6. දසණ්ණක ජාතකය (401)
‘දසණ්ණකං තිඛිණධාරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහිකල බිරිය විසින් පොළඹවන ලද, භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය, යනු සැබෑවක් දැ’යි ඇසූ සේක. ‘එසේය ස්වාමීනි,’ ‘මහණ, කුමන කරුණක් හේතු කොටගෙන කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහි කල භාර්යාව හේතුකොට ගෙනය.’ ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථ සිදු කෙළේ, දැන් පමණක් නොව, පෙර ද, ඔබ මැය නිසා හිතේ අමාරුවෙන් මැරෙන්නට ගොස්, පඬිවරුන් නිසා දිවි ගැලවුණේ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කතා පුවත මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර ‘මද්දව’ මහරජතුමා රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බ්‍රාහ්මණ පවුලක උපන්නේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘සේනක’ කුමාරයා යැයි නම් කළහ. සේනක කුමාරයා තරුණ වියට පත්වී, තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප - ශාස්ත්‍ර උගෙන බරණැසට පෙරළා අවුත්, මද්දව රජුට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන, ඇමැතිවරයා බවට පත්විය. මුළු බරණැස් නුවර ‘සේනක පඬිතුමා’ යැ යි කී කල්හි, ඉර හඳ මෙන් ප්‍රසිද්ධය. නො දන්නා කෙනකු නැත. මේ අතර රජතුමා විසින් හිටපු පුරෝහිතතුමාගේ පුත්‍රයා, පුරෝහිත තනතුරට පත් කරන ලදි. වැඩ භාරගත් අලුත් පුරෝහිතතුමා, ප්‍රථම වතාවට, රාජ සභාවට පැමිණියේය. එහිදී ඔහු, රජතුමා සමීපයෙහි හුන්, රජුගේ අග මෙහෙසිය දුටුවේය. සියලු අබරණින් සැරසුණු, අතිශයින් සුරූපී රාජ දේවිය දුටු සැණින්, ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇති කොටගත් තරුණ පුරෝහිතයා, කලින්ම සිහ නිවසට ගොස් නිරාහාරව, ඈ ගැනම සිතමින් යහනෙහි වැද හොත්තේය. ඔහු වෙත පැමිණුන ඔහුගේ හිතමිතුරන්, නො කා නොබී එසේ හිඳීමට හේතු වූ කරුණු පුරෝහිත තරුණයාගෙන් ඇසූ මුත්, ඔහු ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය. එයින් පසුබව නොවුණු ඔවුහු, කෙසේ හෝ කාරණය ඔහුගෙන්ම, පසුව දැනගත්හ. මේ අතර රජතුමා රාජපුරුෂයන් අමතා ‘පුරුෂයනි, පුරෝහිත පුත්‍රයා දක්නට නැත. ඔහු කොහිදැ’යි විචාළේය. ඒ අතර සිටි කිසියම් රාජපුරුෂයෙක් පුරෝහිත පුත්‍රයාට සිදුවී ඇති දේ, රජුට පැහැදිලි කළේය. සියලු විස්තර මැනවින් තේරුම් ගත්, රජතුමා පුරෝහිත පුත්‍රයා රජවාසලට