9. කපි ජාතකය (404)
‘යත්ථ වෙරී නිවසති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි, දෙව්දත් තෙරුන්ගේ පොළොව පලා යාම නිමිති කොටගෙන, වදාළ සේක. දම් සභාවෙහි රැස්වූ භික්ෂූහු, ඒ ගැන සාකච්ඡා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, තම පිරිසත් සමගම දෙව්දතුන් විනාශ වූයේ දැන් පමණක් නොවේ. පෙරද ඔහු සිය පිරිවර සමගම විනාශ වී යැ’යි වදාරා, මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වඳුරු කුලයෙක ඉපිද, පන්සියයක් වඳුරන් පිරිවරාගෙන රාජකීය උයනෙහි වාසය කෙළේය. වඳුරු යෝනියෙහි ඉපිද සිටි දේවදත්ත ද පන්සියයක් වඳුරන් පිරිවරාගෙන, බෝසතුන් විසූ උයනෙහි ම, එක් පැත්තක විසුවේය. මේ අතර කිසියම් දවසක, රජතුමාගේ පුරෝහිත බමුණා ජල ස්නානය සඳහා, රජුට අයත් මේ උයනට පිවිසියේය. පොකුණට බැස වතුර නෑ බමුණා වස්ත්ර හැඳ අලංකාර වී, උයනෙන් නික්මෙන කල්හි, එක් කෑදර වඳුරෙක් බමුණාට පෙර උයන් දොරටුව වෙත ගොස්, එහි තොරණ මතට නැගී, එහි වාඩි වී, උගේ නොහික්මුණුකම ප්රකට කරමින්, තොරණ යටින් ගමන් කරමින් සිටි, පුරෝහිත බමුණාගේ හිස මතට වර්චස් කෙළේය. බමුණා ‘තම ඔලුව උඩට වැටුණේ කුමක්දැ’යි විමසනු වස් උඩ බැලුවේය. එවිටම වඳුරා බමුණාගේ මූණ පුරා නැවත වරක් වර්චස් හෙළීය. සිය ගමන නවතා ආපසු හැරුණු පුරෝහිත බමුණා, ‘හොඳයි, තොපට කළ යුතු කාරිය මම දන්නෙමැ’යි කියා, වඳුරන්ට තර්ජනය කොට, නැවත පොකුණට පැමිණ, දෙවන වරටත් වතුර නා ගත්තේය. මෙසේ වඳුරන් සමග වෛර බැඳගෙන, පුරෝහිත බමුණා උයනින් පිටව ගිය බව, සිය වඳුරු සහචරයන්ගෙන්, බෝසත් වඳුරා දැන ගත්තේය. ඒ සම්බන්ධව සියලු තොරතුරු දැනගත් බෝසත් තෙමේ, ‘සතුරන් වෙසෙන තැනෙක නම්, විසීම නුසුදුසුය. එබැවින් සියලු වඳුරෝ මෙතැනින් පලා ගොස්, අන් තැනකට පිවිස ජීවත් වෙත්වා’යි සියලුම වඳුරන්ට එනම්, පක්ෂ දෙකේ වඳුරන් දහසටම, දැනුම් දුන්නේය. මේ අතර බෝසතුන්ගේ කථාව ගණන් නොගත් අකීකරු වඳුරා, තමාගේ සහචර වඳුරු සමූහයාට ‘අපි පසුව ඒ ගැන බලා ගමු’යි කියා, පලා නොගියේය. බෝසත් වඳුරා තම පිරිස ගෙන, නොපමාව මහ වනයට පිවිසියේය. කිසියම් දවසක රජගෙදර එක් දාසියක් අව්වෙහි වී වනා, පසෙක සිට වී කොටන්නට පටන් ගත්තාය. එතැනට පැමිණි එක් එළුවෙක්, වනා තිබූ වී කන්නට සූදානම් විය. ඒ දුටු දාසිය ගිනි පෙනෙල්ලක් අතට ගෙන වී කන එළුවාට දමා ගැසුවාය. එළුවාගේ ලෝමවලට ගිනි ඇවිලුණි. එයින් වේදනාවට පත් එළුවා, පලා දුවන්නට පටන් ගත්තේය. එසේ දිවැ ගිය ඌ එක් ඇත්හලක සමීපයේ තිබූ තණකොළ සෙවිලි කරන ලද කුටියක බිත්තියෙහි ගිනි ඇවිල ගත් සිය පිට ඇතිල්ලුවේය. එහිදී කෙසේ හෝ තණකොළවලට ගිනි ඇවිලුණි. කුටියේ පියස්සට ඇවිලුණු ගින්න, එයින් උඩට නැගී අත්හලට ඇවිල ගත්තේය. ඇත්හලේ පියස්සෙහි ගිනි ගත් කොටස්, ගින්දරත් සමග ඇතුන්ගේ සිරුරු මත ඇද හැලුණි. රජුගේ නියමයෙන්, ඇත් වෙදවරු ඇතුන්ට ප්රතිකාර කළහ. එහෙත් ඇතුන්ට ඒ හැටි සුවයක් නොවීය.
