9. ධම්මධජ ජාතකය (384)
‘ධම්මං චරථ ඤාතයො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක් කුහක භික්‍ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, මොහු දැන් පමණක් නොව, පෙර ද කුහකයෙක් ම වී යැ’යි වදාරා මේ අතීත කථා ප්‍රවෘත්තිය දේශනා කොට වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කුරුලු ජාතියෙහි ඉපිද, නිසි වියට පත් වූයේ, කුරුලු සමූහයාට නායක වී ඔවුන් පිරිවරාගෙන, සමුදුර මැද පිහිටා තිබූ එක් කුඩා දිවයිනෙක වාසය කෙළේය. මේ අතර කසීරට වැසි එක්තරා වෙළෙඳ පිරිසක් දිසා කපුටකු ද, ගෙන වෙළෙඳාම සඳහා නැව් නැග සමුදුර තරණය කළහ. අවාසනාවකට මෙන්, සමුදුර මැද දී නැව කුණාටුවකට හසුව බිඳුණි. එහි සිටි දිසා කපුටා වහා ඉන් ඉවතට පැන ගත්තේය. තෙරක් නො දැන, ඉබාගාතේ පියඹා යන කපුටා, ඉහත සඳහන් කළ කුරුල්ලන්ගෙන් පිරි කුඩා දිවයින දුටුවේය. ඒ දිවයිනට ගොඩබැස්සා වූ කපුටා, එහි සිටි මහා කුරුලු සමූහයා දැක, ‘මා විසින් කුහකකමින් මොවුන් රවටා, මොවුන්ගේ බිත්තර ද, පැටවුන් ද, තෝර-තෝරා කෑමට සුදුසු යැ’යි සිතුවේය. මෙසේ සිතූ කපුටා දිවයින මැද පිහිටි කිසියම් පිට්ටනියක් වැනි ඉඩ ඇති තැනෙක, වටපිටාවේ හුන් කුරුල් සමූහයා මැදට වන්නට, මුව විවර කොටගෙන, තනි පයින් පොළොවෙහි පිහිටා සිටියේය. මේ අසිරිමත් ක්‍රියාව දුටු කුරුලු සමූහයා, කපුටා වට කොටගෙන, ‘ස්වාමීනි, ඔබ කවරෙක්දැ’යි විමසූහ. ‘හිතවතුනි, මම ‘ධම්මික’ නමි.’ ‘කුමක් නිසා ඔබ තනි පයින් සිටගෙන සිටීද?’ ‘හිතවතුනි, මගේ අනෙක් පාදය පොළොවෙහි තැබුවහොත්, එය පොළොවට දරාගත නොහැකිය.’ ‘ඔබ කට ඇරගෙන සිටින්නේ මන්ද? ‘මම අන් ආහාරයක් නො ගනිමි. සුළං පමණක් බී ජීවත් වෙමි’යි කපුටා පිළිතුරු දුන්නේය. අනතුරුව සියලු පක්‍ෂීන් ළඟට කැඳවූ කපුටා, ‘පින්වතුනි, මම ඔබ සැමට අවවාද දෙන්නෙමි. එය මැනවින් ශ්‍රවණය කරවු යැ’යි කියා, පක්‍ෂීන්ට අවවාද වශයෙන් මෙසේ කීය.
ධම්මං චරථ ඤාතයො - ධම්මං චරථ භද්දං වො,
ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භිච
නෑයිනි, දහම්හි හැසිරෙවු. එය තොපට යහපතකි. දහම්හි හැසිරෙන්නා, මෙලොවත් පරලොවත් සුව සේ කල් හරියි.
මෙහි ‘ධම්මං චරථ’ යනු ‘කාය සුචරිතාදි ප්‍රභේදගත ධර්මයන් අනුගමනය කරවු’ යන අර්ථයි. ‘ඤාතයො’ යනුවෙන් පක්‍ෂීන් අමතයි. ‘ධම්මං චරථ භද්දං වො’ යනු ‘එක්වරක් දහම්හි හැසිර නො පසුපසිවු, නැවත-නැවතත් දහම්හි හැසිරෙවු. එය තොපට යහපතක් වන්නේය’ යන අර්ථයි. ‘සුඛං සෙති’ යන ‘මෙය ප්‍රකට දේශනාවකි. එනම් දහම්හි හැසිරෙන්නා වූ කලී සැපසේ හිඳියි - සිටියි - යයි - නිදයි - සියලු ඉරියව්හි සැපසේම කටයුතු කරයි, යනුවෙන් දක්වයි’ යන අර්ථයි.
