2. මනෝජ ජාතකය (397)
‘යථා චාපො නින්නමති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක්, ප්‍රතිපක්‍ෂ උදවියට සේවා කම් කළ එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘මහිලාමුඛ’ ජාතකයෙහිදී විස්තර කරන ලදි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සෙසු භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, මේ භික්‍ෂුව විපක්‍ෂ සේවකයකු වූයේ, දැන් පමණක් නොව, පෙර ද එසේම වූයේ යැ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සිංහරාජයෙක්ව ස්වකීය සිංහ ධේනුවත් සමග එක්ව වාසය කෙළේය. ඔවුනට පුතෙක් හා දුවක් වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. ‘මනෝජ’ යනු ඒ එකම පුතාගේ නමයි. මනෝජ ද තරුණ වියට පත්වූ පසු ගැලපෙන සිංහ ධේනුවක් සමග පවුල් විය. මෙසේ ඔවුන් විසූ ගුහාවේ මුළු පවුලේ එකතුව පස්දෙනෙකි. මනෝජ කුළු මීමුන් ආදී වන සතුන් මරා ගෙනවුත් සිය මවුපියන් ප්‍රධාන, පවුලේ උදවියට දී, ඔවුන් පෝෂණය කරයි. එක්දිනක් ගොදුරු බිම ඇවිදින මනෝජට සිවලකු දක්නට ලැබුණි. ‘ගිරිය’ නම් වූ මේ සිවලා තරුණ සිංහයා දුටු සැණින් පලා යන්නට උත්සාහ කළත්, එය නිශ්ඵල බව දැන බයාදු ලෙස ගාත් දෙපසට දමා බිම වැතිරුණේය. ඒ දුටු සිංහයා ‘මිතුර, මේ කිමදැ’යි ඇසීය. ‘ස්වාමීනි, මම ඔබතුමා දැකීමට පැමිණියේ ඔබේ ළඟ සේවාකම් කරමින්, උපස්ථාන කරමින් උදව් වීමට යැ’යි සිවලා කීවේය. එවිට සිංහයා තමා ඊට කැමති බව සිවලාට දැනුම් දී, ඌත් කැටුව තමා වසන ගුහාවට ගියේය. සිවලා දුටු බෝසත් සිංහ රාජයා ‘පුතු මනෝජ, සිවල්ලු නම් දුස්සීලයෝ ය. පාප ධර්මයෙහි ඇලුණු අය වෙති. අවැඩෙහි යොදවන්නෝ ම වෙති. එබැවින් එවැන්නකු ළංකර නොගත යුතු යැ’යි සිය පුතුට අවවාද කෙළේය. එසේ වුවත් ඒ කිසිවක් ගණන් නොගත් මනෝජ, සිවලා සමගම සියලු ගමන් බිමන් ගියේය.
කිසියම් දවසක අශ්ව මස් කෑමට ආශාවක් ඇති වූ සිවලා, මනෝජ අමතා ‘ස්වාමීනි, අප විසින් අශ්ව මස් හැර වෙනත් නො කෑ මසක් නැත. ඒ නිසා අපි අශ්වයකු අල්ලා ගනිමුදැ’යි කීවේය. ‘සබඳ, අසුන් ඇත්තේ කොහිද?’ ‘ස්වාමීනි, බරණැස් නුවර නදී තෙර ඕනෑ තරම් අශ්වයෝ සිටිති’යි සිවලා කීය. උගේ වචන පිළිගත් මනෝජ ඌත් සමග එකී නදිය වෙත ගොස්, නදියෙහි බැස නාන අශ්වයන් දැක, ඉන් එකකු අල්ලාගෙන, සිය පිට මත දමාගෙන වේගයෙන් අවුත් නැවතුණේ, සිය නවාතැන වන ගල් ගුහාව ළඟය. එදා පවුලේ සියලු දෙනා ද, සිවලා ද අශ්ව මස් හිතේ හැටියට කෑහ. කෑමෙන් පසු සිය පුතු ඇමතූ සිංහරාජයා, ‘පුතණුවනි, අශ්වයෝ නම් රජුට අයත් සත්ත්ව විශේෂයකි. රජවරු විවිධ මායා ඇති අය වෙති. එබැවින් ඔවුහු දක්ෂ දුනුවායන් යොදා සතුරන් මරවති. එබැවින් අශ්ව මස් කන සිංහයෝ වූ කලී, දීර්ඝ ආයුෂ ඇත්තෝ නොවෙති. ඒ නිසා මින් මතු අශ්වයන් අල්ලන්නට නොයව’යි, තරයේ මනෝජට අවවාද කෙළේය. පියාගේ වචනය මායිම් නොකළ, මනෝජ සිය කටයුතු සුපුරුදු ලෙසින්ම කරගෙන ගියේය. මේ අතර සිංහයකු තමාට අයත් අශ්වයන් අල්ලා මරන බව දැනගත් රජතුමා, ඇතුළු නුවර ම අශ්වයන්ට සුවසේ විසිය හැකි භූමියක් වෙන්කොට, එහි විශාල පොකුණක් ද කරවීය. සිවලා සැපයූ තොරතුරු අනුව එහි ගිය මනෝජ, එතැනින් ද අශ්වයන් අල්ලා මරාගෙන ගියේය. අනතුරුව ඒ ගැන තොරතුරු දැනගත් රජතුමා වෙනම අස්හලක් සාදවා, අශ්වයන් එහි ගාල්කොට තණකොළත් වතුරත් වෙනත් අවශ්‍ය දෑ ද, එතැනට ම සැපයීමට කටයුතු සංවිධානය කෙළේය. සිවලාගේ මඟපෙන්වීම යටතේ එහි යන්නට පවා, මනෝජ එඩිතර විය. ඒ ස්ථානය පවුරකින් වටකොට තිබුණි. එහි ගිය මනෝජ එක්වරම පවුර මත පැන, එතැනින් අස්හලට ඇතුළු වී එහි සිටි අසුන් අතරින් එකකු පැහැර ගත්තේය. මේ සිද්ධිය පසුදාම රජතුමාට ආරංචි විය.
