4. දළ්හධම්ම ජාතකය (409)
‘අහඤ්චෙ දළ්හධම්මාය’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක්, ‘උදේනි’ රජුගේ ‘භද්‍රවතී’ ඇතින්න නිමිතිකොට ගෙන වදාළ සේක. ඒ ඇතින්න විසින් ලබන ලද විවිධ වූ විධානයන් ගැන ද, උදේනි රජුගේ රාජ වංශය සම්බන්ධ විස්තර ද, ‘මාතංග’ ජාතකයෙහි විස්තර කෙරේ. කිසියම් දිනෙක ඉහත කී භද්‍රවතී ඇතින්න නුවරින් නික්මී යනවිට ආර්ය සංඝයා පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ, උදෑසනම අප්‍රමාණ වූ බුද්ධශ්‍රීයෙන්, පිඬු පිණිස නුවරට ඇතුල්වනු දැක, වහා ගොස් බුදුරදුන්ගේ පාමුල වැද හෙව, ‘සියල්ලන් ලෝකයෙන් එතෙර කරන, සියල්ල දත්, භාග්‍යවතුන් වහන්ස, උදේනි වංශික මේ රජතුමා, මා තරුණ කාලයේ දී, නියම කළ කටයුතු වහා නිම කළ හැකි කාලයේ දී, ‘මැය නිසා මගේ ජීවිතය බේරුණි. මේ රාජ්‍යයත්, මාගේ අග මෙහෙසියත් ලැබුණේ මෑ නිසාම යැ’යි කල්පනා කොට, මා කෙරෙහි ප්‍රියභාවය උපදවා, මහත් වූ රැකවරණ හා සම්පත් මට දුන්නේය. සියලු අලංකාරයන්ගෙන් මාගේ සිරුර සැරසුවේය. එපමණක් නොව, මා වෙසෙන තැන සරසා, සුවඳ පිරිබඩ ගල්වා, හිස ඉහළින් රන්තරු වලින් වැඩ දමන ලද වියන් බන්දවා, අවට විසිතුරු වටතිරවලින් සරසා, සුවඳ තෙල් යොදා පහන් දල්වා, සුවද දුම් තැටි තැන තැන තබ්බවා, මළපහ කරන තැන විශාල ස්වර්ණමය භාජනයක් පිහිටුවා, මා නිදාගන්නා ස්ථානයෙහි, විසිතුරු ඇතිරිල්ලක් එලා, ඒ මත මා සැතපවීය. රාජභෝජන හා සම වූ නොයෙක් රසයෙන් යුතු ආහාර කන්නට දෙවීය. එහෙත් දැන් වනාහී, මා මෙසේ මහලු බවට පත්වූ කල්හි වැඩක් පලක් කරගැනීමට නොහැකි කල්හි, මට දුන් ඒ සියලු රැකවරණ හා සැප සම්පත් සිඳ දැමුවේය. අනාථව පිහිටක් නැතිව ආහාර පවා හිඟව, දැන් මම කැලයට වැදි, වැටකේ කොළ කා ජීවත් වෙමි. එබැවින් ස්වාමීනි, ඔබවහන්සේ හැර අන් පිළිසරණක් මට නැත. මා කෙරෙහි අනුකම්පාකොට උදේනි රජුට මාගේ ගුණ සිහිපත් කරවා, අහිමි වූ පැරණි සැලකිලි හා රැකවරණ මට නැවත සලසා දෙනු මැනවැ’යි වැලපෙමින් තථාගතයන් වහන්සේට යැද්දාය.
