3. සුතනු ජාතකය (398)
‘රාජා තෙ භත්තං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, මාතුපෝෂක භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘සාම’ ජාතකයෙහි විස්තර කෙරේ. එහි අතීත කථාව මෙසේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ දුප්පත් පවුලක ඉපදුනේය. ඔහුගේ දෙමාපියෝ, නම් තබන දවසෙහි ඔහුට ‘සුතනු’ යන නම තැබූහ. තරුණ වියට පත් වූ එතුමා වැටුපට වැඩ කොට, සිය මව්පියන් පෝෂණය කෙළේය. පසුකලෙක ඔහුගේ පියා මිය ගියේය. එයින් අම්මත්, පුතත් යන මේ දෙදෙනා පමණක් නිවසේ තනි වූහ. දැන් ඔහුට ඇති බර, සිය මෑණියන් පෝෂණය කිරීම පමණෙකි. මෙකල බරණැස් රජතුමා මුව දඩයමෙහි ලොල් වී ක්‍රියා කෙළේය. එක් දිනක් රජතුමා මහත් වූ පිරිවරක් කැටුව, යොදුන් දෙක තුනක් පමණ කැලයේ ඈතට ගොස්, තම පරිවාර පිරිස අමතා ‘පුරුෂයෙනි, සෑම දෙනා ම මුවන් රැක්මෙහි යෙදිය යුතුය. කාගේ හෝ සමීපයෙන් මුවකු පැන ගියහොත්, ඒ මුවා ගැන, ඔහුම වගකිව යුතුය. කෙසේ හෝ ඒ මුවා අල්ලා ගැනීම, ඔහුට ම බාර යැ’යි පිරිස දැනුවත් කෙළේය. ඇමතිවරු, මුවන් නිතර ගමන් කරන අඩි පාරක් සොයා, ඒ සමීපයෙහි කොටුවක් බැඳ, මුවන්ට සැක නො සිතෙන පරිද්දෙන්, ඒ කොටුවේ වටේට කොළ අතු එල්ලා, රජතුමාට ඒ තුළ හිඳින්නට පහසුකම් සලසා දුන්හ. පසුව කැලය වටකොට ගිය මිනිසුන් කෑ ගසමින් දඬුවලින් කැලයට ගසමින් රැක සිටි පිරිස දිහාවට මුවන් දක්කන කල්හි, එක් ඒණි මුවෙක් රජුගේ ඉදිරියට පැමිණියේය. ඒ දුටු රජතුමා මුවා විද හෙළීමට සිතා, ඊතලයක් ගෙන, මුවා ඉලක්ක කොට විද්දේය. කපටිකම් මැනවින් දැන සිටි මුවා, ඊතලය තමාගේ ඇලපත දෙසට ඉලක්ක වී ඇති බව තේරුම් ගෙන, සැණෙකින්, වටයක් කැරකී, ඊපහර ලද්දකු මෙන් බිම වැටුණේය. එයින් සතුටට පත් රජතුමා ‘මා විසින් මුවා විදින ලදැ’යි, යන හැඟීමෙන් ඌ අත්පත් කරගනු සඳහා, එතැනට දිවැ ගියේය. රජු ළං වෙනවාත් සමගම වහා නැගිට ගත් මුවා, එක පිම්මේ වාත වේගයෙන් දුවන්නට පටන් ගත්තේය. ඒ දුටු ඇමතිවරු ආදි පිරිස, රජුට අපහාසයට සිනාසෙන්නට පටන් ගත්හ. රජතුමා කිසිදු පැකිලීමකින් තොරවම, මුවා ලුහුබඳින්නට පටන් ගත්තේය. කැලයේ අභ්‍යන්තරයට බොහෝ දුරක්, ලුහුබැඳ ගිය රජතුමා, දිවීමෙන් ඉතා වෙහෙසට පත් වී සිටි මුවා වෙත ළං වී එක කඩු පහරකින්ම, ඌ දෙකට කපා දැමීය. කැලයෙන් ම දණ්ඩක් කපා, එය ශුද්ධකොට ගත් රජතුමා, මුවාගේ කැපුණු කොටස් දෙක දණ්ඩෙහි දෙපස එල්ලාගෙන, එය කදක් මෙන් කර තබාගෙන, තම සගයන් සිටි දෙසට එන්නට, ගමන් ආරම්භ කෙළේය. මද දුරක් එනවිට රජතුමා බොහෝ වෙහෙසට පත්ව සිටියේය. රජු පැමිණෙන ගමන් මාර්ගයේ මඳක් නුදුරෙහි තිබූ, අතිවිශාල නුගරුකක් රජුට දක්නට ලැබුණි. ‘එහි ගොස් මඳක් විඩාහැරිය යුතු යැ’යි තීරණය කළ රජතුමා, කදත් රැගෙනම නුග ගස වෙත ගොස්, එහි සිසිල් සෙවනෙහි මඳක් සැතපුණේය.
