6. සුසීම ජාතකය (411)
‘කාළානි කෙසානි පුරෙ අහෙසුං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙෙහර වැඩවාසය කරන සේක්, මහබිනික්මන් අරබයා වදාළ සේක. එකල දම්සභාවෙහි රැස්වූ භික්ෂු පිරිසක් බුදුරදුන්ගෙන් අබිනික්මන් සම්බන්ධයෙන් වර්ණනා මුඛයෙන් කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, නොයෙක් කල්ප කෝටි ගණනක් පෙරුම්දම් පිරූ මා විසින් මහාභිනිෂ්ක්‍රමණය කිරීම මහා ආශ්චර්යයක් නොවේ. පෙරදී ද, මම දිග පළලින් යොදුන් තුන්සියයක් වූ ‘කාසි’ රට රාජ්‍යය අතහැර දමා, ගිහිගෙයින් නික්මී ගියෙමැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ පුරෝහිත බමුණාට පුත්ව උපන්නේය. ඒ වනවිට රජුගේ අග මෙහෙසිය ද ගැබ්ගෙන සිටියාය. බෝසතුන් ඉපදුනු දා ම අගමෙහෙසිය ද පුත් කුමරුවකු බිහි කළාය. ඒ කුමාරවරුන්ට නම් තබන දිනයේ දී බෝසතුන්ට ‘සුසීම’ කුමාරයා යැයි ද, රාජ කුමාරයාට ‘බ්‍රහ්මදත්ත’ කුමාරයා යැයි ද, නම් තැබූහ. බරණැස් රජතුමා තම පුතණුවන් උපන්දින ම පුරෝහිත පුත්‍රයා ද උපන් බැවින්, මේ කුමාරවරුන් දෙදෙනා ම, එකට වැඩිය යුතු යැයි කල්පනා කෙළේය. අනතුරුව ඒ ගැන පුරෝහිතතුමා සමග සාකච්ඡා කළ රජතුමා, සුසීම කුමාරයා ද රජවාසලට ගෙනවුත්, කුමාරවරුන් දෙපලම එකට තබා, දෙදෙනාටම රජුගේ අණින් වෙන වෙන ම කිරි මවුවරුන් යොදා, සම ව වැඩුවේය. මේ දෙදෙනා ම නිසිවියට පත්වූ කල්හි, විශිෂ්ට රූපයෙන් යුතු දිව්‍ය කුමාර විලාශයෙන් ද දුටුවන් සිත් බැඳගන්නා වර්ණ සම්පත්තියෙන් ද හා තේජාන්විත භාවයෙන් ද යුක්ත වූවාහු වෙති. රජුගේ අනුදැනීමෙන් තක්ෂිලාවට ගිය කුමාරවරු දෙදෙනා, එහි දී සියලු ශිල්ප උගෙන පෙරළා සිය රට බලා පැමිණියහ. කුමාරවරුන්ගේ උගත්කම් ගැන සලකා බැලූ රජතුමා රාජපුත්‍රයාට යුවරජ තනතුර පිරිනැමීය. බෝසතුන්ට කිසිදු තනතුරක් නොලැබුණත් ඔහු තම මිත්‍රයා වන යුවරජු සමග. එකට කමින්-බොමින්-හිඳිමින්-නිදමින් කාලය ගත කෙළේය. ටික කලෙකින් අගරජතුමා මිය ගියේය. පියරජුගේ අභාවයෙන් අග රජ බවට පත්වූ යුවරජතුමා බෝසතුන්ට මහත් යසස් සම්පත් දී, ඊට අමතරව පුරෝහිත තනතුර ද පිරිනැමුවේය. එක් දවසක් නුවර සරසවා, ‘අලංකාර කරන ලද ඓරාවණ හස්තිරාජයා මතට නැගි සක්දෙව් රජු’ මෙන්, බරණස් රජතුමා සර්වාභරණයෙන් සැරසී, උතුම් වූ මංගල හස්තිරාජයා පිටට නැගී, බෝසත් පුරෝහිතතුමා තම අසුනට පිටුපස අසුනෙහි හිඳුවාගෙන, නුවර පැදකුනු කෙළේය. රජුත් පුරෝහිතතුමාත් දිව්‍ය රාජයන් මෙන් පෙනුණි. මේ අතර රජතුමාගේ මවු බිසව තම ‘පුතා බලන්නෙමැ’යි සීමැදුරු කවුළුව ළඟට වී, නගරය දෙස බලා සිටියාය. නුවර පැදකුණු කොට සහපිරිවරින් මාලිගයට එන රාජකීය පිරිස දෙස බලා සිටි, මවු බිසව ස්වකීය පුත් වූ, රජතුමා ඉක්මවා පසුපස අසුනෙහි හුන් ආරෝහ-පරිණාහ දේහ විලාශයෙන් යුතු පුරෝහිතතුමා දැක, ඔහු කෙරෙහි පිළිබඳ සිතක් ඇතිකොට ගත්තාය. බොහෝ වේලාවක් ඔහු දෙස බලාගත් වන ම සිටි ඈ, එතැනින් ඉවත්ව තම යහන් ගැබට ගොස්, ‘මේ පුරෝහිත තුරුණයා මට නො ලැබෙන්නේ නම් මෙහිම මිය යන්නෙමැ’යි අධිෂ්ඨාන කොටගෙන, සියලු ආහාර ප්‍රතික්ෂේප කරමින් යහනෙහි වැද හොත්තීය.
