3. කුම්භකාර ජාතකය (408)
‘අම්බාහමද්දං වනමන්තරස්මි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක, ක්ලේශ නිග්‍රහයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘පාණීය’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව සැවැත්නුවර විසූ පන්සියයක යහලු පිරිසක් සසුනෙහි පැවිදි වී දෙව්රම් වෙහෙර විශ්‍රාම ශාලාව තුළ කෙළවරෙහි වාසය කළහ. නොනිදා හුන් කිසියම් දවසක රෑ මැදියමේ දී ඔවුන්ට කාම විතර්කයක් ඇතිවිය. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් ගැන දවල්ට තුන්වරක් බැගින් ද, රෑට තුන්වරක් බැගින් ද, සය වරක් සොයා බලන සේක. කිරල් දෙනක් තම බිත්තර රකින්නාක් මෙන් ද, සෙමර මුවකු වලිගය රකින්නාක් මෙන් ද, මවක ස්වකීය ප්‍රිය පුත්‍රයා රකින්නාක් මෙන් ද, කණකු තම එකම ඇස රකින්නාක් මෙන් ද, බුදුරජාණන් වහන්සේ තම සව්වන් රකින සේක. ඒ ඒ අවස්ථාවල උපන් ක්ලේශයන්ට නිග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ, එම කෙලෙසුන්ගෙන් මිදෙන අයුරු, භික්‍ෂූන්ට උගන්වන සේක. එදා ද බුදුරජාණන් වහන්සේ රෑ මැදියම් වේලෙහි භික්‍ෂූන් ගැන සොයා බලද්දී, මුළු ජේතවනයම පිරික්සද්දී, එකී භික්‍ෂූන්ට ඇති වූ විතර්කය දැක, ‘මේ භික්‍ෂූන්ගේ සිත් තුළ, මේ කාම විතර්කය වැඩුණහොත්, එය මොවුන්ගේ රහත්වීමට ඇති හේතුව සිඳ දමන්නේය. එබැවින් දැන්ම ම ඔවුන්ගේ ක්ලේශ, නිගරු කොට බැහැර කිරීමෙන්, ඔවුන්ට රහත් බව ලබා දෙන්නෙමි’යි, ගඳකිළියෙන් නික්ම ආනන්ද තෙරුන් කැඳවා, ‘ආනන්දය, සන්ථාගාරයෙහි කෙළවර වෙසෙන සියලු භික්‍ෂූන් මෙතැනට රැස් කරවන්නැ’යි වදාරා, ඔවුන් එතැනට රැස් කොට, තමන් වහන්සේ, පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ, ‘මහණෙනි, සිත තුළ ඇතිවන කෙලෙසුන්ට වසඟ වීම, කිසිසේත් නොවටී, වැඩෙන කෙලෙස් වනාහි සතුරකු වැනිය. ක්ලේශයෙන් යුත් භික්‍ෂුව මහා විපතකට පැමිණෙයි. එබැවින් භික්‍ෂූන්ට නම් අල්පමාත්‍ර වූ ද ක්ලේශයක් ඇති වූ කල්හි, එයට නිග්‍රහකොට බැහැර කරන්නට වටී. පැරණි පඬිවරු අල්පමාත්‍ර වූ ද අරමුණක් දැක, තම සිතේ පැවති කෙලෙසුන් බැහැරකොට, පසේ බුදු බව උපදවා ගත්හ’යි කියා මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බරණැස් නුවර ප්‍රධාන වාසල් දොරටුව සමීපයෙහි කිසියම් කුඹල් පවුලක උපත ලැබ, නිසි වියට පත්ව පවුල් බර කරට ගෙන එක් පුතකු ද එක් දියණියක ද ලැබ, වළං සාදා විකිණීමෙන් අඹු දරුවන් පෝෂණය කරයි. මෙකල කළිඟු රටේ දන්ත පුරයෙහි ‘කරණ්ඩු’ නම් රජතුමා මහත් වූ පිරිවරින් උයනට යන කල්හි, උයන් දොරටුව සමීපයෙහි ගෙඩිවලින් පිරී අතු බරවුණු, මිහිරි රසැති ගෙඩි ඇති, අඹ ගසක් දැක ඇතුපිට ම හිඳගෙන, අත දිගුකොට ඉදුණු එක් අඹගෙඩියක් කඩාගෙන, උයනට පිවිස මඟුල් ගල්තලාවෙහි වාඩි වී, දිය යුතු අයට ද දී, අඹගෙඩිය අනුභව කෙළේය. එතෙක් කිසිවකු විසින් අතක් නොතැබූ, අඹගසට රජු අත තැබීමෙන් පසු, මහත් අපල කාලයක් උදා විය. රජු ගෙඩියක් කඩා ගනු දුටු ඇමතිවරු ද, බ්‍රාහ්මණ-ගෘහපති ආදීහුද, සෙසු පරිවාර ජනයෝ ද, අඹ කඩාගෙන කන්නට පටන් ගත්හ. පසුව එතැනට පැමිණි පැමිණි අය, පොලු මුගුරුවලින් ගසා ද, ගසට නැග අතු පිටින් බිඳගෙන ද අඹ කෑහ. අන්තිමේ දී ගසේ අමු අඹ ගෙඩියක්වත් ඉතිරි නොවීය.