දිවයිනේ වැසි පක්‍ෂීහු ‘මේ කපුටා කුහක කමින්, බිත්තර කෑමට මෙසේ කියා යැ’යි නොදැන, ඒ දුස්සීල කපුටා වර්ණනා කරමින් මෙසේ කීහ.
2. ඒකාන්තයෙන් ම මොහු යහපත් කුරුල්ලෙකි. පරම ධාර්මික පක්‍ෂියෙකි. එකපයින් සිටගෙන ධර්මයම අනුශාසනා කරයි.
මෙහි ‘ධම්මමෙව’ යනු ‘සත්‍යය ම’ යන අර්ථයි. ‘අනුසාසති’ යනු ‘ප්‍රකාශ කරයි’ යන අර්ථයි.
මේ දුස්සීල කපුටා විශ්වාස කළ පක්‍ෂීහු ‘ස්වාමීනි, ඔබතුමා වෙනත් ගොදුරු නොගෙන සුළං පමණක් අනුභව කරන්නෙකි. එබැවින් අපේ බිත්තර ද, පැටවුන් ද, බලාගනු මැනවැ’යි කියා, ගොදුරු ගැනීම පිණිස නික්ම යති. ඒ අතර මේ පව්කාර කපුටා, පක්‍ෂීන් නික්ම යන බලා සිට, ඔවුන්ගේ බිත්තර ද, පැටවුන් ද, කුස පුරා කා, පක්‍ෂීන් ආපසු පැමිණෙන වේලාව බලා, උපශාන්ත පුද්ගලයකු මෙන් කට ද ඇරගෙන, තනි පයින් සිටගෙන සිටියි. කුරුල්ලෝ පැමින තම-තමන්ගේ කූඩුවල බිත්තර හා පැටවුන් නො දැක, ‘කවරෙක් අපේ දරුවන් කෑවේ දැ’යි, කියමින් මහ හඬින් හඬති. වැලපෙති. එහෙත් ‘කපුටා දැහැමියෙකි’යි සිතූ, ඔවුහු කපුටා කෙරෙහි මඳ වශයෙන්වත් සැකයක් නොකළහ. කිසියම් දවසක බෝසත් තෙමේ, ‘මේ අපේ දිවයිනෙහි මීට පෙර කිසිදු කරදරයක් තිබුණේ නැත. මේ කපුටා පැමිණිදා පටන්, අවුල ඇතිවිය. එබැවින් මූ ගැන පරීක්‍ෂා කොට බැලීමට සුදුසු යැ’යි සිතා, සෙසු කුරුල්ලන් සමග සුපුරුදු ලෙස ගොදුරු ගන්නට පිටත්ව යන ආකාරයක් දක්වා, තනිවම ආපහු හැරී අවුත්, කිසියම් තැනෙකට වී, සැඟව බලා සිටියේය. කාක්කා ද සෙසු කුරුල්ලන් ගොදුරු පිණිස නික්ම ගිය බව ඉඳුරා ම දැන, නිසැකව සිටි තැනින් නික්ම ගොස්, පෙර පරිද්දෙන් ම බිත්තර ද, කුරුලු පැටවුන් ද කා, ආපසු සිටි තැනට ම පැමිණ, කට ඇරගෙන තනි පයින් සිටියේය. සෙසු කුරුල්ලන් ගොදුරු ගෙන පෙරළා පැමිණි කල්හි,
බෝසත් කුරුලු රාජයා ඒ සියලු දෙනා එක් තැනකට රැස්කොට, ‘හිතවතුනි, මම අද ඔබ සැමදෙනාගේ දරුවන්ට ‘උවදුරු සිදුවන්නේ කාගෙන්දැ’යි පරීක්‍ෂා කරමින්, බලා සිටියෙමි. එවිට මේ පවිටු කපුටා, ඔවුන් කා දැමූ දුටුවෙමි. එබැවින් වහා එක් වවු. අද මේ දැන්මම ඌ අල්ලා ගනිමු’යි කියා, කපුටා වටකොට ගත යුතු පිළිවෙළත්, පලා යාමට උත්සාහ කළොත්, එය වළක්වා ගතයුතු අන්දමත්, පක්‍ෂීන්ට කියා දී, තවදුරටත් මෙසේ ද කීය.