කැඳවා, හැම තොරතුරක්ම ඔහුගෙන් අසා නිවැරදි ව දැන, ‘පුරෝහිත තරුණය, මම ඔබට මාගේ අගබිසව සතියකට භාර කරමි. ඔබ සතියක් පුරාවට ඇය සමග සිත් සේ වැස, අටවැනි දිනයෙහි රජවාසල වෙත ඈ කැඳවාගෙන එව’යි කියා ඇය ඔහුට පාවා දුන්නේය. ‘දේවයන් වහන්ස, යහපතැ’යි කී පුරෝහිතයා රජුගේ නියෝග එලෙසින්ම පිළිගෙන, අගමෙහෙසිය සිය නිවෙසට කැඳවාගෙන ගොස්, ඇය සමග මහත් අභිරුචියෙන්, කෙළිදෙලෙන් ඒ සතිය පුරාවට කල්ගත කෙළේය. ඔවුන් දෙදෙනාගේ මේ සතියක මිතුරුදම කෙතරම් බලවත් වී ද යත්, ඔවුහු එකිනෙකාගෙන් වෙන් කරන්නට බැරි තරමට, ඔවුනොවුන් කෙරෙහි ඉතා දැඩි ලෙස බැඳී සිටියහ. එකකුගෙන් වෙන්ව විසීමට දෙදෙනාගේම ඇති අකැමැත්ත නිසා, ඔවුහු දෙදෙනා සාකච්ඡාකොට, සත්වැනි දින රෑ කිසිවකුටත් නො දන්වා, අගනුවර ප්‍රධාන වාසල් දොරටුවෙන් නික්ම, පැනගොස් වෙනත් රජකුගේ රාජධානියකට පත්ව, එහිදී අඹුසැමියන් මෙන් ජීවත් වන්නට පටන් ගත්හ. ඔවුන් දෙදෙනා ගිය තැනක්, කිසිවෙක් නොදනී. නැවක් ගිය පාරක් වැනිය. අගමෙහෙසිය පෙරළා තමා වෙතට පැමිණෙනතුරු බලා සිටි රජතුමා, බැරිම තැන ඈ ගැන සොයා බැලීය. ඔවුන් ගැන තොරතුරක් දත් කිසිවකු සොයාගැනීමට රජතුමා අපොහොසත් විය. අනතුරුව නුවර බෙර ලවා, නොයෙක් අයුරෙන් ඔවුන් ගැන සෙවූ මුත්, ඔවුන් ගිය තැනක් කිසිකෙනෙක් නො දත්හ. අගමෙහෙසිය ගැනම නිතරම කල්පනා කිරීම නිසා, රජුට බලවත් ශෝකයක් හට ගත්තේය. රජුගේ හදවත උණු විය. චිත්ත වේගය බලවත් විය. ඒ ශෝකය නිසාම රජතුමාට ලේ වමනය ගියේය. එතැන් පටන් ලේ බඩ යාමේ රෝගයද, රජතුමාට වැළඳුණේය. රාජකීය වෛද්‍යවරයෝ බොහෝ දෙනෙක් රජුට ප්‍රතිකාර කළත්, රජු සුවපත් කිරීමට නොහැකි වූහ.
බෝසත් තෙමේ රජතුමාගේ හදිසි අසනීපය ගැන ගැඹුරින් කල්පනා කොට බැලුවේය. ‘අපේ රජතුමාට ස්ථිර වශයෙන්ම රෝගයක් නැත. ඔහුට ඇත්තේ තම බිරිඳ නොදැකීම නිසා හටගත් චෛතසික රෝගයකි. හිතේ අමාරුවකි. එබැවින් මම කිසිවක් උපායකින් ඔහුට ප්‍රතිකාර කොට සුවපත් කරන්නෙමැ’යි කල්පනා කළ බෝසත් සේනක පඬිතුමා, සිය මිතුරන් වන ‘ආයුර’ හා ‘පුක්කුස’ යන රජුගේ පණ්ඩිත ඇමැතිවරුන් දෙදෙනා හමු වී, රජුගේ බරපතල අසනීපය ගැන සාකච්ඡාවක් කෙළේය. එහිදී මිතුරන් ඇමතූ සේනක පඬිතුමා, ‘හිතවතුනි, රජතුමාට චෛතසික රෝගයක් හැර, අන්කිසි අමාරුවක් නැත. අපේ රජතුමා අපට බොහෝ උපකාර වූවෙකි. එබැවින් මම ඔහුට යම්කිසි උපායකින් ප්‍රතිකාර කිරීමට තීරණය කෙළෙමි. මේ රජමිදුලෙහි විවිධ ප්‍රසංගයක් ආරම්භකොට, කඩු ගිලීමට දන්නා අයකු