විදුලිඑලියෙන් සතකු විද මැරිය හැකි දුනුවායකු කැඳවූ රජතුමා ‘පුත, නුඹට රාත්‍රී කාලයෙහි සිංහයකු විද මරා හෙළන්නට හැකි දැ’යි ඇසීය. ඒ හැකියාව තමාට ඇතැයි පිළිගත්, දුනුවායා රජුට පොරොන්දු වී, අස්හලේ පවුර සමීපයෙහි, සිංහයා පවුරට ගොඩවෙන ස්ථානය සලකා, ඒ අසල අටල්ලක් බැඳ, එහි සැඟව සිංහයාගේ පැමිණීම අපේක්‍ෂා කරමින් බලා සිටියේය. මේ අතර සිවලා ද කැටුව පැමිණි මනෝජ, අස්හල සමීපයෙහි වූ සුසාන භූමියක සිවලා නවත්වා, තනිවම අසකු අල්ලා ගැනීමේ අදහසින් ඇතුළු නුවරට පිවිසියේය. සිංහයා අස්හල සමීපයට පැමිණ එක්වරම, එහි තාප්පය උඩට පැන්නේය. ඒ දුටු දුනුවායා ‘ගොදුර ගැනීමට පැමිණෙන සිංහයා ඉතා වේගවත්ය. ඉතා තියුණු ස්වරූප ඇත්තේ යැ’යි සිතා, එවේලෙහි සිංහයාට විදීමට තීරණය නොකොට, අශ්වයකු මරාගෙන ඒ ගොදුර ඔසවාගෙන අපහසුවෙන් සිංහයා පැමිණෙන විට, විදීම වඩාත් ප්‍රඥාගෝචර යැ’යි, අදිටන්කොට ගෙන ඒ අවස්ථාව පැමිණෙන තෙක්, නො ඉවසිල්ලෙන් බලා සිටියේය. මේ අතර අසකු මරාගත් සිංහයා, ඒ බරත් ඔසවාගෙන, අපහසුවෙන් මඳ වේග ඇතිව ගාටමින්, පවුර සමීපයට පැමිණියේය. ඒ දුටු දුනුවායා ඉතා තියුණු ඊතලයක් ගෙන, සිංහයාගේ පසුපසට එල්ලකොට විද්දේය. සිංහයාගේ පසු පෙදෙසින් ඇතුළු වූ ඊතලය උගේ හිස සමීපයෙන් නික්ම අහසට විසි විය. ඊතල පහර කෑ සිංහයා මරහඬ තැලීය. එවිටම දුනුවායා ද හෙනහඬ නංවමින් දුනුදිය පෙළීය. පිට නුවර අස්හලට නුදුරෙහි සුසාන භූමියෙහි හුන් සිවලා සිංහයාගේ මරහඬත්, දුනුදියේ නාදයත් අසා, ‘මාගේ ස්වාමියා ස්ථිර වශයෙන් ම මරණයට පත් වූයේ යැ’යි සිතා ‘මළ අය සමග කුමන විශ්වාසයක් දැ’යි සලකා, පූර්වයේදී තමා විසූ ස්ථානය සිහිකොට, එහි යන්ට පිටත්වෙමින්, තමාට ම මෙසේ කියා ගත්තේය.
යථා චාපො නින්නමති - ජියා චාපි නිකූජති,
භඤ්ඤතෙ නූන මනොජො - මිගරාජා සඛා මම
යම් සේ දුන්න නැමේද? දුනුදිය ද හඬ තළයි ද? ඒකාන්තයෙන් මාගේ මිත්‍ර මනෝජ නම් වූ සිංහරාජයා නැසුනේය.
