5. සෝමදත්ත ජාතකය (410)
‘යො මං පූරෙ පච්චුදෙති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා මහලු භික්සු නමක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව කිසියම් දරුවකු පැවිදි කොට ගත්තේය. ඒ සාමණේර නම සිය ගුරුවරයාට මහත් උපකාරිකයෙක් විය. පසුකලෙක දැඩි රෝගයකින් පීඩාවට පත් සාමණේර නම, ඒ රෝගයෙන් ම කලුරිය කෙළේය. ඔහු මළ කල්හි, මහලු භික්ෂුවට එය දරාගත නොහැකි විය. එබැවින් උන්වහන්සේ අඬමින් වැලපෙමින් කල්ගත කරන්නට පටන් ගත්හ. මේ දුටු භික්ෂූහු දම්සභාවේදී ඒ ගැන කතා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම විමසා දැන, ‘මහණෙනි, මොහු මෙසේ වැලපුනේ, හැඬුවේ දැන් පමණක් නොවේ. පෙර ද එසේ කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කතාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ශක්රයා ව ඉපිද සිටියේය. මේ අතර කසී රටට අයත් කිසියම් නියම්ගමෙක එක පොහොසත් බ්රාහ්මණයෙක් කම්සුව අතහැර හිමවතට පිවිස, සෘෂි පැවිද්දෙන් පැවිදිව, භික්ෂා චර්යාවෙන් හා වනමුල් පලවැලවලින් යැපෙමින් දිවි ගෙව්වේය. පලවැල සොයාගනු සඳහා අසපුවෙන් පිටවුණු තවුස්තුමා කැලයෙහි ඇවිදිනවිට, අතරමං වූ එක් ඇත් පැටවකු දැක, ඌ තමාගේ අසපුව වෙත ගොනවුත් පුත් තනතුරෙහි තබා, ‘සෝමදත්ත’ යන නම ද යොදා, ඇතිදැඩි කෙළේය. තණකොළ අතුඉති ආදිය කවමින්, තවුසා මැනවින් ඇත්පැටියා පෝෂණය කරන්නට වගබලා ගත්තේය. ටික කලකදී ම සෝමදත්ත නම් වූ මේ ඇත්පැටියා, විශාල සිරුරක් ඇතිව වැඩුනේය. කිසියම් දවසක පමණට වඩා ආහාර ගත් ඇත් පැටවාට ඒ ආහාර දිරවාගත නොහැකි විය. අජීර්ණය හේතු කොටගෙන ඇත් සිරුර දුබල විය. මේ ගැන කිසිත් නොදත් තවුසා ඇත් පැටවා අසපුවෙහි තනිකොට දමා, පලවැල සඳහා වනාන්තරයට ගියේය. තවුසා පෙරළා අසපුවට එන්නට පෙරාතුවම ඇත්පැටවා මිය ගියේය. පලවැල රැගෙන අසපුවට එන තවුසා ඇත්පැටවා කොහිදැ’යි විමසා බලා, ‘මගේ සෝමදත්ත පුතා අන් දිනවල මා අසපුවට එන කල්හි, මගේ ඉදිරියට පෙරගමන් එයි. අද ඔහු පෙනෙන්නට නැත්තේ කොහි ගිහින්දැයි වැලපෙමින් මෙසේ කීවේය.
යො මං පුරෙ පච්චුදෙති - අරඤ්ඤෙ දුරමායතී,
සො න දිස්සති මාතංගො - සොමදත්තො කුහිං ගතො
සො න දිස්සති මාතංගො - සොමදත්තො කුහිං ගතො
පෙරදී යමෙක් කැලයේ ඈත තියා, දුර සිටින මා ඉදිරියට පැමිණේද? ඒ මහත් සිරුරක් ඇති සෝමදත්ත පෙනෙන්නට නැත. කොහි ගියේද?
මෙහි ‘පුරෙ’ යනු ‘මින් පෙර’ යන අර්ථයි. ‘පච්චුදෙති’ යනු ‘ඉදිරියට පැමිණෙයි’ න අර්ථයි. ‘අරඤ්ඤෙ දූරං’ යනු ‘මේ මිනිසුන් නැති කැලයෙහි, දුර සිටිනාම ඉදිරියට පැමිණෙයි’ යන අර්ථයි. ‘ආයති’ යනු ‘දිගින් යුතු’ යන අර්ථයි.
බොහෝ වැලපෙමින් අසපුවට පැමිණි තවුසා, සක්මන්මලුවේ කෙළවර වැටී සිටි ඇත්පැටවා දැක, උගේ බෙල්ල බදාගෙන විලාපදෙමින් මෙසේ කීවේය.
2. ඒ මේ ඇතා ‘මාලුවා’ වැලකින් සිඳ දැමූ දළුවක් මෙන් අවසන් නින්දේ නිදයි. බිම වැතිරී නිදන මේ ඇතා ඒකාන්තයෙන් මළේය.