බුදුරජාණන් වහන්සේ, ‘ඇතින්න, ඔබ යන්නට ආ ගමන යන්න. මම ඔබ ගැන රජුට කියා, නැති වූ සම්පත් යසස් පෙරළා ලබා දෙන්නට කටයුතු කරන්නෙමැ’යි වදාරා රජුගේ මාලිගාව වෙත වැඩි සේක. බුදුරදුන් දුටු රජතුමා උන්වහන්සේ මාලිගාව තුළට වඩම්මා, රජගෙයි දී, බුද්ධප්‍රමුඛ මහා දන් පැවැත්වීය. දානයෙන් පසු අනුමෝදනා බණ දෙසන බුදුරජාණන් වහන්සේ, දේශනාවෙන් අනතුරුව, ‘මහරජතුමනි, භද්‍රවතිකා ඇතින්න කොහි දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, ඈ ගැන මම නො දනිමි’යි රජතුමා උත්තර දුන්නේය. ‘මහරජ, තමාට උපකාර කළ අයට යසස් සම්පත් දී, ඔවුන්ගේ මහලු කාලයේ දී, දුන් සම්පත් ආපසු ලබාගැනීම නො වටී. කළගුණ සැලකීම, කෘතවේදී වීම, වටිනා දහමකි. භද්‍රවතිකා දැන් මහලුය. ජරාජීර්ණ වූ ඇය අනාථ කිරීම, ඔබට තරම් වූවක් නොවේ. එය අයුතු යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, ‘මහරජ, ඔබ නො දන්නවාට, ඇය දැන් කැලයට වැදී වැටකේ කොළ කා ජීවත් වන්නීය. එබැවින් මහලු කල, පිහිටක් නැති කල, ඇය රැකගැනීම ඔබේ යුතුකමකි. පැරණි සම්පත් ඇයට නැවතත් ලබාදීමට කටයුතු යොදනු මැනවැ’යි භද්‍රවතිකා ඇතින්නගේ ගුණ කී, බුදුරජාණන් වහන්සේ රජගෙදරින් නික්ම වැඩියේය. අනතුරුව රජතුමා ද, බුදුරදුන් කී අයුරෙන් ම ඇතින්න වෙනුවෙන්, කටයුතු සම්පාදනය කෙළේය. මේ සිද්ධිය මුළු නුවර පුරා කටින් කට පැතිර ගියේය. භික්‍ෂු සංඝයා අතරද, මේ පුවත ප්‍රචලිත විය. දම්සභාවට රැස් වූ භික්‍ෂූහු, ඒ ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි, එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව පෙර ද මම භද්‍රවතිකාගේ නැති වූ සම්පත් නැවත ලබා දෙන්නට, කටයුතු කෙළෙමැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර ‘දළ්හධම්ම’ නමින් රජෙක් රාජ්‍යය කෙළේය. එකල අප බෝසත් තෙමේ ඇමැති පවුලක උපත ලැබ, නිසිවියට පත්ව, රජුට රාජකාරිය කෛළ්ය. ඔහු ටික කලකදීම රජුගේ සිත් දිනාගෙන මහත් වූ යසඉසුරු ලැබ ඉහළම තලයේ ඇමැති පදවියක් හෙබවීය. එකල රජුට ‘ඔට්ඨිව්‍යාධි’ නමින් යුතු, ශක්තියෙන් හා බලයෙන් ඉතාමත් ශක්ති සම්පන්න වූ, ජවාධික ඇතින්නක් වූවාය. ඈ එක් දිනකට යොදුන් සියයක් ගමන් කරයි. ඇගේ ප්‍රධාන රාජකාරිය රජුගේ දූත මෙහෙවරෙහි යෙදීමයි. එහෙත් යුධමය අවස්ථාවක් එළඹුණු කල්හිද, ඈ නො පිරිහෙළා සතුරන් මැඩීමෙහි යෙදේ. රජතුමා ඇයගෙන් ලද, බොහෝ උපකාර සැලකිල්ලට ගෙන, ඇයට සර්වාභරණ ලබාදී, උදේනි රජු විසින් භද්‍රවතිකා ඇතින්නට ලබාදුන් ආකාරයේ සියලුම සම්පත් හා රැකවරණ දෙවීය. එහෙත් ඇය ජරාජීර්ණ වී දුබල වූ කල්හි, රජතුමා ඇයට දුන් සම්පත් නැවත ආපසු ගත්තේය. එතැන් පටන් අනාථ අසරණ භාවයට පත් ඔට්ඨිව්‍යාධි ඇතින්න කැලයට වැදී තණකොළ කමින්, ජීවත් වන්නට පටන් ගත්තාය. කිසියම් දිනෙක රජපවුලෙහි වළං හිඟ වූ අවස්ථාවක, රජතුමා කුඹලා කැඳවා, රජමැදුරට වැඩිපුර භාජන අවශ්‍ය බව දැනුම් දුන්නේය. එවිට කුඹලා රජුට වැඳ ‘ස්වාමීනි, වළං පිළිස්සීම සඳහා ගොමරිටි අත්‍යාවශ්‍යය. ගොම රිටි පටවා ගෙනෙන කරත්තයට යෙදීම සඳහා ගොනකු ලබාදෙනු මැනවැ’යි කීය. කුඹලාගේ කථාව ඇසූ රජතුමා, ළඟ සිටි පුරුෂයන් අමතා ‘අපේ ඔට්ඨිව්‍යාධි ඇතින්න කොහිදැ’යි ඇසීය. ‘දේවයිනි, ඇය ඉබාගාතේ ඇවිදිමින් සිටීයැ’යි පුරුෂයෝ පිළිතුරු දුන්හ. කුඹලා ඇමතූ රජතුමා, ‘අද පටන් නුඹේ රථයෙහි, ඒ ඇතින්න යොදා ගොමරිටි ඇද ගනුව’යි කියා කුඹලාට ඇය භාර කෙළේය. කුඹලා ද සතුටින් යුතුව ‘දේවයිනි, යහපතැ’යි කියා, කී ලෙසින්ම කටයුතු කෙළේය.
