4. ගිජ්ඣ ජාතකය (399)
‘තෙ කථන්නු කරිස්සන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, මාතුපෝෂක එක් භික්ෂුවක අරබයා වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ගිජුලිහිණි ජාතියෙහි ඉපිද, තරුණවියට පත්වූයේ, මහළු වූ ඇස් අන්ධ වූ දෙමාපියන් ගිජු ලිහිණි ගුහාවෙහි තබා, ගවමස් ආදිය ගෙනවුත්, ඔවුන් පෝෂණය කෙළේය. එකල බරණැස් නුවර සුසාන භූමියක එක් වැද්දෙක් නිශ්චිත භාවයකින් තොරව ගිජු ලිහිණියන්ට මළපුඬු ඇටවීය. ඉක්බිති එක් දවසක් බෝසත් ලිහිණියා ගව මස් සොයමින් සුසාන භූමියට පිවිසියේය. එහි ඇවිදින කල්හි, ලිහිණියාගේ එක් කකුලක් උගුලක හිර විය. එහෙත් එහි දී ඌ තමා ගැන නොසිතුවේය. ඌ සිතුවේ, තම මහලු දෙමාපියන් ගැනය. ‘මට මෙතැනින් බේරී යන්නට නොහැකි වුවහොත්, කෙසේ නම් මාගේ මව සහ පියා යැපෙන්නාහු ද? මා උගුලක සිරවූ බව නොදන්නා ඔවුහු අනාථව, ආහාර නැතිව, පර්වත ගුහාව තුළ ම, වියලී මිය යන්නාහ’යි ඒ ගැන කල්පනා කොට වැලපෙන්නට පටන්ගත්, ගිජු ලිහිණියා මෙසේ පැවසීය.
තෙ කථන්නු කරිස්සන්ති - වුද්ධා ගිරිදරීසයා,
අහං බද්ධොස්මි පාසෙන නිලීයස්ස වසංගතොති
අහං බද්ධොස්මි පාසෙන නිලීයස්ස වසංගතොති
නීලිය වැද්දාගේ වසඟයට හසුවූ මම, මළපුඬුවේ බැඳුනෙම්, පර්වත කුහරයෙහි නිදන, ඒ මහලු මව්පියෝ කුමක්නම් කරන්නාහුද?
මෙහි ‘නීලියස්ස’ යනු ‘ඒ ම ඇති වැදි පුත්රයාගේ’ යන අර්ථයි.
ඉක්බිති වැදිපුත්රයා ගිජු ලිහිණි රාජයාගේ වැලපීම් ශබ්දය අසා මෙසේ කීවේය.
2. ගිජු ලිහිණිය, කුමට වැලපෙහි ද? කුමන වැලපුමක් ද? මිනිස් බසින් කථා කරන කුරුල්ලකු, මා මීට පෙර දැක නැත. අසා ද නැත.
3. මම පර්වත කුහරයෙහි නිදන, මහලු දෙමාපියන් පෝෂණය කරමි. මම දැන් ඔබේ වසඟයට පත් වූයෙමි. දැන් ඔවුහු (මව්පියෝ) කුමක් නම්, කරන්නාහුද?
4. ගිජු ලිහිණියෙක් යොදුන් සියයක් දුර ඇති මළ කුණු දකියි. මෙතරම් ළංවීත්, කුමක් නිසා දැලත්, මළපුඬුවත් ඇති බව තේරුම් නොගත්තේද?
5. යම්කලෙක විනාශය ළං වනවිට, ජීවිත හානිය කිට්ටු වනවිට, ඒ තැනැත්තා සමීපයේ වූ දැලත්, මළපුඬුවත් අවබෝධ කොට නොගනියි.
6. පර්වත ගුහාවෙහි සයනය කරන, මහලු දෙමාපියන් පෝෂණය කරව. එය මා විසින් අනුමත කරන ලදි. ඔබ සුව සේ ගොස් නෑයින් දකින්න.
7. වැද්දාණෙනි, එපරිද්දෙන්, ඔබත් සියලු ඥාතීන් සමග සතුටු වේවා! මම පර්වත ගුහාවෙහි නිදන, මහලු දෙමාපියන් පෝෂණය කරන්නෙමි.
මෙහි 2-4-6 යන ගාථා වැදි පුත්රයා විසින් ද 3-5-7 යන ගාථා ගිජු ලිහිණියා විසින්ද කියන ලද්දේය.
මෙහි ‘යන්නූ’ යනු ‘ලෝ වැස්සන් විසින් යමක් කියනු ලැබේ ද?’ යන අර්ථයි. ‘ගිජ්ඣො යෝජනසතං කුණපානි අවෙක්ඛති’ යනු ‘යොදුන් සියයක් ඉක්මවා පැවති මළකුණු ගිජු ලිහිණියෙක් දකියි යන මෙය ඇත්තක් වුවත් නැතත්, කුමක් හෙයින් ඔබ මේ දැලත් මළපුඬුවත් මෙතරම් ළංව තිබියදීත්, අවබෝධ කොට නොගත්තෙහිද? ළඟ ඇවිල්ලත්, දැන නො ගත්තේද? යන අර්ථයි.