මේ නුග ගසෙහි ‘මඛාදේව’ නම් වූ කුරිරු යක්‍ෂ රාජයෙක් අරක් ගෙන සිටියේය. නුග ගසේ සෙවන යටට පැමිණෙන ඕනෑම සතකු අල්ලා කෑමට ‘වෙසවුණු’ රජුගෙන් වරම් ලබා තිබූ, ඒ යකා දිගින් දිගටම ඒ ක්‍රියාවේ යෙදුණේය. ටික වේලාවකට පසු නින්දෙන් ඇහැරුණු රජතුමා, කදත් කරටගෙන, එතැනින් නික්ම යන්නට සැරසුණි. එවිටම මඛාදේව යක්‍ෂයා පැනපු ගමන්, රජුගේ අතින් තරයේ අල්ලා ගත්තේය. ‘පුරුෂය, දැන් තා අයිති මටය. එබැවින් මෙතැනින් අඩියක්වත් යන්නට නොසිතව. මම දැන් තා කා දමන්නෙමි’යි, යක්‍ෂයා රළු හඬින් රජුට පැවසීය. ‘එම්බල යක්‍ෂයා, තෝ කවරෙක්ද?’ ‘පුරුෂය, මම මේ නුග ගස අරක් ගත් යක්‍ෂයා වෙමි. මෙතැනට ඇතුළු වූවකුට මගෙන් බේරුමක් නැතැ, උන් හැමදෙනා ම මගේ ආහාරය යි’, මෙහිදී මනාලෙස පියෙවි සිහිය උපදවා ගත් රජතුමා මෙසේ කීවේය.’ යක්‍ෂය, කිමෙක්ද? අද පමණක් කෑම ලැබුණොත්, නුඹට ඒ ඇතිද? නැතහොත් දිනපතා කෑම ලැබුණොත්, එය වඩා හොඳ ද?’ ‘පුරුෂය, දිනපතා ආහාර ලැබෙන්නේ නම්, එය වඩාත් හොඳ ය’. ‘යක්‍ෂය, එසේ නම් අදට මේ මුවා අනුභව කරව, මා මුදා හරුව, මම තට හෙට පටන්, දිනකට එක් බත් පාත්‍රයක් අතට දී, මිනිසකු බැගින් දිනපතා තා සමීපයට එවන්නෙමි’. ‘පුරුසය, එසේ නම් අප්‍රමාදීව, මේ කාරණය සිහියේ තබා ගනුව, එසේ මා සඳහා බිල්ලක් නොඑවූ දිනෙක, මම ඇවිත් තා කා දමන්නෙමි’. ‘යක්‍ෂය, මම බරණැස් රජතුමා වෙමි. මට තේරුම් ගත නොහැකි කිසිවක් නැතැ’යි, රජතුමා උත්තර දුන්නේය. අනතුරුව රජු පොරොන්දු කරවා ගත් යක්‍ෂයා ඉන්පසු ඔහු මුදා හළේය. යක්‍ෂ ග්‍රහණයෙන් මිදී සිය මාලිගාවට පිවිසි රජතුමා, තමාට හිතවත් ම ඇමතියා ළඟට කැඳවා, සියලු තොරතුරු නො වළහා ඔහුට කියා ‘අපි දැන් මීට කුමක් කරමු දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, ඔබතුමා, ‘අසවල් දින පටන්, අසවල් දින දක්වා යැ’යි, බිලි පූජාවට දින වෙන්කර ගත්තේ දැ’යි, ඇමතියා රජුගෙන් ඇසීය. එවැනි දින නියම කර ගැනීමක් නො කෙළෙමැ’යි, රජතුමා උත්තර දුන්නේය. ‘දේවයන් වහන්ස, ඔබ කර තිබෙන්නේ නොකටයුත්තකි. එවැන්නක් ඔබතුමා තබා, මෙලොව කිසිවකු විසින් වත්, නොකළ යුතු වැඩෙකැ’යි කී ඇමතිවරයා, ‘දේවයිනි, දැන් කමෙක් නැත. ඒ ගැන කිසිවක් නොසිතනු මැනවි. බන්‍ධනාගාරවල මිනිස්සු ඕනෑතරම් සිටිති. අපි ඔවුන්ගෙන් බිලි පූජාව අරඹමු’යි කීය. ‘ඇමතිය, එසේ වී නම්, මගේ ජීවිතය බේරාගැනීම ඔබට ම බාරය. ඔබ මේ කටයුත්ත තමන්ගේම වැඩක් ලෙස ගෙන, එය ඉටුකරව’යි, රජතුමා ඇමතිවරයාට දැනුම් දුන්නේය.
