10. බකබ්රහ්ම ජාතකය (405)
‘ද්වාසත්තති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, බක බ්රහ්මයා අරබයා දේශනා කළ සේක. ඒ බ්රහ්මයාට ඔහුගේ ‘බ්රහ්මත්වය නිත්යය, ස්ථිරය, ශාස්වත චුතවීමක් නැති ධර්මයක් යැ’යි හැඟීමක් ඇති විය. එපමණක් නොව එම බ්රහ්මත්වයෙන් තොර අන්ය වූ ලෝකයාට මිදීමක්, නිවනක් නම්, නැතැ’යි යන මේ දෘෂ්ටිය ඇති විය. බ්රහ්මත්වයෙන් පහළ ලෝකවල ඉපිද සිටියදී, ඒ බ්රහ්මයා ධ්යාන උපදවාගෙන ‘වේහප්ඵල’ බඹලොව ඉපදුණේය. ඔහු එහි කල්ප පන්සියයක් ආයු වින්දනය කොට එම ආයු ප්රමාණය ගෙවා දමා, ‘සුභකිණ්හ’ බ්රහ්ම ලෝකයෙහි උපන්නේය. එහිද කල්ප හැටහතරක් ආයු වින්දනය කළ ඔහු, එයින් චුතව කල්ප අටක් ආයුෂ ඇති, ‘ආභස්සර’ බ්රහ්ම ලෝකයෙහි උපත ලැබුවේය. බක බ්රහ්මයාට ඉහත කී දෘෂ්ටිය ඇති වූයේ, එහිදී ය. ඔහු මේ ආභස්සර බඹලොවින් චුත වීමක් ඇති බව, තේරුම් නොගත්තේය. එහි උපතක් ඇති බවද, ඔහුට සිහි නොවීය. මේ කාරණා දෙකම තේරුම්ගත නොහැකිවීම නිසා, ඔහු මේ දෘෂ්ටියේ එල්බ ගත්තේය. ඔහුගේ සිතේ ඇති වූ මේ පරිවිතර්කය, සිය සිතින් අවබෝධ කරගත් භාග්යවතුන් වහන්සේ ‘ශක්තිමත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේද? දිගු කළ අතක් හකුලන්නේ යම් සේද?’ එපමණ වේලාවක් තුළදී, දෙවරම් වෙහෙර ඉදිරිපිට අතුරුදන්ව, ආභස්සර බඹලොව පහළ වූ සේක. භාග්යවතුන් වහන්සේ දුටු බ්රහ්මයා, ‘නිදුකාණෙනි, එනු මැනව. ඔබ වහන්සේගේ පැමිණීම ඉතා යෙහෙකි. ඔබවහන්සේ මේ බ්රහ්ම ලෝකයට බොහෝ කලකින් පැමිණි සේක. නිදුකාණෙනි, මේ බ්රහ්ම ලෝකය වූ කලී නිත්යය. ස්ථිරය. ශාස්වතය. කිසිදා මෙතැනින් චුත නොවන සුලුය. ලොව ඇති ‘කේවලත්වය’ ද මෙය මය. මෙහි ඉපදීමක් නැත. වයසට යාමක් ද නැත. මරණයක් නැත. චුත වීමක් ද, ඉපදීමක් ද මෙහි නැත. මෙයින් අන්ය වූ, වඩා උසස් වූ, ‘මිදීමක්’ කොහේවත් නැතැ’යි කීය.
බ්රහ්මයා මෙසේ කී කල්හි, භාග්යවතුන් වහන්සේ ‘බක බ්රහ්මය, ඔබ අවිද්යාව නිසා මෙසේ කියයි. පින්වත් බක බ්රහ්මයා ඒකාන්තයෙන් අවිද්යා ග්රහණයට හසුවී ඇත. පින්වත් බක බ්රහ්මය, ඔබ යම්තැනෙක ඇති, අනිත්ය භාවය ම නිත්ය යැයි කියහි. එසේම යම්තැනෙක ඇති, අස්ථිර භාවය, අශාස්වත භාවය, චුත වන ස්වභාවය, ඊට විරුද්ධව දකියි. මීට වඩා උසස්, මෙයින් අන්ය වූ ‘මිදීමක්’ ඇති කල්හි, එවැන්නක් ලොව තුළ නැතැයි කියහි. එය එසේ නොවේ දැ’යි වදාළ සේක. බුදුරදුන්ගේ මේ ප්රකාශය අසා සිටි බ්රහ්මයා, ‘මේ බුදුරජාණන් වහන්සේ යම් යම් ප්රකාශ කරමින් මා පසුපස ම ලුහුබඳින සේකැ’යි සිතා, ‘යම් සේ පහර කීපයක් ලැබූ, එයින් අඩපණ වූ, දුබල සොරෙක් ‘කිමෙක්ද? සොරා මං විතරක්ද? අසවලාත්, සොරෙකි. අසවල් තැනැත්තාත්, සොරෙකැ’යි කියමින්, සියලු සහායකයන් ගැන තොරතුරු කියන්නාක් මෙන්, ‘භාග්යවතුන් වහන්සේගේ ඉදිරියේදී, ‘කරුණු පැහැදිලි කරන්නට කී දේ ඔප්පු කරන්නට වේය’ යන බියෙන් තමාගේ සහායක වූ අන් අය ගැන ද, පැහැදිලි කරමින් මෙසේ කීවේය.
