5. දබ්භපුප්ඵ ජාතකය (400)
‘අනුතීරචාරී භද්දන්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ශාක්‍යපුත්‍ර වූ උපනන්ද තෙරුන් අරබයා වදාළ සේක. සසුනෙහි පැවිදි වූ ඔහු අල්පේච්ඡතා ආදී උතුම් ගුණ අත්හැර දමා, තණ්හාධිකව කල්ගෙවීය. වස් වසන අවස්ථාවන්හිදී විහාරස්ථාන දෙක-තුනක වස් වසන්නට බාර ගන්නා ඔහු, එක් විහාරස්ථානයක තමාගේ කුඩය හෝ වහන් සඟල තබයි. තවත් එකෙක හැරමිටිය හෝ ඔහුගේ වතුර සෙම්බුව තැන්පත් කරයි. අනෙකෙහි තෙමේ වස් වසයි. මෙසේ එක නගරබද වෙහෙරක වස් එළඹි උපනන්ද හිමි, එහි විසූ අනෙකුත් භික්‍ෂූන් රැස්කොට ‘ඇවැත්නි, භික්‍ෂූන් විසින් අල්පේච්ඡව ම කටයුතු සිදුකළ යුතු යැ’යි, අහසෙහි හඳ මතුකොට පෙන්වන්නාක් මෙන්, ප්‍රත්‍යයන්ගෙන් සතුටු විය යුතු ආකාරය, භික්‍ෂූන්ට පැහැදිලි කරන ‘අරියවංශ ප්‍රතිපදාව’ දේශනා කෙළේය. ඒ ඇසූ එම වෙහෙරෙහි භික්‍ෂූුහ තමන්ට ලැබී තිබූ, මනෝරම්‍ය වූ පාසිවුරු හැර දමා, මැටි පාත්‍ර හා පාංශුකූල චීවර ප්‍රයෝජනයට යොදා ගත්හ. අනතුරුව ඔවුන් බැහැර කළ ඒ වටිනා සිවුරු හා පාත්‍රා එකතු කොටගත් උපනන්ද හිමි, ඒවා තමා වසන තැන ගොඩගසා ගත්තේය. වස් අවසානයේ දී පවාරණයෙන් පසු, සියලු මඩු-මුට්ටු කරත්තයක පටවා ගත් උපනන්ද හිමි, ජේතවනය බලා පිටත් විය. අතරමගදී එක් කැලෑබද විහාරයක් දුටු ඔහු, ඒ ගැන සිය සිත්හි කිසියම් අදහසක් ඇති කොටගෙන, කකුල්වල වැලක් පැටලුනාක් මෙන්, එකපාරටම නැවතී ‘මෙහෙනුත් මොනවා හරි ලැබිය හැකි වන්නේයැ’යි සිතා, ඒ විහාරයට පිවිසියේය. ඒ වෙහෙරෙහි මහලු භික්‍ෂු දෙනමක් වස් එළඹ විසූහ. ඒ දෙනමට දායකයන්ගෙන් දළ සළු දෙකක්ද, ඉතා සියුම් ලෝම වර්ගයකින් වියන ලද එක් මහඟු කම්බිලියක් ද, ලැබී තිබුණි. ඒවා ක්‍රමවත්ව බොදාගත නොහැකිව සිටි ඒ දෙනම, උපනන්ද තෙරුන් දැක, ඔහු ලවා වස්ත්‍ර වෙන්කොට ගැනීමට සිතා, සතුටු සිත් ඇතිව ‘ස්වාමීනි, අපට මේ වස්සාවාසික සුළු බෙදාගත නොහැකිය. මේ නිසා අප අතර විවාදයක් වුවද හටගන්නට බැරි නැත. එබැවින් කරුණා පෙරදැරිව මෙය අපට බෙදා දෙනු මැනවැ’යි උපනන්ද තෙරුන් කීහ. ඒ අසා සිටි උපනන්ද හිමි ‘මැනව, මම එය සුදුසු ලෙස බෙදා දෙන්නෙමැ’යි කියා, දළ සළු දෙක ඒ දෙනමට දී, ‘මේ ප්‍රශ්නය විසඳූ විනයධරයාට මේ වස්ත්‍රය සුදුසු යැ’යි කියා, සිනිඳු කම්බිලිය ගෙන, යන්නට ගියේය.