මෙහි ‘අයංවා’ යන්නෙහි ‘වා’ ශම්බදය විස්තර කිරීම් අර්ථයෙහි වැටේ. ‘අනෙකකු නොව මේ ඔහු ම යැ’යි පැහැදිලි කරමින් මෙසේ කීය’ යන අර්ථයි. ‘අල්ලපිංකං’ යනු ‘මාලුවා වැලේ අග දළුව’යි. ‘ඡිජ්ජිතො’ යනු ‘සිඳ දැමූ’ යන අර්ථයි. ‘ග්රීෂ්ම සමයේ මධ්යාහ්න වේලෙහි රත් වූ වැලි මත නියෙන් සිඳ හෙලූ අංකුරයක් වැනි යැ’යි කියන ලද්දේ වේ. ‘භූමසා’ යනු ‘පොළොවෙහි’ යන අර්ථයි. ‘අමරා වත’ යනු ‘ඒකාන්තයෙන් මළේය’ යන අර්ථයි. ‘අමරි’ යනු ද පාඨයකි.
එකෙණෙහි ලො බලන ශක්රයා, හඬන තවුසා දැක, ‘මේ තාපසයා අඹුදරුවන් අතහැර පැවිදි වූවෙකි. එසේ වූ ඔහු දැන් ඇත් පැටවකු කෙරෙහි පුත්ර ප්රේමය උපදවා ගෙන වැලපේ. එබැවින් ඔහු සංවේගයට පත්කොට මනා සිහියෙහි පිහිටුවන්නෙමැ’යි කල්පනා කොට තවුසාගේ අසපුව වෙත පැමිණ, අහසෙහි සිට ඔහු අමතා මෙසේ කීවේය.
3. ‘මළවුන් වෙනුවෙන් ශෝක කෙරෙයි’ යන යමක් වේ නම්, එය අනගාරික භාවයෙන් යුතු, මිදුණු සිත් ඇති, පැවිද්දකුට තරම් නොවේ.
ශක්රයාගේ මේ කියමන අසා හුන් තවුසා, ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ කීයේය.
4. ශක්රය, එකට විසීම නිසා මිනිසකුගේ වුවත්, තිරිසනකුගේ වුවත් හදවතෙහි ප්රේමයක් හටගනී. (එබැවින්) ඔහු ගැන ශෝක නො කිරීමට නොහැකිය.
මෙහි ‘මිගස්ස වා’ යන මෙහි ‘මිගා’ යන්නෙන් සියලු තිරිසනුන් ගැන කියන ලදි යන අර්ථයි. ‘තං’ යනු ‘ප්රිය කළ සතා’ යන අර්ථයි.
තවුසාගේ පිළිතුර අසා සිටි, සක්දෙව් රජ ඔහුට අවවාද වශයෙන් මෙසේ කීය.
5. යම් කෙනෙක් මියගිය තැනැත්තා වෙනුවෙන් හඬත් ද? ‘මැරෙමි’යි කියා වැලපෙත් ද? ඒ හැඬීම හිස් දෙයකැ’යි සත්පුරුෂයෝ කියති. සෘෂිය, එබැවින් ඔබ නොහඬනු මැනව.
6. බමුණ, ඒකාන්තයෙන් මියගිය තැනැත්තා, ‘හැඬීම’ නිසා මළවුන්ගෙන් නැගිටියි නම්, සියලු දෙනා එකතු වී ඔවුනොවුන්ගේ මිය ගිය නෑයින් වෙනුවෙන් හඬමු.
මෙහි ‘යෙ රුදන්ති ලපන්ති ච’ යනු ‘බමුණ, යම් සත්ත්ව කෙනෙක් හඬත් ද? වැලපෙත් ද? ඔවුහු මළ කෙනකු වෙනුවෙන් ම එසේ කෙරෙති. යමෙක් මැරේ ද? ඔවුහු ඒ මළ තැනැත්තා ගැන හඬති. එසේ හඬන ඔවුන්ගේ ඇස්වල කඳුළු වියැලෙන දවසක් නැත’ යන අර්ථයි. ‘තස්මා ත්වං ඉසි මා රොදි’ එබැවින් සෘෂිය, ඔබ නො හඬනු මැනව. කුමක් නිසාද?’ යන අර්ථයි. ‘රොදිතං මොඝාමාහුසන්තො’ යනු ‘පඬිවරු වනාහි හැඬීම නිශ්ඵල වැඩෙකැ’යි කියති’ යන අර්ථයි. ‘මතො පෙතො’ යනු ‘මේ මියගිය කෙනා ප්රේත යන සංඛ්යාවට වැටේ. ඉදින් හැඬීම නිසා, මියගිය කෙනා නැගිටින්නේ නම්, එසේ ඇති කල්හි, අපි සියලු දෙනා එක්ව ඔවුනොවුන්ගේ නෑයින් වෙනුවෙන් හඬමු. එයින් ඉවත්ව කුමට හිඳිමුද?’ යන අර්ථයි.
තවුස්තුමා ශක්රයාගේ මේ වචන අසා, සිහි එළවා, ශෝකය දුරුකොට කඳුළු පිස, ශක්රයාට ස්තුති කරමින් මේ ගාථා ප්රකාශ කෙළේය.
7. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන්, රත් වී හුන් මට ජලය ඉස්සාක් වැනි විය. සියලු පීඩා නිව්වෙහිය.