1. කුක්කු වර්ගය
1. කුක්කු ජාතකය (396)
‘දියඩ්ඪ කුක්කු’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, රජුට දුන් අවවාදයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තේසකුණ’ ජාතකයෙහි විස්තර වේ. එහි අතීත කථාව මෙසේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතිවරයා විය. අගතියෙහි පිහිටි රජතුමා අධර්මයෙන් රාජ්ය පාලනය ගෙන ගියේය. ජනපදවාසීන් පෙළා ධනය ම එකතු කිරීම, රජුගේ අභිලාෂය විය. බෝසත් ඇමතිතුමා රජුට අවවාද කරනු සඳහා ඊට අවස්ථාවක් සොයමින් සිටියේය. රජතුමාගේ මඟුල් උයනෙහි රජු විසින් අරඹන ලද විවේකාගාරයක් විය. එහි කටයුතු අඩකින් අවසන් ව තිබුණි. කුමක් හෝ හේතුවකින් හෝ එම විවේකාගාරයෙහි වහලයේ කටයුතු පමා වී තිබුණි. එහි වහලයේ දැව කර්ණිකාව සකස්කොට, පරාල යොදා තිබුණ මුත්, එකදු පරාලයක්වත්, කර්ණිකාවට සම්බන්ධකොට තිබුණේ නැත. කිසියම් දවසක උයන්කෙළි පිණිස රාජකීය උද්යානයට සපිරිවරින් ගිය රජතුමා, එහි දී අඩක් නිමකොට තිබූ ශාලාව වෙත ගොස්, එය විවෘතකොට ඇතුළට පිවිස වහලය පිරික්සා කොට බලා ‘වහලේ කැණිමඬල සිය හිස මත වැටේ’ය යන බියෙන් වහා ශාලාවෙන් ඉවතට පැන, එලියේ සිට එය නැවත නරඹා ‘කිමෙක්ද? කුමක ආධාරයෙන් මේ කැණිමඬල නො වැටී මෙසේ පවතීද? කුමක් නිසා පරාල ඉවතට නො ඇදී මෙසේ පවතීදැ’යි කල්පනා කරමින්, බෝසතුන්ගෙන් ඒ ගැන විමසමින් මෙසේ පැවසීය.
දියඩ්ඪකුක්කු උදයෙන කණ්ණිකා - විදත්ථියො අට්ඨපරික්ඛි පන්තිනං,
සසිංසපා සාරමයා අඵෙග්ගකා - කුහිං ඨිතා උපරිතො න ධංසතී ති
සසිංසපා සාරමයා අඵෙග්ගකා - කුහිං ඨිතා උපරිතො න ධංසතී ති
කැණිමඬල උසින් රියන් එකහමාරකි. එහි වටේට වියත් අටකි. එය ඵලය නැති ඇට්ටේරියා අරටුවෙන් නිමවන ලදි. එය කොහි පිහිටා ඇත්ද? උඩින් පහත් නො වී එය කෙසේ පවතීද?
මෙය ‘දියඩ්ඪකුක්කු’ යනු ‘රියන් එකහමාරය’ යන අර්ථයි. ‘උදයෙන’ යනු ‘උසින්’, යන අර්ථයි. ‘පරික්ඛිපන්ති නං’ යනු ‘එය වියත් අටකින් වටකොට ඇත’ යන අර්ථයි. වටින් අට වියතක් පමණ යැයි කියන ලද්දේ වේ. ‘කුහිංඨිතා’ යනු ‘කොතැනක පිහිටා’, යන අර්ථයි. ‘ධංසති’ යනු ‘නොවැටේද?’ යන අර්ථයි.
මේ ඇසූ බෝසත් තෙමේ ‘රජුට අවවාද දීම සඳහා කදිම අවස්ථාවක්, සුදුසු මාතෘකාවක් මට ලැබුණේ යැ’යි, සිතා මෙසේ උත්තර දුන්නේය.
2. අරටුවෙන් නිමවන ලද, වක් වූ තිහක් පමණ වූ පරාලවලින් වටකරන ලදුව, සමව ඇති බැවින්, ඒවායේ ශක්තියෙන් තෙරපන ලදුව, මැනවින් ඒකාබද්ධව සමව පිහිටා ඇති බැවින්, එය උඩින් පහත් නොවේ.
