2. මහාකපි ජාතකය (407)
‘අත්තානං සංකමං කත්‍වා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, ඥාතීන්ට සැලකීමක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘භද්දසාල’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව දම්සභාවට රැස්වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ ඥාතීන් විෂයෙහි අර්ථ චර්යාවෙහි හැසිරුණු සේකැ’යි ඒ ගැන කථා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, තථාගත තෙමේ ඥාතීන්ට සංග්‍රහ කෙළේ දැන් පමණක් නොවේ. පෙර ද සංග්‍රහ කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වඳුරු ජාතියෙහි උපත ලැබ, නිසි වියට පත්ව ආරෝහ පරිණාහ දේහ විලාශයෙන් යුතුව, ශක්ති සම්පන්නව, ඇතුන් පස් දෙනෙකුගේ ජවයෙන් යුතුව, අසූදහසක් වඳුරන් පිරිවරන ලදුව හිමාල වනයෙහි වෙසේ. එහි ගංගා නදිය ඉවුරෙහි අතු-පතර විහිදුණු, පැතිරුණු සෙවන ඇති, කොළවලින් වැසුණු, පර්වත කූටයක් මෙන්, ඉහළට නැගුණු අඹ ගසක් විය. ඇතැමෙක් මෙය ‘නුග ගසෙකැ’යි කියති. ඒ කෙසේ වෙතත්ත මේ අඹ ගසේ මිහිරි රසැති ගෙඩි, දිව්‍යමය රසයෙන් හා සුවඳින් යුක්තය. එක ගෙඩියක් කළයක් තරම් වේ. ඒ අඹ ගසේ එක් අත්තක ගෙඩි ගොඩබිමට වැටේ. තවත් එකෙක ගෙඩි නදී ජලය මත වැටේ. අතු දෙකක ගෙඩි හරි මැද්දට එනම්, ගස මුලට වැටේ. බෝසත් තෙමේ වඳුරු රංචුවක් රැගෙන විත්, ඒ අඹ ගසේ ගෙඩි කමින් හුන් එක් දිනෙක ‘කවදා මුත් මේ ගසෙන් දියට වැටෙන අඹ ගෙඩියක් නිසා, අප හැමෝටම බියක් ඇතිවන්නේ යැ’යි කල්පනා කොට බලා. ගඟ දෙසට නැමුණු අත්තේ එකදු ගෙඩියක් වත් ඉතිරි නොකොට මල් කාලයේදී ම වඳුරන් ලවා විනාශ කරවයි. කඩල ඇටයක් තරම් වූ අඹ ගැටයක් වත් ඉතිරි නො කරවයි. කන්නට නොහැකි අඹගැට කඩා බිම හෙළන්නට සලස්වයි. මෙසේ ඇති කල්හි ද, දහස් ගණනක් වඳුරන්ට දැකගත නොහැකිව, දිමි ගොටුවලින් වැසී පැවති, එක් අඹ ගෙඩියක් ඉදී ජලයට වැටුණි. රටේ රජතුමා ඉඳහිට ගංගා දියේ ජල ස්නානය පිණිස පැමිණේ. එදා රජු එසේ නෑමට පැමිණි දවසකි. සිරිතක් වශයෙන් රජු නාන ස්ථානයට ඉහළින් හා පහළින් කෙවුළෝ (ධීවරයෝ) දැල් බඳිති. ඒ දියේ පා වී එන අපද්‍රව්‍ය රජුගේ සිරුර ස්පර්ශ කිරීම වළකාලීම සඳහාය. මෙසේ රජතුමා මුළු දවස පුරා ම ජලක්‍රීඩා කොට, සවස් කාලයෙහි පෙරළා නුවර බලා යන්නට සූදානම් විය. දැල් මුදන කෙවුළෝ දැලේ රැඳුණු විශාල අඹ ගෙඩිය දැක පුදුමට පත්වී, ‘එය කිනම් ඵලයක් දැ’යි නොදැන රජුට පෙන්වූහ.
එවිට රජතුමා ‘මේ ගෙඩිය කුමක්දැ’යි කෙවුළන්ගෙන් ඇසුවේය. ‘දේවයන් වහන්ස, අපි නො දනිමු’ ‘කවුරු නම් මේ ගැන දනිත් ද?’ දේවයිනි, වැද්දෝ දනිති.’ ‘එසේනම් වැද්දන් මෙහි කැඳවවු යැ’යි රජතුමා නියෝග කෙළේය. වැද්දන් රජු වෙතට පැමිණි කල්හි, ඔවුන්ගෙන් අසා එය අඹ ගෙඩියක් බව දැනගත් රජතුමා වහා පිහියක් අතට ගෙන, අඹ ගෙඩිය කපා, පළමු කෑල්ල වැද්දන්ට කන්නට දුන්නේය. පසුව අඹ රසය විඳි රජතුමා අන්තඃපුර කාන්තාවන්ටද, ඇමතියන්ට ද, අඹ කන්නට දුන්නේය. ඒ අඹ ගෙඩියේ රසය, රජුගේ මුලු සිරුර පුරා පැතිර ගියේය. රස තෘෂ්ණාවෙහි බැඳුණු රජතුමා, ඒ අඹ ගස පිහිටි ස්ථානය වැද්දන්ගෙන් අසා, එය හිමාල පෙදෙසෙහි, මේ ගංගා නදියේ ම ඉවුරෙහි පිහිටි එකක් බව දැන, නැව් කිහිපයක් එකට සම්බන්ධ කොට, බැඳ, වැද්දන් මාර්ගෝපදේශකයන් කොටගෙන, ඔවුන් විස්තර කළ මගින් ගංදියේ උඩුගං බලා ගියේය. ගස පිහිටි තැන සම්බන්ධයෙන් විස්තර කිරීමේ දී, ‘මේ ගමනට මෙතෙක් දවස් ගත වේ යැ’යි වැද්දෝ රජුට නො කීහ. එහෙත් ගමනට දවස් කීපයක් ගතවිය. කෙසේ වුවත් අනුපිළිවෙලින් ගස ඇති තැනට පැමිණි පසු, වැද්දෝ, දේවයිනි, මේ ඒ අඹ ගස යැ’යි රජුට දැනුම් දුන්හ. නැවත එතැනම රැඳවූ රජතුමා මහජනයා පිරිවරාගෙන පයින්ම ගස ඇති තැනට ගොස්, ගස මුල යහනාවක් සකසවාගෙන, එහි හිඳ ඉදුණු අඹ ඇති තාක් අනුභව කොට, නොයෙක් රස ඇති වෙනත් බොජුන් ද වළඳා, එහිම වැද හොත්තේය. සියලු දිසාවන්හි ආරක්‍ෂක පුරුෂයන් රැකවල්හි යොදා තිබුණි. රාත්‍රී කාලයේ ආරක්ෂාව සඳහා විශාල ගිනිමැලයක් ද, ආරක්‍ෂක පුරුෂයෝ දැල්වූහ.