ද්වාසත්තති ගොතම පුඤ්ඤ කම්මා, වසවත්තිනො ජාති ජරං අතීතා,
අයමන්ති මා වෙදගු බ්රහ්මපත්ති, අස්මාභි ජප්පන්ති ජනා අනෙකා
අයමන්ති මා වෙදගු බ්රහ්මපත්ති, අස්මාභි ජප්පන්ති ජනා අනෙකා
ගෞතමයන් වහන්ස, ජාති-ජරා ඉක්ම වූ, ස්වීයත්වය ඇති, පින් කළ උදවිය සැත්තෑ දෙදෙනෙකි. ප්රඥාවෙන් අගතැන් පැමිණි, මේ ‘නිෂ්ඨාව’ උතුම් ම ප්රාප්තිය වේ. අප හා එක්වන්නට, බොහෝ ජනයෝ ප්රාර්ථනා කෙරෙති.
මෙහි ‘ද්වාසත්තති’ යනු ‘ගෞතමයන් වහන්ස, තවද මේ බඹලොව හුදෙක් මා පමණක් නොව, පුණ්යකාමී වූ අපි සැත්තෑ දෙදෙනෙක් වෙමු’ යන අර්ථයි. ‘වසවත්තිනො’ යනු ‘අනුන් කෙරෙහි බලය පැවැත්විය හැකි බැවින්, එනම් වේ’ යන අර්ථයි. අපගේ ප්රඥාව කරණ කොටගෙන, ජාති-ජරා ඉක්මවා ගිය බැවින්, මේ ‘වේදගූ’ යන වචනය යෙදේ. ගෞතමයන් වහන්ස, මේ ‘අන්තිමා බ්රහ්මපත්ති’ යනු කෙළවරේ ම ඇති, අන්තිමට ම ඇති ‘ප්රාප්තිය’යි. එනම්, උතුම් ම තත්ත්වයට පැමිණීමයි. ‘අස්මාභිජප්පන්ති’ යනු ‘අප ගැන අන් බොහෝ ජනයෝ ඇඳිලි බැඳ, ‘මේ තෙමේ පින්වත් බ්රහ්මයෙකි. මේ මහා බ්රහ්මයා යැ’යි කියමින් නමස්කාර කෙරෙති. ප්රාර්ථනා කෙරෙති. ආශා කෙරෙති. ‘අහෝ! ඒකාන්තයෙන් අපිදු මෙබඳු උතුමෝ වන්නෙමු’යි, කැමැත්ත පළ කෙරෙති’ යන අර්ථයි.
බ්රහ්මයාගේ මේ කථාව අසා, බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක.
2. බක බ්රහ්මය, මම ඔබේ ආයු ප්රමාණය දනිමි. ඔබ දීර්ඝායු සේ සිතන, ආයු ප්රමාණය දීර්ඝායුෂක් නොවේ. එය ‘නිරබ්බුද’ ගණනින් කියතොත්, නිරබ්බුද ලක්ෂයකි. එය මඳ ආයු ප්රමාණයකි.
මෙහි ‘සතං සහස්සානං නිරබ්බුදානං’ යනු ‘නිරබ්බුද ගණනින් ලක්ෂයකි’ යන අර්ථයි. වර්ෂයන්ගේ දහයේ ඒවා දහයක්, සියයකි. සියයේ ඒවා දහයක්, දහසකි. දහසේ ඒවා සියයක්, ලක්ෂයකි. ලක්ෂ සියයක් කෝටියකි. කෝටි ලක්ෂයේ සියයක්, ප්රකෝටියකි. ප්රකෝටි ලක්ෂයේ සියයක්, කෝටි ප්රකෝටියකි. කෝටිප්රකෝටි ලක්ෂයේ සියයක්, නහුතයකි. නහුත ලක්ෂ සියයක් නින්නහුතයකි. දක්ෂ ගණිතඥයෙක් මෙපමණක් ගණන් කරයි. එය ඉක්මවා යාම බුද්ධ විෂයකි. ඒ අනුව නින්නහුත ලක්ෂ සියයක්, ‘අබ්බුද’ නම් වේ. අබ්බුද විස්සක් ‘නිරබ්බුද’ නම් වේ. නිරබ්බුද ලක්ෂ සියයක්, ‘අහහ’ නම් වේ. බක බ්රහ්මයාගේ එම භවයෙහි, ඉතිරි ආයු ප්රමාණය සලකා, ‘නිරබ්බුද ලක්ෂයකැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.