3. එපරිද්දෙන් නුවණැත්තා දැඩි මිත්රශීලීත්වයෙන් යුතු, නොබිඳෙන සුලු වූ, පිරිසිදු චරිත ඇති මන්ත්රීන් සමග ඒකාබද්ධ වූ විට, පරාලවලින් බර ඔසවා සිටින කැණිමඬලක් මෙන්, සම්පත්තියෙන් නො පිරිහේ.
මෙහි ‘යා තිංසති සාරමයා’ යනු ‘ගස්වල අරටුවෙන් නිමවන ලද තිහක් පමණ වූ පරාල’, යන අර්ථයි. ‘පරිකිරිය’ යනු ‘පිරිවරා’ යන අර්ථයි. ‘සමට්ඨිතා’ යනු ‘සම ව පැවති’ යන අර්ථයි. ‘බලසා ච පීළිතා’ යනු ඒ ඒ පරාලවල ශක්තියෙන් තෙරපා, මැනවින් සම්බන්ධකොට ඒකාබද්ධ කරන ලද’ යන අර්ථයි. ‘පණ්ඩිතො’ යනු ‘නුවණැති රජතුමා’ යන අර්ථයි. ‘සුචීහි’ යනු පිරිසිදු සමාචාර ඇති කල්යාණ මිත්රයන් විසින්’ යන අර්ථයි. ‘මනතීහි’ යනු ‘මන්ත්රණයෙහි දක්ෂයන් විසින්’ යන අර්ථයි. ‘ගොපාණසීභාරවහාව කණ්ණිකා’ යනු ‘යම් සේ පරාලවලින් බර උසුලන කැණිමඬල පහත් නොවී පවතීද? එසේ රජතුමා ද, ඉහත කී ලක්ෂණවලින් යුතුව හදවතින් බැඳී, මන්ත්රීන් සමග සුසම්බන්ධ වූයේ සම්පතින් නොපිරිහේ, ඉසුරින් නොපිරිහේ, නොවැටේ’ යන අර්ථයි.
බෝසතුන් මෙසේ කියන කල්හි, රජතුමා තමාගේ ක්රියාවන් ගැන නැවත සලකා බලා, ‘කැණිමඬල නැති කල්හි, පරාලවල පැවැත්මක් නැත. පරාල නොමැතිව කැණිමඬල නොපවතී. පරාල බිඳී වැටෙනවිට, කැණිමඬල ද ඇද වැටේ. මෙපරිද්දෙන් ම අධාර්මික රජෙක්, මනා වූ ඒකාබද්ධතාවක් නොමැතිකම නිසා, තමාට හිතවත් ඇමතිවරුන්ගෙන්ද, හමුදාවෙන්ද, බ්රාහ්මණ-ගෘහපතියන්ගෙන් ද වෙන්වූ කල්හි, ඒ නිසාම එනම්, නිලධාරීන්ගේ එකඟතාව නොමැති වීමෙන් ඉසුරුමත් බවින් පිරිහේ. එබැවින් රජකු නම්, දැහැමි විය යුතුම යැයි සිතුවේය. මේ අතර රජුට තෑගි වශයෙන් ලැබුණු නාරං කූඩයක්, රාජපුරුෂයෝ රජු වෙතට ගෙන ආහ. රජතුමා ‘මිතුර, මේ නාරං ගෙඩිය කන්න යැ’යි, කියා බෝසතුන්ට ඉන් එකක් දුන්නේය. බෝසත් තෙමේ එය අතට ගෙන ‘මහරජතුමනි, නාරං කෑමට නොදන්නා උදවිය, එය පොඩිකර ගැනීමෙන් තිත්ත රස කර ගනිති. එහි ඇඹුල් ද ඉවත හලා ගනිති. නාරං කෑමට මැනවින් දන්නා අය, නාරං රසය නො නසාම ඒවා කති’යි, කියා රජුට උපමාවකින් ධනය රැස්කරන ක්රමය පැහැදිලි කරමින්, මෙසේ ද කීය.
4. යම්සේ ආයුධයක් අතේ ඇත්තා තද ලෙල්ලක් ඇති නාරං ගෙඩිය ලෙලි නොගසා තිත්ත රස කරයිද? රජතුමනි, නාරං ගෙඩිය (ලෙලි ගසා) ගන්නා තැනැත්තා එය මනාව මිහිරි රස කරයි. ඇතුළත සිවිය ගලවන්නා ද එය (පොඩිකර ගැනීමෙන්) අමිහිරි කරයි.