) කඳ මත හෙළන්නේය.