7. සත්තුභස්ත ජාතකය (402)
‘විබ්භන්ත චිත්තො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, තමන් වහන්සේගේ ‘ප්‍රඥා පාරමිතාව’ අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘උම්මග්ග ජාතකයෙහි’ විස්තර වේ. මේ එහි අතීත කථාවයි.
පෙර බරණැස් නුවර ‘ජනක’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එදා අප බෝසත් තෙමේ කිසියම් බ්‍රාහ්මණ පවුලක ඉපිද සිටියේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘සේනක’ කුමාරයා යැයි නම් තැබූහ. තරුණවියට පත් වූ සේනක කුමරා තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප-ශාස්ත්‍ර උගෙන බරණැසට පෙරළා අවුත්, රජු මුණ ගැසුණේය. රජතුමා සේනක කුමරාට ඇමැති තනතුරක් දී, ඊට අමතරව මහත් වූ යසස් සම්පත් ද පිරිනැමීය. ඔහු රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කෙළේය. මෙසේ ක්‍රමයෙන්, මිහිරිකථා ඇති ධර්ම කථිකයෙක් වූ සේනක ඇමැතිතුමා, රජු පන්සිල්හි පිහිටුවා, දානයෙහි ද පොහෝ කටයුතුවල ද දස කුසල කර්ම පථයන්හිද යන මේ යහපත් පිළිවෙත්හි රජු මෙහෙයවීය. මුළු රටම බුද්ධෝත්පාද කාලයක් වැනි විය. පසළොස්වක හා අමාවක පොහෝ දිනවල රජතුමා ද, යුවරජ ආදීහුද, සියලු නිලධාරීහුද, සෙසු සියල්ලෝ ද එකතු වී, ධර්මශාලාව පිළියෙල කරති. බෝසත් පඬිතුමා, සකසන ලද ධර්ම සභාවෙහි සරභ මුවකුගේ හැඩය ඇති පළඟ මත වාඩි වී, බුද්ධිමත් ලීලාවෙන් දහම් දෙසයි. ඔහුගේ දහම් කථා බුද්ධාදීන්ගේ දහම් කථා හා සමානය.
මේ අතර එනුවර විසූ කිසියම් මහලු බමුණෙක්, ධන භික්‍ෂාවෙහි යෙදී කහවණු දහසක් එකතුකොට ගෙන, එය ආරක්‍ෂාව සඳහා කිසියම් බමුණු පවුලක භාරයේ තබා, තවදුරටත් ධන භික්‍ෂාව සඳහා පිටත්ව ගියේ ය. ඔහු එසේ ගිය පසු, ඔහුගේ ධනය රැකීමට භාරගත් පවුලේ උදවියට, ඒ ධනය ටිකෙන් ටික වියදම් විය. පසුකලෙක, එහි පැමිණි බමුණා තමා තැබූ කහවණු ආපසු ඉල්ලා සිටියේය. ඒ මුදල බමුණාට දීමට අපොහොසත් වූ ගෙදර අය, ඒ වෙනුවට තමන්ගේ දියණියක බමුණාට පාදපරිචාරිකා කොට දුන්හ. බමුණා ද ඈ කැටුව ගොස්, බරණැසට නුදුරෙහි වූ, කිසියම් බමුණු ගමෙක වාසය කරන්නට පටන් ගත්තේය. බමුණාගේ මේ තරුණ බිරිය, ලාබාල නිසාම කාමයන්හි තෘප්තියට නොපැමිණ, වෙනත් තරුණ බ්‍රාහ්මණයකු