කිසියම් දවසක නගරයෙන් නික්මෙමින් සිටි ඈ, නගරයට පිවිසෙන බෝසත් ඇමතිතුමන් දැක, ඔහුගේ පාමුල වැතිර, හඬා වැලපෙමින් ‘ස්වාමීනි, මා තරුණ කාලයේ දී ‘බොහෝ උපකාර වූ සතෙකැ’යි සලකා, රජතුමා මට මහත් යස ඉසුරු දෙවීය. එහෙත් දැන් මා මහලු කල්හි, දුන් සියලු වස්තුව ආපසු ගෙන මා අමතක කොට දමා ඇත. දැන් ඔහු මා සිටින බවක්වත් සිහිපත් නොකරයි. එයින් අනාථ අසරණ භාවයට පත්වූ, මම දැන් කැලයට වැදී තණකොළ කා ජීවත් වෙමි. මෙසේ දුකට පත් මා විඳින කරදර මදිවාට, කරත්තයකින් ගොම ඇදීම සඳහා මා කුඹලාට භාර කෙළේය. එබැවින් ස්වාමීනි, මට දැන් ඔබ හැර අන් පිළිසරණක් නැත. මා විසින් රජුට කළ උපකාරය ඔබ දනී. එබැවින් මාගේ ඒ අහිමි වූ සම්පත්, නැවත ප්‍රකෘතිමත් කොට දෙනු මැනවැ’යි, කී ඇතින්න තවදුරටත් කථා කරමින් මෙසේ ද කීවාය.
අහඤ්චෙ දළ්හ ධම්මාය - වහන්තී නාභිරාධයිං,
නුදන්ති උරසී සල්ලං - යුද්ධෙ වික්කන්ත වාරිණී
ඉදින් මම සංග්‍රාමයේ දී (සතුරන්ගේ) පපුවලට ආයුධ විසිකරමින්, වික්‍රමාන්විත ක්‍රියා කෙරෙමින්, දළ්හධම්ම රජු ඔසවාගෙන යමින්, (ඔහු) සතුටු නො කෙළෙම්ද?
2. ඒකාන්තයෙන් රජතුමා මාගේ පෞරුෂය ද, වික්‍රමයන් ද, යුද්ධයේදී කළ ක්‍රියාවන් ද, දූත මෙහෙවර ද නො දනියි.
3. ගොමරිටි ඇදීම සඳහා කුඹලාට දෙන ලද්දා වූ, නෑයින්ගෙන් තොර, අසරණ වූ, ඒ මම ඒකාන්තයෙන් මරණයට පත් වන්නෙමි.
මෙහි ‘වහන්තී’ යනු ‘පණිවිඩ පනත් ගෙන යාම, යුද්ධයේදී බලකොටු බිඳීම ආදි වූ ඒ ඒ කටයුතු කරමින්, නිරත වූ කටයුතු නිමා කරමින්’, යන අර්ථයි. ‘නුදන්තී උරසි සල්ලං’ යනු ‘යුධබිමේදී පපු පෙදෙසෙහි බඳින ලද ඊයක් හෝ, කඩුවක් හෝ, ආයුධයක් හෝ, සතුරන් මතට පමුණුවමින්’ යන අර්ථයි. ‘වික්කන්තචාරිණී’ යනු ‘වික්‍රම කොට සතුරු බලයන් දිනීමෙන්, සංග්‍රාමයේදී විවිධ වික්‍රමයන් කරමින්’, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම්, ‘ස්වාමීනි, ඔබ මේ කටයුතු කරමින් දළ්හධම්ම රජුගේ සිත් නො ගත්තෙන් නම්, ඔහු සතුටු නො කෙළෙම් නම්, එකල අන් කවරෙක් ඔහුගේ සිත් සතුටු කරන්නේද?’ යන අර්ථයි.