10. නන්දියමිග ජාතකය (385)
‘සචෙ බ්‍රාහ්මණ ගච්ඡසි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් මාතුපෝසක භික්ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව ළඟට කැඳවා ‘මහණ, ඔබ ගිහියන් පෝෂණය කෙරේය, යනු සැබෑවක් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, එය සැබෑවකි’ ‘ඒ ගිහියන් ඔබගේ කවුරුන්ද?’ ‘ස්වාමීනි, ඔවුහු මාගේ දෙමාපියෝ ය.’ ‘මහණ, මැනවි, මැනවි, ඔබ පැරණි පඬිවරුන්ගේ වංශය රකින්නෙකි’යි වදාළ බුදුහු ‘මහණ, පුරාණ පඬිවරු තිරිසන් ජාතියෙහි ඉපිද සිටියදීත් තම මවුපියන්ට ජීවිතය පූජා කළහ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූහ.
පෙර කොසොල් රට සාකේත නුවර කොසොල් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ මුව ජාතියෙහි ඉපිද නිසි වියට පත් වූයේ ‘නන්දිය’ නමින් ප්රකටව, සිය මවුපියන් පෝෂණය කරමින් ශීලාචාර සම්පන්න ජීවිතයක් ගත කෙළේය. එකල කොසොල් රජතුමා මුව දඩයමෙහි ලොල් වූවෙක් විය. ඔහු මිනිසුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු පවා නවත්වා ඔවුන්ගේ වැඩ කරගන්නට ඉඩ නො දී, ඔවුන් ද කැටුව මහ පිරිවර සමග දිනපතාම මුව දඩයමේ යයි. මෙය මහත් කරදරයක් කොට සැලකූ මිනිස්සු, එක්රැස් වී ‘පින්වතුනි, මේ රජා අපගේ වැඩ කටයුතු අඩාල කොට, ගෙදරදොරේ පැවැත්ම ද විනාශ කරයි. යම් විදියකින් අපි සියලුදෙනා එකතුව, රජුට අයත් ‘අංජන වන’ උයන වටකොට, වැට බැඳ එහි පොකුණක් ද සාරා, ඒ අවට තෘණ වර්ග රෝපණය කොට, උයනට ගේට්ටුවක්ද සකස්කොට, දඬුමුගුරු ගත් අත් ඇතිව කැලයට පිවිස, වනලැහැබ්වලට දඬුවලින් පහර දෙමින්, මුවන් දක්කාගෙන අවුත්, ඔවුන් උයනට ඇතුළුකොට, හරකුන් මෙන්, ඇති දැඩි කරමු. තවද මුවන්ට එතැනින් පැන යන්නට නොදී, දොරවල් වසා වැටවල් තරකොට තබා, රජුට ඒ බව දැනුම් දෙමු. එවිට ඔහුට කැමති විටෙක අවුත්, මුවකු දඩයම් කොටගෙන, රිසි සේ යා හැකිය. ඉන්පසු අපි කැමති ආකාරයට අපේ වැඩ කරගනිමු’යි, කතිකා කොට ගත්හ. ‘එය කදිම උපායකැ’යි කියූ සියලු දෙනා එක්වන්ව, ඊට කැමැත්ත පළකොට, උයන ඉහත කී පරිද්දෙන් සකසා, සැවොම එක්ව කැලයට පිවිස, යොදුනක් පමණ කැලෑ ප්‍රදේශයක් වටකොට ගත්හ.
