8. අට්ඨිසේන ජාතකය (403)
‘යෙ මෙ අහං ජානාමි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ, අලවු නුවර ‘අග්ගාලව’ චෛත්‍ය ස්ථානයේ දී කුටිකාර ශික්‍ෂාපදය නිමිති කොටගෙන, වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව, මීට ඉහතින් ‘මණිකණ්ඨ’ ජාතකයෙහි දක්වන ලදි. බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, පෙර අබුද්ධෝත්පාද කාලයෙහි, බාහිර පැවිදි භාවයන් ලැබූ පැවිද්දෝ පවා, රජවරුන් විසින් සිය කැමැත්තෙන් යම් යම් දේ පැවරූ නමුත් ‘ඉල්ලීම්’ නම් අනුන්ට අප්‍රිය අමනාප ඇති කරන දෙයක් බැවින්, කිසිදා කිසිවක් කාගෙන්වත් නොඉල්ලූහ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ, කිසියම් නියම්ගමෙක බ්‍රාහ්මණ පවුලක ඉපදුණේය. දෙමාපියෝ ඔහුට ‘අට්ඨිසේන’ කුමාරයා යැයි නම් කළහ. තරුණ වියට පත් වූ ඔහු, තක්‍ෂිලාවට ගොස් එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර ඉගෙන, පසුකලෙක කාමයන්හි ආදීනව මැනවින් තේරුම් ගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදි බිමට පත්විය. අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගත් එතුමා හිමාල වනයෙහි බොහෝ කලක් වැස, ලුණු-ඇඹුල් සේවනය කිරීම සඳහා මිනිස් පියසට බැස, බරණැසට අවුත් රජතුමාගේ උයනෙහි නවාතැන් ගෙන, පසුදා භික්‍ෂාවෙහි හැසිරෙමින් රජ මිදුලට පැමිණියේය. එතුමාගේ හැසිරීම් ආදි විහරණයන්හි පැහැදුණු රජතුමා, එතුමා කැඳවාගෙන රජමැදුරේ උඩුමහල් තලයට කැටුව ගොස්, එහි මාහැඟි අසුනක වඩා හිඳුවා රාජ භෝජන වළඳවා, දානයෙන් පසු අනුමෝදනා බණ අසා, එතුමා කෙරෙහි අතිශයින් පැහැදී, සිය උයනෙහි රඳන මෙන් පොරොන්දු කරවාගෙන, බෝසතුන් එහි නවත්වා ගත්තේය. එදා පටන් රජතුමා දවසට දෙතුන් වරක්, තවුසාට උවටැන් පිණිස උයනට යයි. එක්දිනක් තවුසාගේ ධර්ම දේශනාවකට පැහැදුණු රජතුමා, එතුමාට ‘ස්වකීය රාජ්‍යය ප්‍රධානකොට, ඕනෑම දෙයක් ඔබතුමාට අවශ්‍ය වී නම්, එය මට කියනු මැනවැ’යි බලය පැවරුවේය. බෝසත් තෙමේ ‘මෙය මට අවශ්‍යය. එය මට දෙනු මැනවැ’යි කිසිදා රජුට නො කියයි. වෙනත් යාචකයෝ ‘අපට මේ මේ දෑ දෙනු මැනවැ’යි කැමති කැමති දෑ රජුගෙන් ඉල්ලති. රජතුමා ද කිසිදු පැකිලීමකින් තොරවම, ඒ ඒ දෑ ඔවුන්ට දෙයි. දිනක් රජතුමා ‘වෙනත් යාචකයෝ ද, වණිබ්බකයෝ ද, ‘මේ මේ දෑ අපට දෙනු මැනවැ’යි කියමින් ඉල්ලීම් ඉල්ලති. එහෙත් අපේ මේ අට්ඨිසේන උත්තමයා ‘ඕනෑ දෙයක් ඉල්ලන්න’ යැයි කියා තිබියදීත්, කිසිවක් නො ඉල්ලයි. ඔහු ඒකාන්තයෙන් උපායෙහි දක්ෂ නුවණැත්තෙකි. එබැවින් ඔහුගෙන් මේ ගැන විමසා බැලිය යුතුයැ’යි රජතුමා තරයේ සිතා ගත්තේය. පසුදා උදේ ආහාරය නිම කළ රජතුමා, තවුසා වෙත ගොස්, එතුමාට වැඳ එකත්පසෙක හිඳ, අන් අයගේ ඉල්ලීම් ගැන ද, තවුසාගේ නො ඉල්ලීම ගැන ද, ප්‍රශ්න විචාරමින් මෙසේ කීවේය.