සමග, රහසිගතව මිථ්‍යාචාරයෙහි හැසිරුණාය. ලෝකයෙහි කිසිදා තෘප්තියට පත් නොවන වස්තු දහසයක් ඇත. ඒ වස්තු සොළස මෙසේය. (1) කෙතරම් ඇල-දොල-ගංගා ගලා පැමිණියමුත්, එයින් සාගරය තෘප්තියට පත්නොවේ. (2) දර-තෘණ-පරඬැල් මේ ආදිය කෙතරම් දැමූමුත්, එයින් ගින්නක් තෘප්තියට පත් නොවේ. (3) කෙතරම් රාජ්‍ය ලැබුණත්, රජෙක් ඉන් සෑහීමට පත් නොවේ. (4) මෝඩයෙක් පව්කම්වලින් තෘප්තියට පත් නොවේ. (5) ස්ත්‍රියක් මෛථුන ධර්මයෙන් ද, ආභරණ ලැබීමෙන් ද, දරුවන් වැදීමෙන් ද යන මේ කරුණු තුනෙන් තෘප්තියට පත් නොවේ. (6) බමුණෙක් වේද මන්ත්‍රයන්ගෙන් තෘප්තියට පත් නොවේ. (7) ධ්‍යාන වඩන්නෙක් විහරණ හා සමාපත්තිවලින් සෑහීමට පත් නොවේ. (8) සේඛ පුද්ගලයෙක් (සෝවාන් මාර්ගයේ පටන් අරහන්ත මාර්ගය දක්වා කිනම් තත්ත්වයකට හෝ පැමිණ සිටි අයෙක්) රැස්කළ දෙය දන් දීමෙන් තෘප්තියකට පත් නොවේ. (9) අල්පේච්ඡ පුද්ගලයෙක් ධුතාංග ගුණයන්ගෙන් සෑහීමට පත් නොවේ. (10) අරඹන ලද වීර්යය ඇත්තෙක් වීර්යාරම්භනයන්ගෙන් තෘප්තියට පත් නොවේ. (11) ධර්ම කථිකයෙක් ධර්ම සාකච්ඡාවලින් සෑහීමට පත් නොවේ. (12) විශාරදයෙක් පිරිස්වලින් තෘප්තියට පත් නොවේ. (13) සැදැහැවතෙක් සංඝ උපස්ථානයෙන් සෑහීමට පත් නොවේ. (14) දායකයෙක් පරිත්‍යාගයෙන් සෑහීමට පත් නොවේ. (15) පණ්ඩිතයෙක් ධර්ම ශ්‍රවණයෙන් සෑහීමට පත් නොවේ. (16) සිවුවණක් පිරිස තථාගත දර්ශනයෙන් සෑහීමට පත් නොවේ.
මෙසේ ඒ බැමිණිය ද, සිය තරුණකම නිසා මෛථුන ධර්මයෙහි තෘප්තියට පත් නොවූවාය. එබැවින් ම බමුණා ගෙදරින් බැහැර කොට, හිතේ විශ්වාසයෙන් යුතුව, පව්කම් කිරීමට කැමැත්තක් ඇති වී, දිනක් හිතේ දුකින් මෙන් වැද හොත්තීය. එතැනට පැමිණි බමුණා, ‘පින්වතිය, කිමෙක්ද? ඔබට ඇති ප්‍රශ්නය මට කියනු මැනවැ’යි කීය. ‘බමුණ, මට මේ ගෙදර කටයුතු කළ නොහැකිය. එබැවින් දාසියක ගෙනෙව’. ‘පින්වතිය, ඒ සඳහා මට මුදල් නැත. කුමක් දී ගෙනෙම්ද?’ ‘පෙර මෙන් භික්‍ෂාවෙහි හැසිර ධනය සොයා, එයින් දාසියක ගෙනෙව’ ‘පින්වතිය, එසේ වී නම් මට, මගට අවශ්‍ය දෑ පිළියෙල කොට දෙනු මැනවැ’යි බමුණා තම තරුණ බිරියට කීවේය. ඇය ඔහුට බැදපු පිටිවලින් අග්ගලා සකසා, ඒවා හම් පසුම්බියක පුරවා දුන්නාය. එය උරයේ එල්ලාගත් බමුණා ගම්-නියම්ගම්-රාජධානිවල හැසිර, කහවණු සත් සියයක් එකතු කොටගෙන, ‘දාසයකු හෝ දාසියක හෝ ලබාගැනීමට මට මේ ධනය ප්‍රමාණවත් යැ’යි එතැනින් ආපසු හැරී, ස්වකීය ගමට එන්නට පිටත් විය. අතරමගදී පහසුවෙන් ජලය ලබා ගතහැකි තැනක් දැක, එතැන නැවතී අග්ගලා පසිම්බුව ලිහා එයින් අග්ගලා අනුභව කොට, මල්ලෙහි කට නොබැඳ ම, පැන් බීම සඳහා දියට බැස්සේය. ඒ ස්ථානයෙහි පිහිටි ගසෙක, රුක් බිලයක විසූ, එක් කළු නයෙක් අග්ගලා සුවඳ ආඝ්‍රාණය කොට, මල්ල වෙත අවුත් ඊට පිවිස, දරණ ගසාගෙන අග්ගලා කමින්, එහි ම හොත්තේය. දියෙන් ගොඩට ආ බමුණා. මල්ලෙහි ඇතුළත පරීක්‍ෂා නොකොට ම මල්ල බැඳ, එය උරයේ එල්ලාගෙන ගමන පිටත් විය. ඒ එන ගමනේ දී අතරමග, එක් ගසෙක හුන් රුක් දෙවියෙක් ගසේ කඳෙහි වූ විවරයක සිට, ‘බමුණ, ඉදින් නුඹ අතරමග නවාතැන් ගතහොත්, මරණයට පත් වන්නේය. ඉදින් අද ම ගෙදර ගියහොත්, ඔබේ බිරිඳ මරණයට පත් වන්නී යැ’යි කියා අතුරුදන් විය. කලබල වී වටපිට බැලූ, බමුණා කිසිවකු නො දැක බියට පත්ව, මරණ බයෙන් තර්ජිත ව, හඬමින්, වැළපෙමින්, බරණැස් නුවර වාසල් දොරටුව වෙත පැමිණුනේය.
හරියට ම එදා පසළොස්වක පොහෝ දිනය යි. අලංකාර කරන ලද ධර්මාසනයක වැඩහිඳ, බෝසතුන් බණ කියන දවසකි. මේ අතර මහජනයා සුවඳ-මල් ආදිය ගත් අත් ඇතිව කාණ්ඩ-කාණ්ඩ වශයෙන්, බණ ඇසීම සඳහා ශාලාව වෙත පැමිණෙති. ඒ දුටු බමුණා ‘පින්වතුනි, තෙපි කොහි යවුදැ’යි විචාරා සිටියේය. ‘බමුණ, අද සේනක පඬිතුමා, මිහිරි සරින් ප්‍රබුද්ධ ලීලාවෙන් දහම් දෙසයි. ඒ බව ඔබ නො දන්නෙහි දැ’යි පිරිස කී කල්හි, බමුණා කල්පනා කරන්නට පටන් ගත්තේය. ‘මේ සේනක පඬිතුමා වනාහි, ධර්ම කථිකයෙකි. මම දැන් බියෙන් පීඩිතව, මරණ බියෙන් බියපත්ව හිඳිමි. පඬිවරු නම් මහත් වූ ශෝකයක් වුවත්, බැහැර කරලන්නට සමත් වූවෝ වෙති. එබැවින් ධර්ම ශාලාවට ගොස් බණ අසන්නට ඇත්නම්, එය මට බෙහෙවින් ම වටී යැ’යි මෙසේ කල්පනා කළ බමුණා සෙසු මිනිසුන් සමග එහි ගොස්, රජු සහිත ඔහු පිරිස වටකොට ගෙන, බෝසතුන් අසුනෙහි හිඳිනු දැක, අග්ගලා මල්ලක් එල්ලා ගෙන, ධර්මාසනයට නුදුරෙහි මරණ බියෙන් බියපත්ව, හඬමින් ම වාඩිවිය. බෝසත් තෙමේ අහස් ගඟින් ගලා හැලෙන අමා වැස්සක් වස්සන්නාක් මෙන්, දහම් දෙසයි. මහජනයා ද හටගත් සොම්නසින් සාධුකාර දෙමින් බණ ඇසීය.