ඒ ප්‍රසංගයට ගෙන්වා, කඩුවක් ගිලින අයුරු, කෙසේ හෝ අපේ රජතුමාට පෙන්වමු. එදින රජතුමා සී මැදුරු කවුළුව වෙත කැඳවාගෙන අවුත්, ප්‍රසංගය බලන්නට අවස්ථාව සලසමු. කඩුව ගිලිණු දුටු රජතුමා, සිකුරටම පුදුමවනු ඒකාන්තය. ඉන්පසු ඔහු ඔබ දෙදෙනා අතුරෙන් එකකුගෙන් ‘මේ කඩු ගිලීමට වඩා වෙනත් අමාරු දෙයක් ඇත්දැ’යි ප්‍රශ්න කරනු ඇත. ‘ආයුර ඇමතිතුමනි, රජතුමා ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවහොත්, දේවයන් වහන්ස, ඔය කඩු ගිලීමට වඩා ‘මම අසවල් දෙය ඔබට දෙමි’ යි කියා, කෙනෙකුට කීම, පොරොන්දු වීම ඉතා අමාරු දෙයකැ’යි, රජුට කියන්න. ‘මිතුරු පුක්කුස ඇමතිතුමනි, අපේ රජතුමා ‘මීටත් වඩා එනම්, මම ඔබට අසවල් දෙය දෙමි’යි කීමටත් වඩා, අමාරු අපහසු වෙනත් යමක් ඇද්දැ’යි, ඔබෙන් ඇසුවහොත්, දේවයන් වහන්ස, යමක් දෙමැයි කියා එය නොදුනහොත්, ඒ කීම නිෂ්ප්‍රයෝජනය. එබඳු වචනයකින් පමණක් කිසිවෙකුට ප්‍රයෝජනයක්, ලාභයක් නැත. ඒ වචනයෙන් කිසිවෙක් ජීවත් නොවේ. එවැනි වචනයකින් කිසිවකුට, කෑමක් බීමක්වත් නො ලැබේ. එබැවින් යමෙක් කී වචනයට අනුව ක්‍රියා කෙරේද? එනම් පොරොන්දු වූ දේ, ඒ අයුරින්ම ප්‍රදානය කෙරේද? එය පොරොන්දු වීමට වඩා අමාරු අපහසු දෙයකැ’යි කියන්න. ඉන්පසු කළයුතු දේ කුමක්දැයි කියා, මම දන්නෙමැ’යි ප්‍රකාශකොට විවිධ ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා එතැනට ගියේය.
ඉක්බිති මේ පඬිවරු තිදෙනා රජු සමීපයට ගොස්, ‘මහරජතුමනි, රාජාංගනයෙහි විවිධ ප්‍රසංගයක් පවතී. එය බලන්නන්ගේ දුක් පහව යයි. එන්න රජතුමනි, අපි එය බලමු’යි කියා රජතුමා රැගෙන විත් සීමැදුරු කවුළුව විවරකොට, ප්‍රසංගය රජුට පෙන්වූහ. එහි සිටි බොහෝ ශිල්පීහු තම තමන් දත් ශිල්ප, සියල්ලන් ඉදිරිපිට පෙන්වූහ. ඒ අතර සිටි එක් මිනිසෙක් අඟල් තිස්තුනක් දිග, තියුණු මුවහතක් ඇති වටිනා කඩුවක් ගිල්ලේය. ඒ දුටු රජතුමා ‘අර මිනිහා ඒ කඩුව ගිල්ලේය. මීටත් වඩා අමාරු කාරියක් ඇත්දැ’යි, ‘මම මේ පණ්ඩිත ඇමතියන්ගෙන් විචාරන්නෙමැ’යි සිතා ‘ආයුර’ ඇමැතිතුමාගෙන් මෙසේ විමසීය.
දසණ්ණකං නිබිණධාරං අසිං සම්පන්නපායිනං,
පරිසායං පුරිසො ගිලති කිං දුක්කරතරං ඉතො,
යදඤ්ඤං (දූක්කරං) ඨානං තුම්හෙ අක්ඛාහි පුච්ඡිතො ති
මිනිසෙක් ‘දසණ්ණක’ රටේ නිෂ්පාදිත තියුණු මුවහතක් ඇති අනුන්ගේ රුධිරය පානය කරන කඩුවක් පිරිස් මැද සිට ගිලී, මීට වඩා අමාරු වැඩක් තවත් ඇත්ද? මීටත් වඩා දුෂ්කර යමක් ඇත්නම්, විචාරණ ලද මට එය කියව.