‘පරාභවො’ යනු ‘විනාශය’යි. ‘භරස්සු’ යනු ‘මෙසේ ඒ වැද්දා බෝසතුන්ගේ දැහැමි කථාව අසා ‘මේ නුවණැති ගිජුලිහිණි රාජයා වැලපුනත්, එය තමා වෙනුවෙන් නොව, සිය මවුපියන් වෙනුවෙනි. එබැවින් මොහු මැරීම අයුතු යැයි, බෝසතුන් ගැන සතුටුව එසේ කීය’ යන අර්ථයි.
ඉක්බිති මරණ දුකින් මිදී සුවපත් වූ බෝසත් තෙමේ, වැද්දාට පිං අනුමෝදන් කරමින්, ඉහතින් දක්වා ඇති සත්වන ගාථාව කියා, සිය මුඛයට ගතහැකි තරම් මස් රැගෙන ගොස්, සිය මවුපියන්ට ඒවා දුන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්යය ප්රකාශ කොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, මාතුපෝසක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
එදා වැදිපුත්රයා නම්, ඡන්නය. මවුපිය දෙදෙනා නම්, සුද්ධෝධන රජතුමා සහ මහාමායා දේවියයි. ගිජුලිහිණි රාජයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
5. දබ්භපුප්ඵ ජාතකය (400)
‘අනුතීරචාරී භද්දන්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ශාක්යපුත්ර වූ උපනන්ද තෙරුන් අරබයා වදාළ සේක. සසුනෙහි පැවිදි වූ ඔහු අල්පේච්ඡතා ආදී උතුම් ගුණ අත්හැර දමා, තණ්හාධිකව කල්ගෙවීය. වස් වසන අවස්ථාවන්හිදී විහාරස්ථාන දෙක-තුනක වස් වසන්නට බාර ගන්නා ඔහු, එක් විහාරස්ථානයක තමාගේ කුඩය හෝ වහන් සඟල තබයි. තවත් එකෙක හැරමිටිය හෝ ඔහුගේ වතුර සෙම්බුව තැන්පත් කරයි. අනෙකෙහි තෙමේ වස් වසයි. මෙසේ එක නගරබද වෙහෙරක වස් එළඹි උපනන්ද හිමි, එහි විසූ අනෙකුත් භික්ෂූන් රැස්කොට ‘ඇවැත්නි, භික්ෂූන් විසින් අල්පේච්ඡව ම කටයුතු සිදුකළ යුතු යැ’යි, අහසෙහි හඳ මතුකොට පෙන්වන්නාක් මෙන්, ප්රත්යයන්ගෙන් සතුටු විය යුතු ආකාරය, භික්ෂූන්ට පැහැදිලි කරන ‘අරියවංශ ප්රතිපදාව’ දේශනා කෙළේය. ඒ ඇසූ එම වෙහෙරෙහි භික්ෂූුහ තමන්ට ලැබී තිබූ, මනෝරම්ය වූ පාසිවුරු හැර දමා, මැටි පාත්ර හා පාංශුකූල චීවර ප්රයෝජනයට යොදා ගත්හ. අනතුරුව ඔවුන් බැහැර කළ ඒ වටිනා සිවුරු හා පාත්රා එකතු කොටගත් උපනන්ද හිමි, ඒවා තමා වසන තැන ගොඩගසා ගත්තේය. වස් අවසානයේ දී පවාරණයෙන් පසු, සියලු මඩු-මුට්ටු කරත්තයක පටවා ගත් උපනන්ද හිමි, ජේතවනය බලා පිටත් විය. අතරමගදී එක් කැලෑබද විහාරයක් දුටු ඔහු, ඒ ගැන සිය සිත්හි කිසියම් අදහසක් ඇති කොටගෙන, කකුල්වල වැලක් පැටලුනාක් මෙන්, එකපාරටම නැවතී ‘මෙහෙනුත් මොනවා හරි ලැබිය හැකි වන්නේයැ’යි සිතා, ඒ විහාරයට පිවිසියේය. ඒ වෙහෙරෙහි මහලු භික්ෂු දෙනමක් වස් එළඹ විසූහ. ඒ දෙනමට දායකයන්ගෙන් දළ සළු දෙකක්ද, ඉතා සියුම් ලෝම වර්ගයකින් වියන ලද එක් මහඟු කම්බිලියක් ද, ලැබී තිබුණි. ඒවා ක්රමවත්ව බොදාගත නොහැකිව සිටි ඒ දෙනම, උපනන්ද තෙරුන් දැක, ඔහු ලවා වස්ත්ර වෙන්කොට ගැනීමට සිතා, සතුටු සිත් ඇතිව ‘ස්වාමීනි, අපට මේ වස්සාවාසික සුළු බෙදාගත නොහැකිය. මේ නිසා අප අතර විවාදයක් වුවද හටගන්නට බැරි නැත. එබැවින් කරුණා පෙරදැරිව මෙය අපට බෙදා දෙනු මැනවැ’යි උපනන්ද තෙරුන් කීහ. ඒ අසා සිටි උපනන්ද හිමි ‘මැනව, මම එය සුදුසු ලෙස බෙදා දෙන්නෙමැ’යි කියා, දළ සළු දෙක ඒ දෙනමට දී, ‘මේ ප්රශ්නය විසඳූ විනයධරයාට මේ වස්ත්රය සුදුසු යැ’යි කියා, සිනිඳු කම්බිලිය ගෙන, යන්නට ගියේය.