3. මොහුට ශීලයක් නැති බව දැන ගනිවු. (හරිහැටි) නො දැන, ප්‍රශංසා නොකරවු, බිත්තර ද, පැටවුන් ද, කා ‘ධර්මය-ධර්මය’ යැයි කියයි.
4. වචනයෙන් එකක් කරයි, කයින් අනෙකක් කරයි. වචනයෙන් කියන දේ ක්‍රියාවේ නැත. ඔහු ධර්මයෙහි පිහිටියෙක් නොවේ.
5. වදනින් සිලුටුය. මනසින් විෂමය. බිලයන සැඟවී නිදන කළු සර්පයකු බඳුය. ගම් නියම්ගම්හි ‘ධර්මයට කොඩියක් වැනි යැ’යි සම්භාවනාවට පාත්‍ර වූ, මොහු අඥාන පුරුෂයකු විසින්, හඳුනාගත නොහැකිය.
6. මොහුට හොටවලින් ද, පියාපත්වලින් ද, පා වලින් ද, පහර දෙවු, මේ නීචයා විනාශ කරවු, මොහු ජීවත්වීමට නුසුදුස්සෙකි.
මෙහි ‘තාස්ස සීලං’ යනු ‘මොහුට ශීලයක් නැත’ යන අර්ථයි. ‘අනඤ්ඤාය’ යනු ‘නොදැන’ යන අර්ථයි. ‘භුත්‍වා’ යනු ‘කා දමා’, යන අර්ථයි. ‘වාචාය නො ච කායෙන’ යනු ‘මොහු වචනයෙන් පමණක් ධර්මයෙහි හැසිරෙයි, එහෙත් කයින් නැත’ යන අර්ථයි. ‘න තං ධම්මං අධිට්ඨිතො’ යනු ‘එහෙයින් මොහු ධර්මය කියයි. එහෙත් ඔහු එම ධර්මයෙහි පිහිටා නැතැ’යි තේරුම් ගත යුතුය’ යන අර්ථයි. ‘වාචාය සඛිලො’ යනු ‘වචනයෙන් මෘදුය’ යන අර්ථයි. ‘මනො විදුග්ගො’ යනු ‘මනසින් විෂමය. තේරුම් ගැනීමට දුෂ්කර ය’ යන අර්ථයි. ‘ඡන්නො’ යනු යම් බිලයක නිදා ද? එයින් සැඟවිණි’ යන අර්ථයි. ‘කුපසයො’ යනු ‘බිලයක නිදන්නා’ යන අර්ථයි. ‘ධම්මධජො’ යනු ‘සුචරිත ධර්මය කේතුවක් කොට, හැසිරෙන බැවින් ‘ධම්මද්ධජ’ නම් වීය’ යන අර්ථයි. ‘ගාමතිගමාසු’ යනු ‘ගම්වල ද නියම්ගම්වල ද’ යන අර්ථයි. ‘සාධු සම්මතො’ යනු ‘යහපත් පුද්ගලයෙක් යැයි, සම්භාවනාවට පාත්‍ර විය’ යන අර්ථයි. ‘දුජ්ජානො’ යනු ‘මොහු මෙබඳු දුස්සීලයෙකි. සැඟවුණු කටයුතු ඇත්තෙකි’, යන අර්ථයි. ‘බාලිසෙන’ යනු ‘අනුවණ පුරුෂයකු විසින්, දැනගැනීමට අපහසුය.’ යන අර්ථයි. ‘පාදාචිමං’ යනු ‘තම-තමන්ගේ පාවලින් මොහුට’ යන අර්ථයි. ‘විහෙඨථ’ යනු ‘පහර දෙවු’ යන අර්ථයි. ‘ඡවං’ යනු ‘හීනයා’, යන අර්ථයි. ‘නායං’ යනු ‘මොහු අප සමග එක තැන එකට වසන්නට නුසුදුසුය යන අර්ථයි.