මේ අවස්ථාව වනවිට ‘නන්දිය’ සිය දෙමාපියන් සමග කිසියම් කුඩා වන ලැහැබක වැදහොත්තේය. ඒ අතර මිනිස්සු, නොයෙක් කඩු පලිහ ආදි විවිධ ආයුධ ගත් අත් ඇතිව, එකිනෙකා අතේ දුරින් සිටිමින්, බෝසත් මුවා හුන් ලැහැබද, වට කළහ. මුවන් සොයමින් ලැහැබට ඇතුළු වූ, ඒ මිනිසුන් දුටු නන්දිය ‘අද මාගේ ජීවිතය පරිත්‍යාග කොට හෝ, මවුපියන්ට ජීවිත දානය දිය යුතු යැ’යි, සිතා හුන් තැනින් නැගිට ගොස්, මවුපියන්ට වැඳ, ‘මෑණියනි, පියාණෙනි, මේ මිනිස්සු අප සිටි තැනට පැමිණියහොත්, අප තිදෙනාම දකිති. එබැවින් ඔබ දෙපළ කෙසේ හෝ, ජීවත්වනු මැනවි. ඔබ දෙදෙනාගේම ජීවිත උතුම්ය. මම ඔබට ජීවිත දානය දී මිනිසුන් ලැහැබ කෙළවර සිට ලැහැබට දඬුවලින් පහර දෙනවාත් සමගම, මම මෙතැනින් ඉවතට පැන දුවන්නෙමි. එවිට ඔවුහු ‘මේ කුඩා වන ලැහැබෙහි සිටියේ, එකම මුවකි’යි කියා, ලැහැබට ඇතුළු නො වන්නාහුය. එයින් ඔබ දෙදෙනා රැකෙති. එබැවින් දෙමාපියනි, අප්‍රමාදව කටයුතු කරනු මැනව’යි කියා සිය මවුපියන් සමා කරවාගෙන, ගමනට සූදානම් විය. මේ අතර මිනිසුන් ලැබැහ කෙළවර සිට මහ හඬින් ඝෝෂා කොට, ලැහැබට දඬුවලින් පහර දෙන්නට පටන් ගන්නවාත් සමගම, නන්දිය හුන් තැනින් නැගිට පලා දිව්වේය. ඒ දුටු මිනිස්සු ‘මෙහි සිටියේ එකම මුවෙකැ’යි කියා ලැහැබට ඇතුළු නොවූහ. ඉක්බිති පැනගිය නන්දිය මුවා, දක්කාගෙන යන මුව රංචුවට එකතු විය. මිනිස්සු දක්කාගෙන ගිය සියලු මුවන් උයනට ඇතුළුකොට දොරටු වසා, රජු හමුවට ගොස්, සියලු විස්තර රජුට කියා, තම-තමන්ගේ ගෙවල්වලට ගියහ.
එතැන් පටන් රජතුමා දිනපතා උයනට ගොස්, එක් මුවා බැගින් විද, සේවකයකු ලවා ඌ රජමැදුරට ගෙන්වා ගනියි. පසුව උයනේ සිටි සියලු මුවෝ එකතු වී, ‘වාර ගමනයක්’ තීරණය කොටගත්හ. ඒ අනුව සෑම මුවකුටම මරණ වාරය කෙදිනක හෝ පැමිණෙයි. වාරය පැමිණි මුවා ප්‍රධාන දොරටුව සමීපයෙහි රජු පැමිණෙන තෙක් සිටියි. එතැනට පැමිණෙන රජා, ළඟම සිටි මුවා විද ගනියි. තවම සිය වාරය නොපැමිණි නන්දිය, පොකුණෙහි පැන් බී තණ කා වාරය ගැන සිතමින් කල් ගෙවයි. මේ අතර සිය පුතාගෙන් වෙන්ව කල්ගෙවන, මුව දෙමහල්ලන්ට නන්දිය සිහිපත් විය. බොහෝ දවසකට පසු නන්දිය දැකීමට දැඩි ආශාවකින් පෙළුණු නන්දියගේ දෙමාපියෝ, ‘අපේ පුතා වන නන්දිය මුව රාජයෙකි. ඇතකු මෙන් ශක්ති සම්පන්නය. ඉදින් ඔහු ජීවත්ව සිටීනම්, ආරක්ෂා වැටට උඩින් පැන, අප දැකීමට නිත්‍ය වශයෙන් ම එන්නේය. කෙසේ වෙතත්, ඔහුට පණිවුඩයක් යවමුදැ’යි, සාකච්ඡා කොට කැලෑබද මාවතක් සමීපයට පැමිණ, සාකේත නුවර දෙසට ගමන් කරන අයකු අපේක්ෂා කරමින්, මඟ බලමින් හුන්හ. එවිට සාකේතය බලා ගමන් ගන්නා එක් බ්‍රාහ්මණයකු දැක, ‘උතුමාණෙනි, ඔබ කොහි යන්නෙහිදැ’යි විමසූහ. මිනිස් කටහඬින්, කදිමට කථාකරන මුවන් දෙස, පුදුමයෙන් බැලූ බමුණා තමා සාකේතයට යන බව පැවසීය. එවිට මුවෝ දෙදෙනා ‘අපේ පුතා සාකේතයේ වෙසෙයි. ඉන්නා තැන් සොයා බලා ඔහුට මේ පණිවුඩය කියනු මැනව’යි කියා, මෙසේ පැවසූහ.