මැදුරට පිවිසි රජතුමා ටික වේලාවකින් සිය මෑණියන් දක්නට නොමැති බැවින්, ‘මාගේ මෑණියන් කොහිදැ’යි සේවිකාවගෙන් අසා, ඇය ගිලන් ව ඇති බව ඔවුන්ගෙන් දැන, වහා මෑණියන්ගේ යහන් ගැබට පිවිස, පළමුකොට ඇයට වැඳ ‘මෑණියනි, ඔබට ඇති අසනීපය කුමක්දැ’යි විචාළේය. ලජ්ජාවෙන් මිරිකුණු ඇය වචනයක්වත් නොකීවාය. මඳ වේලාවකින් ආපසු පැමිණි රජතුමා සිංහාසනයෙහි වාඩි වී කල්පනා කරන්නට පටන් ගත්තේය. අනතුරුව සිය අගමෙහෙසිය ළඟට කැඳවා ගත් රජතුමා, ‘සොඳුර, ඔබ අප මෑණියන්ගේ යහන්ගැබට යන්න. ඈට ඇති අසනීපය කෙසේ හෝ දැනගෙනම ආපසු එන්නැ’යි කියා මෙහෙසිය පිටත්කොට හැරියේය. අගමෙහෙසිය ද, මවු බිසව වෙත ගොස් ඇගේ පිට පිරිමදිමින් අසනීපය ගැන ප්‍රශ්න කළාය. ස්ත්‍රීහු නම් ස්වකීය රහස් ස්ත්‍රීන්ගෙන් නො සඟවති. එබැවින් මවු බිසව තම සිතේ ඇති වූ ආශාව ස්වකීය ලේලියට රහසිගතව කීවාය. ඇයද ඒ සියලු විස්තර නොවළහා රජුට සැල කළාය. ටික වේලාවක් කල්පනා කළ රජතුමා, ‘සොඳුර, කමෙක් නැත. පුරෝහිතතුමා අගරජු බවට පත්කොට, මෑණියන් ඔහුට අගමෙහෙසිය කොට දෙන්නෙමැ’යි, මා කී බව මෑණියන්ට කියා ඇය අස්වසනු මැනවැ’යි නැවත වරක් අගමෙහෙසිය සිය මෑණියන් වෙත පිටත්කොට හැරියේය. අගමෙහෙසිය ද, රජුගේ පණිවුඩය මවු බිසවට කියා, ඈ අස්වැසුවාය. පසුදා රාජකාරි සඳහා රජමැදුරට පැමිණි පුරෝහිතතුමාට කථා කළ රජතුමා, මේ සියලු කාරණා ඔහුට පවසා ‘මගේ හිතවත් මිත්‍රය, මගේ මැණියන්ගේ ජීවිතය බේරාදෙනු මැනවි. ඔබතුමා අගරජු වන්න. මාගේ මෑණියන් අගමෙහෙසිය කොට පිළිගන්න. මම යුවරජු වන්නෙමි’යි කීයේය. ‘මට මෙය කිසිසේත් කළ නොහැක්කකැ’යි කියා ගැනීමට නොහැකිවූ පුරෝහිතතුමා, වචනයකින්වත් විරෝධයක් පෑමට තරම් ශක්තියක් නැතිව, බලාගත් අත බලාගෙන, නිශ්ශබ්දවම හුන්නේය. පසුව ඉතාමත් අපහසුවෙන් වචන ගොතා, ඒ යෝජනාවට තමා අකමැති බව පුරෝහිතතුමා, රජුට කෙසේ හෝ කියා ගත්තේය. එයින් දුර්මුඛ නොවුණු රජතුමා, නැවත නැවත යාඥා කොට, එකී යෝජනාවට පුරෝහිතතුමා, මහත් අපහසුවෙන් කැමති කරවා ගත්තේය. මහත් උත්සවාකාරයෙන් පුරෝහිතතුමා අගරජු බවට පත් කළ රජතුමා, සිය මෑණියන් අගමෙහෙසිය කොට, අලුත් රජතුමාට පාවා දී තෙමේ යුවරජ තනතුරට පත් විය.