මෙහි ‘දසණ්ණකං’ යනු ‘දසණ්ණක රටේ නිෂ්පාදිත’ යන අර්ථයි. ‘සම්පන්නපායිනං’ යනු ‘අනුන්ගේ ලේ බොන’ යන අර්ථයි. ‘පරිසායං’ යනු ‘ධන ලෝභය නිසා, මේ මිනිසා පිරිස මැද සිට කඩුවක් ගිලියි යන අර්ථයි. ‘යදඤ්ඤං’ යනු ‘මේ කඩු ගිලීමටත් වඩා දුෂ්කර වූ අන් යමක් වේ නම්, ඒ කරුණ ඔබ විචාරණ ලද මට කියව’ යන අර්ථයි.
ආයුර ඇමැතිවරයා රජුට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
2. මගධාධිපති රජතුමනි, පුරුෂයෙක් ලෝභය හේතු කොටගෙන, අනුන්ගේ රුධිරය බොන, කඩුවක් ගිලින්නේය. අන් සියලු දේ කිරීම පහසුය. එහෙත් යමෙක් ‘දෙමැ’යි කියා, යම් වචනයක් කියන්නේද? එය ඊටත් වඩා දුෂ්කර යැයි, මෙසේ දත මැනව.
මෙහි ‘වජ්ජා’ යනු ‘කියන්නේ ය’ යන අර්ථයි. ‘තං දුක්කරතරං’ යනු ‘දෙමි’ යන ඒ වචනය, ඒ කඩුව ගිලීමටත් වඩා දුෂ්කරය’ යන අර්ථයි. ‘සබ්බඤ්ඤං’ යනු ‘අසවල් දේ ඔබට දෙමි’ යන වචනය හැර අන් සියලු කරුණු කිරීම පහසුය’ යන අර්ථයි. ‘මාගධා’ යනුවෙන් රජුට ගෝත්‍ර නාමයෙන් අමතයි.
රජතුමා ආයුර පඬිතුමාගේ වචනය අසා ‘කඩුවක් ගිලීමටත් වඩා ‘මම නුඹට මෙය දෙමැ’යි කියා පොරොන්දු වීම දුෂ්කරය. මම ද පුරෝහිත පුත්‍රයාට ‘අගමෙහෙසිය දෙමැ’යි කීවෙමි. ඒ අනුව මා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කර කටයුත්තකි. ‘මෙසේ මේ ගැන සිතන්නට රජුගේ හදවතෙහි වූ ශෝකය, ටිකෙන් ටික තුනී වී ගියේය. ඊළඟට ‘දෙමි’යි කියන වචනයටත් වඩා, වෙනත් දුෂ්කර යමක් ඇත්දැ’යි සිතූ රජතුමා පුක්කුස පඬිතුමා දෙසට හැරී, ඔහු සමග කථා කරමින් මෙසේ ප්‍රශ්න කෙළේය.
3. අර්ථ - ධර්ම දෙක්හි දක්‍ෂයෙක් වන ආයුර, ප්‍රශ්නය විසඳුවේය. දැන් මම ඊටත් වඩා දුෂ්කර වූ යමක් ඇත්දැ’යි පුක්කුසගෙන් විචාරමි. වෙනත් දුෂ්කර වූ යමක් ඇත්නම්, එය විචාරන ලද මට කියව.
මෙහි ‘පඤ්හං අත්‍ථං’ යනු ‘ප්‍රශ්නයට විසඳුම ප්‍රකාශ කරව’ යි කියන ලද්දේ වේ’ යන අර්ථයි. ‘ධම්මස්ස කොවිදො’ යනු ‘ඒ අරුත් පැහැදිලි කිරීමේ, අර්ථ ගැලපීමේ දක්‍ෂ වූ’ යන අර්ථයි. ‘තතො’ යනු ඒ වචනයටත් වඩා වැඩියෙන් කුමක් දුෂ්කර දැ’යි, යන අර්ථයි.