මේ අතර වඳුරන්ගේ පලිගැනීම සඳහා උපායක් කල්පනා කරමින් සිටි පුරෝහිත බමුණා, රාජ්ය සේවය පිණිස රජවාසලට පැමිණියේය. ඔහු දුටු රජතුමා, ‘ආචාර්යතුමනි, තුවාල වූ බොහෝ ඇතුන්ගේ සිරුරුවල, පිළිස්සීමෙන් ගෙඩි හටගෙන ඇත. ඇත් වෙද්දු එවැනි දේට ප්රතිකාර නො දනිති. ඔබ ඊට කිසියම් බෙහෙතක් දන්නෙහිදැ’යි ප්රශ්න කෙළේය. වඳුරන්ගෙන් පළිගැනීමට මේ සුදුසු ම අවස්ථාව මේ යැයි, කල්පනා කළ පුරෝහිතයා ‘දනිමි දේවයන් වහන්සැ’යි උත්තර දුන්නේය. ‘ඒ කිනම් බෙහෙතක්ද?’ ‘රජතුමනි, වඳුරන්ගේ ‘චුරුණු තෙල්’ ඊට කදිම බෙහෙතකි.’ ‘ආචාර්යය, චුරුණු තෙල් කෙසේ ලබම්ද?’ ‘රජතුමනි, ඔබතුමාගේ උයනෙහි බොහෝ වඳුරෝ වෙති. පුරුෂයන් යොදවා වඳුරන් මරවා, චුරුණු තෙල් ගෙන්වාගත මැනවැ’යි, පුරෝහිතයා රජුට කීය. අනතුරුව රජතුමා දුනුවායන් පිටත් කොට යවා, පන්සියයක් වඳුරන් විද මැරවීය. වඳුරු රැළේ නායක වඳුරා ඊ පහර කා, එතැන නොවැටී තනිවම පලා ගොස්, බෝසත් වඳුරා වෙසෙන ස්ථානයට පිවිස එහි ඇද වැටුනේය. ඒ දුටු එතැන සිටි වඳුරෝ, වහා ඌ ළඟට කිට්ටු වී බලා ඌ මියගොස් ඇති බව දැන, තම නායකයා වන බෝසත් වඳුරු රාජයා වෙත වහා ගොස්, ඒ බව ඔහුට දැන්වූහ. ඉක්මණින් මළ වඳුරා වෙත පැමිණි බෝසත් වඳුරා, වඳුරු ගණයා පිරිවරා, ඒ මැද හිඳිමින් ‘නුවණැත්තන්ගේ අවවාද ක්රියාත්මක නොකොට සතුරන්ගේ ඇසුරෙහි වසන අය, මෙසේ වැනසෙන්නා හ’යි පිරිසට අවවාද වශයෙන් කියා, තවදුරටත් මෙසේ ද කීවේය.
යත්ථ වෙරී නිවසති - න වසෙ තත්ථ පණ්ඩිතො,
එකරත්තිං දිරත්තං වා - දුක්ඛං වසති වෙසූකි
එකරත්තිං දිරත්තං වා - දුක්ඛං වසති වෙසූකි
යම් තැනෙක වෛරක්කාරයෙක් වෙසේ ද? එහි පණ්ඩිතයෙක් නොවසන්නේය. රැයක් - දෙකක් වුවද, වෛරක්කාරයන් අතර විසීම දුකකි.
2. ලඝු සිත් ඇත්තා, අනුවර්තී පුද්ගලයාට, ඒකාන්තයෙන් සතුරු වන්නේය. එක් වඳුරකු නිසා, වඳුරු රංචුවටම හානියක් විය.
3. සේනාව පරිහරණය කරන්නා වූ ‘මම නුවණැත්තෙක්මි’යි, සිතන අනුවණයා, තම සිතට වහල් වී, මේ වඳුරා මේ විපතට පත් වන්නේය.
4. පිරිස පරිහරණය කරන අනුවණයා බලවතකු වුවත්, යහපත් නොවේ. එවැන්නා කුරුල්ලන්ට ‘සේ වටුවා’ මෙන්, නෑයන්ට සතුරු වේ.
5. පිරිස පරිහරණය කරන නුවණැති බලවතා යහපත්ය. එවැන්නා ‘තව්තිසා වැසියන්ට ශක්රයා මෙන්’ නෑයන්ට හිතවැඩ සලසයි.
6. යමෙක් ශීලයත්, ප්රඥාවත්, උගත්කමත්, තමා කෙරෙහි දකී ද? ඔහු තමාට ද අනුන්ට ද යන දෙකොටසට ම හිතවැඩ සලසයි.
7. එබැවින් තමා තුළ ඇති ශීලය-ප්රඥාව-උගත්කම යන මේවා තුලනය කර බලන්නේ නම්, ඒ නුවණැත්තා පිරිසක් පරිහරණය කළත්, තනිව ජීවත් වුවත් කම් නැත.
මෙහි ‘ලහුචිත්තස්ස’ යනු ‘ලඝු සිත් ඇත්තෙක් වන්නේය’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයි. ‘එනම්, යම් මිනිසෙක් ලඝු සිත් ඇති මිතුරකුට හෝ නෑයින්ට හෝ අනුගතව පවතීද? ලඝු සිත් ඇති ඒ පුද්ගලයා, ඒ මිනිසාට සතුරු වන්නේය. විරුද්ධව කටයුතු කෙරෙයි’ යන අර්ථයි. ‘ඒකස්ස කපිනො’ යනු ‘බලවු, ලඝු සිත් ඇති එක් අඳබාල වඳුරකුගේ ක්රියා කලාපය හේතුවෙන්, මුළු වඳුරු රංචුවට ම මේ විපත සිදුවුණි. මහා විනාශයක් කරන ලදි’ යන අර්ථයි. ‘පණ්ඩිතමානි’ යනු ‘යමෙක් තෙමේ ම බාලයෙක් ව, ‘මම පණ්ඩිතයෙක්මි’යි මෙසේ තමා ගැන ම සිතමින් පඬිවරුන්ගේ අවවාද නොතකා, තම සිතට වසඟව කටයුතු කෙරේද? තම සිතට වහල් වූ මේ අකීකරු වඳුරා මෙන්, මරණ මංචකයේ හෝනේ වේ. මෙසේ සයනය කරන්නට වන්නේය, යන අර්ථයි.