මෙසේ යුගදිවියට එළඹුණු අලුත් රජතුමා වැඩි දවසක් යන්නට මත්තෙන් ගිහිගෙයි කළකිරුණේය. සියලු දේ අතහැර මහණවීම සඳහා සිත නැමුණේය. තමාගේ සිත නිතර නිතර, ඒ සඳහාම බල කරන්නට පටන් ගත්තේය. රතියෙහි අල්පමාත්‍ර වූ ද ඇල්මක් නැති ඔහු, තනිව සිටින්නටත්, තනිව හිඳින්නටත්, තනිව නිදන්නටත් හුරු විය. මේ රජ සැප කෙතෙක් අධිකව තිබුණත් රජුට දැනුණේ ‘තමා සිරගෙදර, සිරමැදිරියකු කොටු වූවකු’ ලෙසිනි. ‘කූඩුවක දමන ලද කුකුළකු වැනි යැ’යි ඔහුට තමා ගැනම සිතුණි. මේ අතර අගමෙහෙසිය රජු ගැන, නිතර නිතර සිතන්නට පටන් ගත්තාය. මාගේ ස්වාමි වූ මේ රජතුමා මා කෙරෙහි ඇලුම් නොදක්වයි. තනිවම සිටී. තනිවම හිඳී. තනිවම නිදයි. මොහු වනාහි ලාබාල තරුණයෙක්මි. මම මැහැල්ලක්මි. ඔහුගේ හිසකෙස් කළුය. මාගේ හිසකෙස් සුදු වී ඇත. දැන් කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් කිසියම් උපායකින් රජු රවටා මා කෙරෙහි නතුකොට ගැනීම යි’. මෙසේ සිතූ ඇය කිසියම් දිනෙක රජුගේ හිස පරීක්ෂා කරන ආකාරයක් බොරුවට පෙන්වමින්, හිස අතගාමින් සිට, ‘දේවයිනි, ඔබතුමා මහලු වූ සෙයක් පෙනේ. ඔබේ හිසේ ඉදුණු කෙස්ගසක් ඇතැ’යි කීවාය. මෙයින් කිසිදු වෙනසකට පත් නොවූ රජතුමා, ‘සොඳුර, එසේ වී නම් ඒ ඉදුණු කෙස් ගස ගලවා මාගේ අත්ල මත තබනු මැනවැ’යි කීවේය. එවිට ඇය තම හිසින් එක් කෙස්ගසක් ගලවා, ‘දේවයන් වහන්ස, මේ ඔබේ කෙස් ගස යැ’යි කියා, එය රජුගේ අත්ල මත තැබුවාය. මුලදී බිසවගේ කථාව විශ්වාසයට නොගත් රජතුමා, මෙය දුටු මතින් බියෙන් ත්‍රස්ත විය. රත්රන් පටියක් වැනි සිය නළල් තලයෙන් ඩාදිය වැගිරෙන්නට විය.
රජතුමා තමාටම අවවාද කරගනිමින්, ‘සුසීම, නුඹ තරුණයකු ලෙස සිතා සිටියත්, දැන් නුඹ මහල්ලෙකි. නුඹ මෙතෙක් කල් අසූචි වළක ගිලුණු, ගම් ඌරකු මෙන්, කාම මඩෙහි එරී, ඒ මඩින් මිදෙන්නට නොහැකිව, සිටියෙහිය. දැන් මේ උදා වී ඇත්තේ, කාමයන් අත්හැර හිමවතට පිවිස පැවිදිව, බඹසර රැකීමට සුදුසු කාලය නොවේදැ’යි සිතා, මෙසේ කීවේය.