මුළු දවස පුරාම උයන් ක්‍රීඩාවෙහි නිරත වූ රජතුමා, සැඳෑ කාලයේ, අලංකාර කරන ලද ඇතුපිට නැගී, පෙරළා වාසල වෙත යන්නට පිටත් විය. උයන් දොරටුව ළඟට පැමිණි රජතුමා ඉහත කී අඹ ගස දැක, එක්වරම ඇතුපිටින් බිමට බැස්සේය. තනිව ම අඹගස වෙතට ගිය රජතුමා අඹ ගස දෙස බලා, ‘මේ අඹ ගස උදෑසන දුටු අයට කෙතෙක් බලා සිටියත්, සෑහීමකට පත් නොවන අයුරින් තිබුණේය. ගෙඩිවලින් පිරී, අතු බර වී, ශෝභමානව තිබුණේය. දැන් වනාහි ගෙඩි කඩා ගැනීමෙන් අතු සුණු විසුණු වී, විනාශ වූ අඹ ගසක්ව අශෝභමානව පවතී යැ’යි සිතුවේය. මෙසේ සිතන රජතුමා වටපිට බලන අතර, වෙනත් ගෙඩි නැති අඹ ගසක් දැක, ‘මේ අඹගස මේ විපතට මුහුණ දුන්නේ, තමාගේ ගෙඩි නිසාමය. මේ ගිහි ජීවිතයද, ගෙඩි ඇති අඹ ගසක් වැනිය. පැවිද්ද වූ කලී ගෙඩි නැති ගසක් වැනිය. කරදර එනුයේ ගෙඩි ඇති ගසටය. බිය ඇති වන්නේ යමක්-කමක් ඇති පුද්ගලයාටමය. ධනය නැත්තකුට බියක් ද නැත. මා ද, ගෙඩි නැති ගසක තත්ත්වයට පත්විය යුතු යැ’යි සිතා, ගෙඩි ඇති ගස අරමුණු කොටගෙන, ගස මුලදීම හිටගෙන ම තිලකුණු මෙනෙහි කොට, විදර්ශනා වඩා, ‘පච්චේක බෝධි ඥානය’ උපදවා ගත්තේය. අනතුරුව ‘මම මාගේ මව්කුස නමැති කුටිය සිඳ-බිඳ දැමුවෙමි. භව තුනම සින්දෙමි. ප්‍රතිසන්ධිය බැහැර කෙළෙමි. සසර නමැති නිසරු භූමිය පිරිසිදු කෙළෙමි. කඳුළු සමුදුර වියලා දැම්මෙමි. ඇටසැකිල්ල නමැති පවුර බිඳ දැම්මෙමි. මට නැවත පිළිසිඳ ගැනීමක් කැල ම නැතැ’යි මෙසේ ආවර්ජනා කළ රජතුමා සර්වාභරණයෙන් ම සැරසී, ගස ළඟ හිටිවනම සිටියේය.