සචෙ බ්‍රාහ්මණ ගච්ඡසී - සාකෙත අඤ්ජනා වනං,
වජ්ජාසි නන්දියං නාම පුත්තං අම්හාකං ඔරසං,
මාතා පිතාච තෙ වුඩ්ඪා - තෙ තං ඉච්ඡන්ති පස්සිතුන්ති
වජ්ජාසි නන්දියං නාම පුත්තං අම්හාකං ඔරසං,
මාතා පිතාච තෙ වුඩ්ඪා - තෙ තං ඉච්ඡන්ති පස්සිතුන්ති
බමුණ, ඉදින් සාකේත නුවර අංජන වනයට යෙහි නම්, අපේ නන්දිය නම් වූ ඖරස පුතුට ‘ඔබේ මහලු දෙමව්පියෝ, ඔබ දැකීමට කැමැත්තෙන් සිටිති’යි, කියනු මැනවි.
බමුණ, ඉදින් ඔබ සාකේතයට යෙහි නම්, සාකේතයෙහි අංජන වන නම් වූ උයනක් ඇත. එහි අපේ පුතා වන ‘නන්දිය’ නම් මුවෙක් ඇත. ඔහුට මෙසේ ‘ඔබේ මහලු මවුපියෝ තමන් මැරෙන්නට පෙර පුත්‍ර දැකීමට කැමැත්තෙන් හිඳිති’යි කියන්න, යනුවෙනි.
බ්‍රාහ්මණයා ‘යහපතැ’යි, කියා පිළිගෙන සාකේතයට ගොස්, පසුදින උයනට පිවිස ‘නන්දිය මුවා යනු කවරෙක්දැ’යි විමසා බලා නන්දිය හමුවට ගොස්, ඌට පණිවුඩය නොවළහා කීවේය. එවිට නන්දිය කථා කරමින් ‘බමුණ, මම කෙදිනක හෝ, ඔවුන් බලන්නට යන්නෙමි. එහෙත් වැටෙන් පැන, හොරෙන් නොයන්නෙමි. මක්නිසාද යත්, මා විසින් රජුට අයත් කෑම-බීම-බොජුන් ආදිය, පරිභෝග කරන ලදි. එබැවින් රජුට ගෙන්වන්නට ණයක් ඇත. තවද, මේ මුවන් මැද බොහෝ කලක් විසුවෙමි. ඔවුන්ට ද යුතුකම් වශයෙන්, යහපතක් කළ යුතුව ඇත. ඒවා සියල්ල ඉටු නොකොට, මගේ බලය ඔවුන්ට නොපෙන්වා, මෙහෙන් පිටව යාම අයුතුය. මාගේ මරණ වාරය පැමිණි කල්හි, ඒ සියලු යුතුකම් කරන්නෙමි. එසේ කොට තවදුරටත් ජීවත්වීමට ඉඩ ලදහොත්, සැපසේ මවුපියන් බලන්නයට යන්නෙමි’යි කී නන්දිය මෙසේ ද පැවසීය.
2. බමුණ, රජුගේ ආහාර ද, කෑම-බීම ද, මා විසින් පරිභෝග කරන ලදි. ඒ රාජ පිණ්ඩය වැරදි ලෙස පරිහරණය කරන්නට උත්සාහ නොකරමි.
3. ඊතලය අතේ දරාගත් රජුට, මම ඇලපත පාන්නෙමි’යි , එකල (මම එසේ කියා) මිදී, සැපසේ මෑණියන් දකින්නෙමි.
මෙහි ‘නිවාපානි’ යනු ‘ඒ ඒ තන්හි වගා කරන ලද තෘණ ආදිය’යි. ‘පාණභෝජනං’ යනු ‘පැන් හා සෙසු තණකොළ’යි. ‘තං රාජපිණ්ඩං’ යනු ‘රජු සන්තක වූ ආහාර-පානාදිය එකතුකොට රැස් කරන ලද ස්ථානය ය’ යන අර්ථයෙන් ‘පිණ්ඩ’ යැයි කියන ලදි. ‘අවභොත්තුං’ යනු ‘වැරදි ක්‍රමයට අනුභව කිරීමට’ යන අර්ථයි. එනම්, රජුට සේවයක් නොකර, රජුගේ දේ අනුභව කිරීම ‘අවභුක්ත’ නම් වේ’ ඒ මම ඊට උත්සාහ නොකරමි’යි කියයි’ යන අර්ථයි. ‘බ්රාහ්මණමුස්සහේ’ යනු ‘බ්‍රාහ්මණයා ඇමතීමයි’. මෙහි ‘ම’ කාරය වනාහි පද සම්බන්ධ කිරීමට කියන ලද්දකි.