කම්බිලිය ගැන අදහස් ඇතිව සිටි, ඒ මහලු භික්‍ෂු දෙනම උපනන්ද තෙරුන් සමගම දෙව්රම් වෙහෙරට ගොස්, එහි විසූ විනයධර භික්‍ෂූන්ට සියලු විස්තර කියා, ‘ස්වාමීනි, විනයධර භික්‍ෂූන්ට මෙවැනි පැහැර ගැනීම් කරන්නටත්, ඒවා පරිභෝග කරන්නටත් සුදුසුදැ’යි, ඇසූහ. මේ අතර උපනන්ද තෙරුන් විසින් කරත්තයක් පුරා පටවාගෙන ආ, පාත්‍ර හා සිවුරු පිරිකර රාශිය දුටු, සෙසු භික්‍ෂූහු, ‘ඇවැත්නි, උපනන්ද ඔබට බොාහෝ පා සිවුරු ලැබී ඇති බව පෙනේ. එබැවින් ඔබ මහා පුණ්‍යවන්තයෙකි’යි, පැවසූහ. එවිට උපනන්ද හිමි ‘ඇවැත්නි. මොන පිනක්ද? මේ සියලු දේවල් මම උපායෙන් ලබා ගත් ඒවා යැ’යි පැවසීය. මේ සියලු සිද්ධීන් වැඩි වේලාවක් යන්නට පෙර, සියලු භික්‍ෂූන් අතර ප්‍රකට විය. දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූහු, උපනන්ද තෙරුන්ගේ ක්‍රියා පටිපාටිය ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන, ඔවුන්ගෙන්ම විමසා දැන ‘මහණෙනි, උපනන්ද භික්‍ෂුව නොගැලපෙන ප්‍රතිපදා ඇත්තෙකි. අනුන්ට භික්‍ෂු ප්‍රතිපත්ති කියාදෙන භික්‍ෂුවක විසින්, පළමුකොට තමා සුදුසුකම් ඇත්තකු ව, පසුව අනුනට අවවාද දිය යුතුය.’
අත්තාන මෙව පඨමං - පතිරූපෙ නිවෙධියෙ,
අථඤ්ඤ මනුසාසෙය්‍ය - න කිලිස්සෙය්‍ය පණ්ඩිතො
පළමුකොට තමා ම සුදුසු තත්ත්වයට පත් වන්නේය. අනතුරුව නුවණැත්තෙක් නම්, නො කෙලෙසෙන්නේ යැයි අනුන්ට අනුශාසනා කරන්නේය.
යන මේ ධම්මපදයෙහි එන ගාථාවෙන් ධර්ම දේශනාකොට ‘මහණෙනි, දැන් පමණක් නොව, උපනන්ද පෙර ද මහා ලෝභයෙකි. මේ මහලු දෙනම සන්තක වූ දේ, ඔහු කොල්ලකෑ පළමු වතාව මෙය නොවේ යැ’යි වදාරා මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ නදී තෙරක රුක් දෙවියෙක්ව උපන්නේය. එකල එක් සිවලෙක් ‘මායාවි’ නම් වූ සිය බිරිඳ ද රැගෙන අවුත්, එම නදී තීරයෙහි ම කිසියම් තැනෙක වාසය කෙළේය. දිනක් සිවලා ඇමතූ සිවලියා ‘ස්වාමීනි, මේ නදියෙහි වෙසෙන රතුපැහැති මාලුවකු, මරපු ගමන් කන්නට මට දොළදුකක් හටගත්තේ යැ’යි කීවාය. එවිට සිවලා ‘ඔබ සිතට කරදර නොගන්න. මම එය ඔබට කෙසේ හෝ ගෙනත් දෙන්නෙමි’යි සිවලිය අස්වැසුවේය. ඉන්පසු නදී ඉවුරට ගිය සිවලා, පාවල වැලක් පැටලුනාක් මෙන් ගංතෙර ම, එහෙට මෙහෙට ගියේය. මේ අතර ‘ගම්භීරචාරී’ (ගැඹුරු දියේ හැසිරෙන්නා) නම් වූ ද, ‘අනුතීරචාරී’ (නොගැඹුරු දියේ හැසිරෙන්නා) නම් වූ ද, දිය බල්ලෝ දෙදෙනෙක්, මාලු සොයමින් නදී තෙරට පැමිණියහ. ඒ දෙදෙනා අතුරෙන් ගම්භීරචාරියා මහත් වූ රතුපැහැති මාලුවකු දැක වේගයෙන් දියට පැන, මාලුවාගේ වලිගය ඩැහැ ගත්තේය. බලවත් මාලුවා දිය බල්ලා ද, ඇදගෙන පීනා ගියේය. එවිට ඒ ගම්භීරචාරියා මාලුවාත් සමග වතුරෙන් උඩට මතු වූ විටෙක, සිය මිතුරා වන අනෙකාට කථා කරමින් ‘මේ මාලුවා අතිවිශාලය. අප දෙදෙනාටම සෑහේ. එබැවින් වහා මෙහි එව. මට සහාය වෙව’යි, මෙසේ කීවේය.
අනුතීර චාරි භද්දන්තෙ - සහාය මනුධාව මං,
මහා මෙ ගහිතො මච්ඡො - සො මං හරති වෙගසා
යහලු අනුතීරිචාරිය, ඔබට යහපතක් වේවා! මා වෙත දිවැ එන්න. මා විසින් මහා මාලුවෙක් අල්ලා ගන්නා ලදි. ඌ මා වේගයෙන් ඇදගෙන යයි.
මෙහි ‘සහායමනුධාව මං’ යනු ‘යහලුව, මා වෙත දිවැ එන්න’, යන අර්ථයි. මෙහි ‘ම’ කාරය සන්ධි පිණිස යොදන ලද්දකි. මෙහි අර්ථය මෙසේය. එනම්, යම් සේ මේ මාලුවාට, මා ඇදගෙන යන්නට බැරිවන ලෙස, මෙසේ මාලුවාගේ වලගය ගදින් ඩැහැගෙන සිටින මා වෙතට, ඔබ දිවැ එන්න, යනුවෙනි.