‘යහපතැ’යි පිළිගත් ඇමතිතුමා, දා පටන් දිනපතා බන්‍ධනාගාරයෙන් මුදාගත් මිනිසකු අතට බත් පාත්‍රයක් දී, ඔහු කිසිවකුට නොදැනෙන පරිද්දෙන්, යක්‍ෂයාගේ වාසස්ථානය වෙත යැවීය. යකා පළමු කොට බත් පාත්‍රය කා, දෙවනුව මිනිසා ද ගිල දමයි. මෙසේ යනවිට ටික කලකදීම බන්‍ධනාගාර, සිරකරුවන්ගෙන් හිස් විය. මෙසේ යකාට බත් ගෙනියන මිනිසුන් හිඟ වනවිට, රජතුමා මරණ බයෙන් වෙවුලන්නට විය. එවිට රජු අස්වැසූ, ඉහත කී ඇමතිවරයා ‘දේවයන් වහන්ස, ජීවිත ආශාවට වඩා, ධනයට ඇති ආශාව ඉතා බලවත්ය. එබැවින් මඟල් ඇතුපිට රන්මසු දහසක පොදියක් තබා බැඳ, මෙනුවර කවරෙක් මේ ධනය අයත් කොටගෙන, යක්‍ෂයා සඳහා බත් පාත්‍රයක් ගෙන යන්නට සමත් වන්නේද? එවැන්නෙක් වේ නම් රජවාසලට පැමිණ ඒ බව දැනුම් දී තෑගි මුදල ලබා ගන්නැ’යි කියා, අණබෙර හසුරුවමු’යි රජුට යෝජනා කෙළේය. රජතුමා ද එය එසේම ක්‍රියාත්මක කරවීය. මේ ආරංචිය දැනගත් බෝසත් තෙමේ, ‘මම කුලී වැඩ කොට මසුරමක්, මසුරන් භාගයක් බැගින් මුදල් එකතු කොට ඉතා අපහසුවෙන් දුක සේ, මෙතෙක් මගේ මෑණියන් පෝෂණය කෙළෙමි. රජුගේ මේ තෑගි මුදල ලබාගෙන, එය මෑණියන්ට දී, මම යක්‍ෂයා වෙත යන්නෙමි. යම් විදියකින් එහිදී යක්‍ෂයා දමනය කරලන්නට හැකි වෙතොත්, නොපසුබට ව එය කරන්නෙමි. එසේ වුවහොත් එය මහා හපන්කමෙකි. එය නොහැකි වන්නේ නම්, මාගේ මෑණියන්වත් සුවසේ ජීවත් වන්නේ නොවේදැ’යි සිතුවේය. මෙසේ සිතූ බෝසත් තෙමේ, ඒ කාරණය සිය මෑණියන්ට දැනුම් දුන්නේය. ‘පුතණුවනි, ඔය ධනයෙන් මට ප්‍රයෝජනයක් නැත. එබැවින් කිසිසේත් මින් මතු එවැන්නකට උත්සාහ නොකරව’යි මෑණියෝ එය වැළකූහ. මෙසේ ඇය බෝසතුන්ගේ මේ ඉල්ලීම, දෙවරක් ම ප්‍රතික්‍ෂේප කළාය. බෝසත් තෙමේ තෙවන වර සිය මෑණියන්ට නොදන්වාම, රාජ පුරුෂයන් හමුවට ගොස්, ඔවුන් අතින් දහසක මසුරන් පොදිය ලබාගෙන, ගමනට එකඟව සිය නිවසට පැමිණ එය මෑණියන් අත තබා ‘මෑණියෙනි, බිය නොවනු මැනවි. මම යක්‍ෂයා දමනය කොට මහජනයාටද යහපතක් කොට, අද ම ඔබේ ඔය කඳුලු පිරි මුහුණ සිනාගන්වමින් ආපසු පැමිණෙන්නෙමි’ කියා මවට වැඳ රාජපුරුෂයන් සමගම රජු වෙත ගොස්, රජුට නමස්කාර කොට එකත්පස්ව සිටියේය.