හන්‍දදානි වනං තාණං - පක්කමාමි යථා සුඛං,
නෙතාදිසා සඛා හොන්ති - ලබ්භා මෙ ජීවිතො සඛා
ඒකාන්තයෙන් දැන් ආරක්‍ෂිත ස්ථානය නම් කැලයයි. සුවසේ එහි යමි. මෙබඳු (මැරුණු) අය මිතුරෝ නොවෙති. ජීවත් වුවොත්, මට යහලුවන් ලැබිය හැකිය.
මෙහි ‘යථා’ යනු ‘යම් ආකාරයකින් දුන්න නැමේද?’ යන අර්ථයි. ‘හඤ්ඤතෙ නූන’ යනු ‘ඒකාන්තයෙන් නැසේ’ යන අර්ථයි. ‘නෙතාදිසා’ යනු ‘මෙවැනි මියගිය අය නම් යාලුවෝ නොවෙති’ යන අර්ථයි. ‘ලබ්භා මෙ ජීවතො’ යනු ‘යහලුවන් ලබාගැනීම නම්, මට කළ හැකිය, යන අර්ථයි.
ඊතල පහර කෑ නමුත් සිංහයා සිය ගොදුර අත්හළේ නැත. සිය ගොදුර ඩැහැ ගත් ඌ, එකම වේගයෙන් සිය ගුහාව වෙත ගොස්, අසුගේ මළකුණ ගුහා දොරටුවෙහි හෙළනවාත් සමගම, මැරී වැටුනේය. ඒ ශබ්දය ඇසී ගුහාවෙන් බැහැරට ආ පවුලේ උදවිය ලෙයින් වැකුණු සිරුරු ඇති, ලේ වැගිරෙමින් අවසන් නින්දෙහි වැටී හුන්, පවිටු ජනයන් සේවනය කිරීමෙහි ප්‍රතිඵල වශයෙන්, සිය ජීවිතයෙන් වන්දි ගෙවූ, මනෝජ දුටහ. ඒ දුටු මනෝජගේ පියා ද, මව ද, සොයුරිය ද, බිරිඳ ද යන මේ අය පිළිවෙලින් මේ ගාථා සතර ප්‍රකාශ කළහ.
3. පවිටු ජනයා ඇසුරු කරන්නා, වැඩි කලක් සැප නොලබයි. ගිරියාගේ අනුශාසනා ලැබූ (මර නින්දේ) නිදන, මනෝජයා දෙස බලන්න.
4. පවට නැමුණු පුතකු නිසා, මවක් සතුටු නො වේ. තමාගේම ලේවල ගිලී (අවසන් නින්දේ) නිදන, මනෝජයා දෙස බලන්න.
5. ඒකාන්තයෙන් යමෙක් යහපත පෙන්වා දෙන හිතවතුන්ගේ, වචන අනුව ක්‍රියා නො කෙරේද? ඒ පුරුෂය පවිටකු බවට ද පත්වේ. මේ තත්ත්වයට ද (එනම්, මරණයට ද) පැමිණේ.
6. යම් උත්තමයෙක් නීච ජනයන් සේවනය කෙරේද? මෙසේ ඒ තැනැත්තා ඊටත් වඩා පවිටෙක් වේ. නීච ජනයන් සේවනය කරන ලදුව, උසස් තත්ත්වයේ ඊතල පහරකින් විනාශ කරන ලද, මේ උතුම් සිංහරාජයා දෙස බලන්න.
මෙහි ‘අච්චන්තං සුඛමෙධති’ යනු ‘වැඩි කලක් සැප නො ලබයි’ යන අර්ථයි. ‘ගිරියස්සානුසාසතී’ යනු ‘මෙබඳු වූ මේ ගිරියාගේ අනුශාසනා යැ’යි, යනුවෙන් ගරහමින් කීය’ යන අර්ථයි. ‘පාපසම්පවංකෙන’ යනු ‘පවට නැමුණු, පවට සහාය වූවකු කරණ කොටගෙන,’ යන අර්ථයි. ‘අච්ඡන්නං’ යනු ‘ගිලුණු’, යන අර්ථයි. ‘පාපියො ච නිගච්ඡති’ යනු ‘පවක් ම ලබයි’ යන අර්ථයි. ‘හිතානං’ යනු ‘වැඩ කැමති අයගේ’, යන අර්ථයි. ‘අත්‍ථදස්සිනං’ යනු ‘අනාගත දියුණුව පෙන්වා දෙන්නන්ගේ’ යන අර්ථයි. ‘පාපියො’ යනු ‘පාපතරයා’ය. ‘අධමජනුපසෙවි’ යනු හීනයන් සේවනය කරයි’ යන අර්ථයි. ‘උත්තමං’ යනු කාය ශක්තියෙන් උතුම් වූ’ යන අර්ථයි.