මේ දුටු ඇමැතිවරු ‘මහරජතුමනි, ඔතැන බොහෝ වේලාවක් සිටගෙන සිටියේ නොවේදැ’යි කීහ. ‘ඇමැතිවරුනි, මම රජෙක් නොවෙමි. මම වූ කලී පසේ බුදුවරයෙක්මි’යි එතුමා කීය. ‘රජතුමනි, පසේ බුදුවරු නම් ඔබ වැන්නෝ නොවෙති.’ ‘ඇමැතිවරුනි, ඔවුහු කෙබඳු වෙත්ද?’ ‘රජතුමනි, උන්වහන්සේ කෙස්රවුලු බහා, කසාවතින් වැසී, කුලයෙහි හෝ පිරිස් හි නො ඇලී, සුළඟින් වෙන්වුණු වලාකුළක් මෙන්, රාහුගෙන් මිදුණු සඳමඬල මෙන්, බබළමින් හිමාල වනයෙහි ‘නන්‍දමූලක’ පර්වත ප්‍රාන්තයෙහි වාසය කෙරෙති. දේවයිනි, පසේ බුදුවරු නම්, එබඳු ස්වරූප ඇත්තෝ යැ’යි ඇමැතිවරු උත්තර දුන්හ. එකෙණෙහි ම එතුමා සිය දකුණු අත ඔසවා, තම හිස පිරිමැද්දේය. ඒත් සමගම ගිහි බව අතුරුදන් විය. ශ්‍රමණ භාවය පහළ විය.
1. තුන් සිවුර ද, පාත්‍රය ද, දැලි පිහිය ද, ඉඳිකටුව හා නූල් ද, පටිය ද, පෙරහන්කඩ ද, යෝගී භික්‍ෂුවට සුදුසුය.
මෙසේ දක්වන ලද, මේ සියලු ශ්‍රමණ පිරිකර, එතුමාගේ කය හා සම්බන්ධ විය. මොහොතකින් අහසට නැගුණු මේ පසේ බුදුරජ තෙමේ අහසෙහි සිට මහජනයාට අවවාද දී, අහසින් ම උතුරු හිමාලයෙහි පිහිටි නන්‍දමූලක පර්වත ප්‍රාන්තයට වැඩියේය.
ගන්ධාර රටේ තක්‍ෂිලා නුවර ‘නග්ගජි’ නම් රජතුමා ස්වකීය ප්‍රාසාදයෙහි උඩුමහල් තලයට නැග, එහි පනවා තිබුණු මාහැඟි ආසනය මත වැඩ හුන්නේය. ඒ සමීපයෙහි බිම හිඳගත් එක් වනිතාවක්, අවට සුවඳ ගැන්වීම සඳහා, සුවඳ කුඩු අඹරමින් හුන්නාය. ඇගේ එක් අතෙක එක් මැණික් වළල්ලක් බැගින් තිබුණි. දෑතින් ම මඳ වේලාවක් සුවඳ කුඩු ඇඹරූ ඈ එක් අතෙක තිබූ වළල්ල ගලවා අනෙකෙහි පැළඳ ගෙන වළල්ල නැති අතින් සුවඳ කුඩු එක්තැන් කරමින් ද, අලුත් කොටස් එකතු කරමින් ද, නැවත අරඹන්නට පටන් ගත්තාය. ඒ දුටු රජතුමා ‘මේ තැනැත්තියගේ අතෙහි වළලු දෙකක් එක් වූ පමණින්, ගැටෙන්නට පටන් ගත්තේය. නාදය පටන් ගත්තේය. වළලු දෙක වෙන්ව දෑතේ පවතිද්දී, කිසිදු ගැටීමක් නැත. එකතුවෙන්ම ගැටුමත්, ශබ්දයත් ඇතිවිය. මෙපරිද්දෙන් ම මෙලොව සත්ත්වයෝ ද වෙන් වෙන්ව සිටින කල්හි නො ගැටෙති. ශබ්ද නො කරති. එකට එකතු වූ කල්හිම එනම්, දෙන්නෙක් තුන්දෙනේක එක් වුවත්, ඔවුනොවුන් හා ගැටෙති. කලහ කෙරෙති. මම වනාහි කාශ්මීර-ගන්ධාර යන රාජ්‍ය දෙකෙහිම රටවැසියන්ට රජකම් කරමි. මේ සියල්ලම අත්හැර දමා තනිව වාසය කරන්නට වටී. එවිට මෙතෙක් පැවති කිසිදු ගැටුමක් මා ඉදිරියට නොපැමිණේ යැ’යි හිඳගෙනම වළලුවල ගැටීම අරමුණට ගෙන තිලකුණු මෙනෙහි කොට, විදර්ශනා වඩා, පච්චේක බෝධි ඥානය’ උපදවා ගත්තේය. සෙසු විස්තර මීට මුලින් කී කථාවට සමානය.