යෙ මෙ අහං න ජානාමි - අට්ඨිසෙන වණිබ්බකෙ,
තෙ මං සංගම්ම යාචන්ති කස්මා මං ත්‍වයා නයාවසී ති
අට්ඨිසේන තවුසාණෙනි, යම් යම් යාචකයෝ මා වෙත පැමිණ, ඒ ඒ දෑ ඉල්ලති. මම ඔවුන් නො හඳුනමි. ඔබතුමා මගෙන් කිසිවක් නො ඉල්ලන්නේ ඇයි?
මෙහි ‘වණිබ්බකෙ’ යනු ‘යාචකයෝ ය’ ‘සංගම්ම’ යනු ‘වෙත පැමිණි’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ‘අට්ඨිසේන උතුමාණෙනි, අන් යාචකයන් ගැන ජාති-ගෝත්‍ර-කුල-ප්‍රදේශ වශයෙන්, මේ මේ උදවිය යැයි මම නො හඳුනමි. ඔවුහු මා වෙත අවුත් කැමති කැමති දෑ මගෙන් ඉල්ලති. ඉතින් ඔබ කුමක් නිසා මගෙන් කිසිවක් නොඉල්ලන්නෙහිද?’ යන අර්ථයි.
ඒ අසා බෝසත් තවුසා, රජුට මෙසේ උත්තර දුන්නේය.
2. ඉල්ලන්නා අප්‍රිය වේ. ඉල්ලූ දේ නො දෙන්නා ද අප්‍රිය ය. තරහවට මම අකැමැති වෙමි. එබැවින් මම නො ඉල්ලමි.
මෙහි ‘යාචකො අප්පියො හොත’ යනු ‘මහරජතුමනි, යම් පුද්ගලයෙක් ‘මෙය මට දෙන්නැ’යි කියා යමක් ඉල්ලයි ද? ඒ යාචකයා මවුපියන්ට ද මිත්‍රයන්ටද අප්‍රිය හා අමනාප වේ’ යන අර්ථයි. ඒ අප්‍රිය භාවය ගැන මණිකණ්ඨ ජාතකයෙහි ද දක්වා ඇත. ‘යාචං’ යනු ‘ඉල්ලිය යුතු දේ’ ය. ‘අදදං’ යනු නො දෙන්නාය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘යමෙක් ඉල්ලපු දේ නො දේ ද? ඒ නො දෙන අය මවුපියන් වුවත්, ඔවුන් ඉල්ලූ තැනැත්තාට අප්‍රිය වේ’ යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් යාචකයා දායකයාටත්, ඉල්ලූ දේ නො දෙන දායකයා, යාචකයාටත් අප්‍රිය වේද? එබැවින් මම නො ඉල්ලමි’ යන අර්ථයි. ‘මා මෙ විද්දෙසනා අහු’ යනු ඉදින් මම යමක් ඉල්ලන්නෙම් නම්, ඔබත් එය දෙන්නෙහි නම්, එවිට ඔබට ඉන් අමනාපයක් ඇතිවිය හැකිය. ඔබට ඇති වූ ඒ අමනාපය මා නිසා වූවකි. ඉදින් ඔබ, ඉල්ලූ දේ මට නොදෙන්නේ නම්, ඒ අමනාපය මට ඇති වූවකි. ඉදින් ඔබ, ඉල්ලූ දේ මට නොදෙන්නේ නම්, ඒ අමනාපය මට ඇතිවිය හැකිය. මගේ ඒ අමනාපය ඔබ නිසා වූවකි. එබැවින් ඒ අමනාපයට මම මුළුමනින් අකැමැති වෙමි. එවිට අප දෙදෙනාගේම මෛත්‍රිය නොබිඳේ. මේ කාරණය දන්නා නිසා, මම ඔබෙන් කිසිවක් නො ඉල්ලමි’ යන අර්ථයි.